අන්තර්ජාතික මානව හිමිකම් කලා උලෙළේ කෙටිකතා අංශයෙන් රශ්මික මණ්ඩාවල අවසන් පූර්ව වටයට

අන්තර්ජාතික මානව හිමිකම් කලා උලෙළේ කෙටිකතා අංශයෙන් රශ්මික මණ්ඩාවල අවසන් පූර්ව වටයට

21 October 2021 08:19 pm

ඇමරිකාවේ නිව්යෝක් නුවර කලා පර්ෂදයක් මගින් සංවිධානය කරන, අන්තර්ජාතික මානව හිමිකම් කලා උලෙළ (IHRAF) 2021 යටතෙහි කෙටිකතා අංශයෙන් අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට, ලාංකේය සාහිත්‍යයේ තරුණ ලේඛකයෙකු වන රශ්මික මණ්ඩාවල සමත්ව සිටී.

මේ සඳහා රටවල් 50කින් සහ ඇමරිකාවේ ප්‍රාන්ත 24කින් නිර්මාණකරුවන් 250ක පිරිසක් නිර්මාණ යොමු කර තිබිණි. රශ්මික මේ වෙනුවෙන් ඉදිරිපත් කළ කෙටිකතාව වූයේ, 'Secret of Swan' නම් කෙටිකතාවයි. එය ඔහු විසින් රචනා කරන ලද 'හංසකුසු' නම් කෙටිකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.

මෙම කලා උලෙළේ Creators of Justice Literary Award නම් අංශය යටතේ, කෙටිකතා, රචනා සහ කවි යන උප අංශ කිහිපයක් වන අතර, එහි කෙටිකතා අංශය රශ්මික මණ්ඩාවල නියෝජනය කළේය.

සාහිත්‍ය නිර්මාණකරුවෙකු, පරිවර්තකයෙකු, විචාරකයෙකු වන රශ්මික මණ්ඩාවල මැදපෙරදිග ජීවන අත්දැකීම් අළලා “ශුක්රාන් කටාර්” නමින් කෘතියක් ද, “මරණයේ රළ නැගුම” නමින් පරිවර්තනයක් ද පළ කර ඇති අතර, මෑතකදී “මොනාලිසාගේ මිසර ගමන” නමින් ස්වතන්ත්‍ර කෙටිකතා  සංග්‍රහයක් සහ “චීනයට මන්දගාමී බෝට්ටුවකින්” නමින් පරිවර්තන කෙටිකතා සංග්‍රහයක් ද පළකරන්නට යෙදුණේය.

ඩිල්ශානි චතුරිකා දාබරේ