රතු සහෝදරවරුනි, මේ හැටි ආතල් දීමෙන් වළකින්න!
Sunday, 24 Jan 2021

රතු සහෝදරවරුනි, මේ හැටි ආතල් දීමෙන් වළකින්න!

19 October 2019 11:10 pm

පසුගිය සතියේ දිනෙක ‘මියා කලීෆාට ඉදිරියට යන්න පාර හදන හඳුන්නෙත්ති‘ යන අර්ථය සහිත පෝස්ට් ගණනාවක් සමාජ මාධ්‍ය ජාලාවල වයිරල් වී තිබුණේය. මියා කලීෆා ‘පෝන් හබ්‘ ඇතුළු ලෝකයේ ප්‍රධානතම XXX කාම වෙබ් අඩවිවල සේවා සපයන්නියකි. එසේ නම් හඳුන්නෙත්තිට මියා කලීෆා සමග තිබෙන ගනුදෙනුව කුමක්ද?

කතාන්දරය පටන් ගන්නේ සිරස නාලිකාවේ ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහභාගි වූ සජීවී සංවාදයකදී චන්දන සූරියබණ්ඩාර විසින් ඔහුගෙන් අසන පැනයකට ලබාදෙන පිළිතුරකිනි. 

‘‘කොහොමද අපි මේ ප්‍රශ්නෙ විසඳගන්නෙ?“

‘‘දැන් යාපනේ දරුවෙක් තමයි මේ පාර ශිෂ්‍යත්වෙ වැඩිම ලකුණු ලබාගත්තෙ. ඒ දරුවා දෙමාපියන් නැතිව අනාථ නිවාසෙක ඉන්න අතරෙ තමයි ශිෂ්‍යත්වෙ වැඩිම ලකුණු ලබාගත්‍තෙ.  මේ ළමය දැන් තරග කරන්න ඕනෙ ඊළඟ පිම්මට මේ තියෙන ප්‍රාග්ධනයත් එක්ක‘‘.

මෙවිට දැකගත හැකි අපූරු දෙයක් වන්නේ චන්දන සූරියබණ්ඩාර ද මේ කතාවෙන් මනා සේ ඇඳ ගැනීමයි. හඳුන්නෙත්ති මේ පවසන්නේ මීට වසර  කිහිපයක පටන් සමාජ ජාලාවල සංසරණය වුණු, මියා කලීෆා දැරියක්ව සිටි කාලයේ හෝ ඇගේ මුහුණ යොදාගෙන වෙනස් කරන ලද පහත ඡායාරූපයේ පැරඩියකි. මේ පැරඩිය ඇසුරෙන් හඳුන්නෙත්ති තවත් සජීවී පැරඩියක් මවන අතර, චන්දන සූරිය බණ්ඩාර ද එ් ප්‍රකාශයෙන් තවත් පැරඩියක් මවයි. 

‘‘ඊට කලින් මම ෆේස්බුක් හරහා ඒ දැරියගෙ කතාව කියන්නම්..“ යැයි ප්‍රවීන නිවේදක චන්දන සූරිය බණ්ඩාර බෙහෙවින් හැඟුම්බර වී හඳුන්නෙත්තිට ඌනපූරණයක් ගෙන එන්නේය. 

එක් අතකින්, මියා කලීෆා ගැන චන්දන සූරිය බණ්ඩාරවත් නොදන්නේ නම්, හඳුන්නෙත්ති දැනගන්නේ කෙසේද කියා ද දුක සිතෙයි. 

පක්ෂයට කැප වූ විට ජීවිතයක් නැති නිසා මේ පක්ෂයේ කිසිදාක සීගිරිය දැක නැති අතීත සාමාජිකයෝ ද සිටියෝය. එනිසා ඔවුන් මියා කලීෆා නොදැක සිටීම හෝ නොදැන සිටීම පුදුමයට කරුණක් ද නොවේ. මේ ඡායාරූපයේ සිටින්නේ මියා කලීෆා බවට හඳුනාගත හැක්කේ පෝන් බලන අයට පමණක් ය.

මේ අතර, මාධ්‍ය සගයෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන ප්‍රවීණ ලේඛක සුනන්ද දේශප්‍රිය වැන්නන් පවා මේ ෆේස්බුක් පෝස්ට් එකට ‘මැනවින්‘ ප්‍රතිචාර දක්වා තිබුණේ මේ දැරියට අප උදව් කළ යුතු බව කියමිනි! බාගවිට ඔහු කලබලේට දකින්නට ඇත්තේ මේ පෝස්ට් එකේ තිබුණු ‘උතුර හෝ යාපනය‘ වැනි වචන පමණක්දැයි අපට සිතෙයි. කෙසේ නමුත් පසුදින වන විටම එම පෝස්ට් සියල්ල ඔහුගේ සමාජ ජාලවලින් ඉවත් කර තිබේ. 

