දේවමන්දිරේ

දේවමන්දිරේ

13 September 2021 12:00 am

 


ගී ඇසුර 03 

කැමිලස් පෙරේරා 2021 ජූලි මාසෙ 17 වෙනිදා සිය දිවිසැරිය නිමා කළේ ජීවිතයෙ අවසන් කාලය අති දුෂ්කර ලෙස ගෙවා දමමින්.

ඔහු පුවත්පත් කලාවේදියෙකු විදිහට ඥානාර්ථ ප්‍රදීපයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කරල තවත් පුවත්පත් රැසකම කටයුතු කළා. ඒ වගේම චිත්‍රපට සහය අධ්‍යක්‍ෂවරයෙකු විදිහටත් “දෙවෙනි ගමන” සහ “මංගල තෑග්ග” චිත්‍රපට වල සිය කෞශල්‍යය සටහන් කර තිබෙනවා. කැමිලස් ලියූ ගී ගණන සිය ගණනක්. ඒ අතර රැයේ තුන්යම (නන්දා මාලනී) විකසිත වත කමලේ, වාසනා වේවා (සනත් නන්දසිරි) හදිස්සියේ හනි හනිකට (ටී.එම්. ජයරත්න) හිමි නැති පෙමකට (මාලනී බුලත්සිංහල) හඳවිලේ ඔබ පිපුණා (ක්ලැරන්ස් විජේවර්ධන) ආදර පිය ළඳුනේ (ෆීලික්ස් ඇන්ටන්) සහ උන්මාද වූ ප්‍රේමාදරේ (කමල් අද්දරආරච්චි/ දමයන්ති ජයසූරිය) වැනි ගී දනන් තුඩ තුඩ රැව් දෙනවා.

කැමිලස් ජීවත්වුණේ කතෝලික සමාජ පසුබිමක. ඔහු ඇදහුවෙත් කතෝලික දහම. ප්‍රේමවන්තයන්ගේ හදවත් විරහී වේදනාවෙන් ප්‍රකම්පනය කළ කැමී ලියූ “දේවමන්දිරේ” ගීතයට ප්‍රස්තුත වෙලා තියෙන්නෙ ඔහුගේම පෞද්ගලික අත්දැකීමක්.

සිය භද්‍ර යෞවන අවධියේ ඔහු දිගු කාලීන පෙම් සබඳතාවක මිහිර විඳිමින් සිටියා. ඇය විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් මේ සබඳතාව පවත්වා ගෙන ගියත් කැමිලස්ගේ පාර්ශවයෙන් පැමිණි යම් යම් විරෝධතා හේතුවෙන් ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට ඔහුට නොහැකි වුණා. අන්තිමේදී ඒ සම්බන්ධතාවට නැවතීමේ තිත තැබීම හැර අන් විකල්පයක් ඔහුට තිබී නැහැ. අර යුවතිය මේ වියෝගයෙන් දැඩි සිත්තැවුලට පත්වුණා. අනතුරුව ඇය තීරණය කරන්නේ සිය අනාගත ජීවිතය දෙවියන් වහන්සේ උදෙසා කැපකරන්නටයි. ඒ අනුවයි ඇය කන්‍යා සොයුරියක බවට පත් වී ආධ්‍යාත්මික දිවිපෙවතකට යොමු වුණේ.

ඊට පසුකලෙක කැමිලස් තවත් පෙම් සබඳතාවක පැටලෙනවා. එය අවසන් වන්නේ අභාග්‍යසම්පන්න ලෙස ඇය ඔහු හැර යාම නිසා. මේ සිදුවීම්වලින්  පරිපීඩිතව කැමිලස් කාලය ගත කළේ දැඩි මානසික වේදනාවකින්. ඔහු ඒ කාලය තුළ පෙම් බැන්දේ මධුවිතට විතරයි.

කැමිලස් ගෙවන මේ බොහීමියානු ජීවිතය පිළිබඳ අර කන්‍යා සොයුරියටත් කරුණු සැළවෙනවා. අනතුරුව ඇය පැමිණෙනවා ඔහු හමුවන්නට. කැමිලස්ට සැබෑ ලෙසම පෙම් කළ  මේ කන්‍යා සොයුරිය ඔහු අබිමුව තබන්නේ කිසිසේත්ම අපේක්ෂා නොකළ යෝජනාවක්.

“ඔයා කැමති නම් මාව බඳින්න, මං මේ ලෝගුව අත ඇරල එන්නම්....”

කැමිලස් වික්ෂිප්ත වෙනවා. පෙර පරිද්දෙන්ම සිය නෑ සනුහරෙන් හා සමාජයෙන් එල්ල විය හැකි චෝදනා මෙනෙහි කරමින් ඔහු ඒ යෝජනාවෙන් පලා යන්නෙ යළිත් ඇය අසරණ කරමින්.

ඒ අනුවේදනීය සිදුවීම් සියල්ල කාලයේ වැලි තලාවට යටවෙනවා.


ඊට කාලෙකට පස්සෙ 1980 අවුරුද්දෙ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධනගෙ සරල ගී වැඩ සටහනකට ගීයක් ලියා ගන්නට ඇවැසිව ඒ යෝජනාව කැමිලස්ට ඉදිරිපත් කරනවා. ඔය අවධියේ ලේක්හවුසියේ වැඩ කළ කැමිලස් හැන්දෑවරුවට ගුවන්විදුලියට ගොඩ වෙන්නෙ රෝහණ ඇතුළු යාළු මිත්‍රයන් සමඟ අල්ලාප සල්ලාපයට. රෝහණගේ යෝජනාව අනුව  කැමිලස් සිය ජීවිතයට දැඩි ලෙස බලපෑ අනුවේදනීය සිදුවීම පදමාලාවක් ලෙස වියමන් කරනවා.

අපටම වෙන් වූ අපගේ ලෝකය
යදම් පවුරු ලා දොරගුළු ලා ඇත
දෙතැනක තනි වුණු දෙසිතක සෙනෙහස
කවදා හමුවේදෝ

මෙහි තනු නිර්මාණය කාටද භාර දෙන්නෙ? ඔවුන් හමුවේ ප්‍රශ්නාර්ථයක්.

මේ දෙදෙනා අහම්බෙන් දකිනව, ගුවන් විදුලියේ කොරිඩෝවක් දිගේ ඇවිදගෙන එන එච්. එම්. ජයවර්ධන. 

එච්. එම්. අතට පත්වන මේ පදමාලාව සඳහා ඔහු ක්ෂණිකව නිර්මාණය කරන තනුව අර වියෝ වේදනාව තීව්‍ර කරන සුළුයි. කිතු බැති ගීතිකා වල නාද මාලාව ඇසුරු කරමින් ගොඩ නගන ආමුඛ සංගීතය මහා පෞරුෂයකින් ගීතය ඔසවා තබනවා. ගීත රචකයා විතරක් නෙවෙයි ශ්‍රාවකයා පවා අර කන්‍යා සොයුරිය අභිමුඛයට කැදවාගෙන යන්නට ඒ සංගීතයත් ගායනාවත් සමත් වෙනවා.

මුල්පටිගත කිරීමේ අත්වැල් ගායනයට මුසු වී ඇත්තේ මායා දමයන්ති, නුවන් ගුණවර්ධන, සකුන්තලා පීරිස්, ඊවා මද්දුමගේ සහ කාන්ති ගුණලතා ඇතුළු ශිල්පීන්ගේ හඬ බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. 

නිලාර් එන්. කාසිම් 

 

පෙර ලිපි

සිනා පිපෙනා මේ වසන්ත​ය

මංගල නැකතේ