අඩුම ගණනේ චන්දන සූරියබණ්ඩාර, සුනන්ද දේශප්‍රිය සහ හඳුන්නෙත්ති මෙවැනි පෝස්ට්වලින් ඇන්දෙන්නට ප්‍රථම ගූගල් හි Search by image ඔප්ෂන් එක ගැනවත් දැනගත යුතුය. මේ පින්තූරය සර්ච් කළ සැණින් පරිශීලකයා යොමුවන්නේ mia khalifa funny memes වලට ය. මියා කලීෆා ගැන මෙවැනි හාස්‍යෝත්පාදක මීම්ස් දහස් ගණනක් ලබාගත හැකි සබැඳි ඕනෑ තරම් අන්තර්ජාලයේ තිබේ. පසුගිය දිනවල සංසරණය වූ මෙම මීම් එක පළ වී තිබුණේ ‘සිරියාවතී‘ වැනි ෆේස්බුක් පිටුවල ය.  

වයිරල් දෙවිවරුන් විසින් මිනිසුන් අන්දන සමාජ ජාල ලෝකය තුළ රතු සහෝදරවරුන් මෙයට වඩා සැලකිලිමත් විය යුතුය. අවම වශයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ 3 අතරින් වැඩිම විද්වත් සහභාගිත්වයක් සහිත පක්ෂය ලෙස හෝ ජනතා විමුක්ති පෙරමුණ මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුය. දේශපාලන වේදිකාවේ ආතල් සපයන්නෝ ද ලංකාවේ අති බහුල ය. එවැනි ආතල්සහගත නාඩගම් මේ දිනවල අපේක්ෂක වේදිකාවන් හි නොමදව දැකගත හැකිය. 

උදාහරණයක් ලෙස, ශ්‍රීමත්ගේ පුතා වන සජිත් ප්‍රේමදාස මේ දිනවල ‘ශ්‍රී මුඛයෙන්‘ කතා කරමින් සිටින අතර, රෑට රෑට තමන් ගෙවල්වලට සැප දුක විමසන්නට එන බව කීවේ ද පසුගිය සතියේ මැතිවරණ වේදිකාවකදී ය. සිය මාධ්‍ය සාකච්ඡාවේදී ගෝටා, මීරා ශ්‍රීනිවාසන්ගේ ප්‍රශ්න කෝපාවිෂ්ට කවටයෙකු සේ මග හැර ගියේය. ඔහු යුධ බිමේදී අතුරුදන්වූවන් සහ පුනරුත්ථාපනය සඳහා හමුදාව වෙත භාර වූ ත්‍රස්තවාදීන් අතර වෙනස නොදන්නේය. මල්ලී ප්‍රශ්නවලින් අපහසුතාවයට පත්වන විට මහින්ද අයියා ඔහුව පසෙක සිට දිරිමත් කරන්නේය. ඉතිහාසයේ දිගම අපේක්ෂක ලැයිස්තුව නිසා මැතිවරණ කොමිසම අන්දුන් කුන්දුන් වී සිටින සමයක ජනතාවට මේ ලැබෙන ආතල් පමණටත් වඩා වැඩි ය. එනිසා ජනතා විමුක්ති පෙරමුණ ද මේ තත්වයට වැටෙන්නට කොහෙත්ම උවමනාවක් නැත. 

ලංකාවට න්‍යායාචාර්යවරු උවමනාවටත් වඩා වැඩියෙන් සිටිති.  කවදත් හිඟව සිටියේ ප්‍රායෝගික දැනුමක් සහිත පොළොවේ පය ගසා සිටින මිනිසුන් ය. ජවිපෙ රතු සහෝදරයන්ගේ කතා සහ විවාද විටෙක මැක්කාගේ කතාව සිහිගන්වයි. ඒ කතා බොහෝ විට අවසන් වන්නේ ප්‍රාග්ධනයට සහ විවෘත වෙළඳපොළට සාප කිරීම මගිනි. සමාජ ජාල ප්‍රමුඛ අන්තර්ජාලය අධික ප්‍රාග්ධනයක් සංසරණය වන විවෘත වේදිකාවන් ය. මේවා ඔවුන්ට ඇලජික් නිසාම ඔවුන් ඒවා පාවිච්චි කළ යුත්තේ ප්‍රවේශමෙනි. රතු සහෝදරයන් සමාජ ජාලවල සංසරණය වන පැරඩි පෝස්ට් සත්‍ය පුවත් යැයි විශ්වාස කිරීම වනාහී, දෛවයේ රතුපාට සරදමකි.