’සියලු ම දේවල් විනාශ වුණු රටක‍, ඉතුරු වුණු එක ම දේ සාහිත්‍ය කලාව විතරයි’ - චින්තක සමන් හේරත්

’සියලු ම දේවල් විනාශ වුණු රටක‍, ඉතුරු වුණු එක ම දේ සාහිත්‍ය කලාව විතරයි’ - චින්තක සමන් හේරත්

25 July 2021 01:00 pm

  • 'වෘත්තිමය කවියෝ හෝ සාහිත්‍යකරුවෝ අපිට නැහැ'
  • 'අපි වැඩිපුර කැමති අපෙන් දුරස්ථ ලෝකවලට' 
  • 'සමාජය හඳුනානොගත් බොහෝ නිර්මාණකරුවන් සිටිනවා'
  • 'සාහිත්‍ය කලාව දීප ව්‍යාප්ත කිරීමේ වගකීම නිර්මාණකරුවන්ගේ පිට පටවන්න බැහැ'
  • 'කිසිදු සාහිත්‍යක විචාර කලාව දුර්වල වී බැහැ'
  • 'කලා ක්ෂේත්‍රයේ සංද්ධිස්ථාන-බල කණු වගේ දේවල් සාපේක්‍ෂයි'

නූතන කවි පරපුර නියෝජනය කරන චින්තක සමන් හේරත්, කාව්‍ය රසික විචාරක පර්ශදයේ නිබඳ අවධානයට ලක්වූවෙකි.  2018 වසරෙහි දී ‘හිතාදර දළඹුවනි’ කාව්‍ය සංග‍්‍රහයත්, මෑතකාලීනව සිය දෙවැනි කාව්‍ය සංග‍්‍රහය වන ‘වැහි වැටෙන දවස්’ කෘතියක් පළ කරන්නට යෙදුණු හෙතෙම, සමාජ මාධ්‍යයෙහි ද නිර්මාණකරණයේ යෙදෙයි. මතුදැක්වෙන්නේ, පොදුවේ වත්මනෙහි කලා ශ්‍රෝතස ඇසුරේ සසරන දිවිපෙවෙත අරඹයා ඔහු සමඟ කළ සංවාදයක සංක්ෂිප්ත සටහනකි.

කොරෝනා කාලේ අතරමැදක වෙසෙන තරුණයෙක් විදිහට ඔබ දැණුනු හැගුණු උගත් පාඩම් මොනවාද?

වෘත්තීමය ජීවිතයත් එක්ක කොරෝනා කියන දේ තවත් එක් සාමාන්‍ය දෙයක් විදිහටයි මට දැනුණේ, හැඟුණේ. ඒත් ටිකක් කල්පනා කරද්දි දැනෙනවා අපි අපි තුළ ම හුදෙකලා වෙලා වගේ හැඟීමක්. මෙතෙක් නිතර නිතර මුණගැහිලා අපි අපි ම පවත්වාගෙන ගිය, යාවත්කාලීන කරමින් හිටපු මානව සම්බන්ධතාවල සීමාවන් පිළිබදව අලුතින් යමක් හිතන්නට සලස්වලා. ඒ තත්වයන් එහෙම වුණත් විවිධ මාධ්‍ය මගින් සාහිත්‍ය අනුබද්ධ කාරණා පිළිබඳව මුහුණට මුහුණ මුණ නොගැසී හෝ සිදුකරන ඔන්ලයින් සංවාද කවයන් වගේ දේවල් මං හිතනවා ඉතාමත් වැදගත් කියලා. මමත් හැකි පරිදි ඒ දේවල්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම සමාජ දේශපාලනික චලනයන් කෙරෙහිත් නිරන්තරයෙන් සංවේදී වෙනවා. අපි වගේ පුංචි අයටත් වඩා, කලාවෙහි සාහිත්‍යයෙහි යමක් කළ හැකි ප්‍රවීණයින්ට මෙවැනි වකවානුවක නිර්මාණකරණයෙන් එපිට යම් සමාජ වගකීමක් පැවරී ඇතැයි මම සිතනවා. 

රාජකාරී ජීවිතය සහ කවි ලෝකය ඔබ කොහොමද සමබර කරගන්නේ?

වෘත්තිමය කවියෝ හෝ සාහිත්‍යකරුවෝ අපිට නැහැ. හැම පුද්ගලයෙක් ම තවත් වෘත්තීය ජීවිතයක් නඩත්තු කරන ගමන් තමයි ඒ දේවල්වල නියැලෙන්නේ. අනෙක මගේ රාජකාරී ජීවිතය සහ මේ නිර්මාණ ජීවිතය එකකට එකක් කිසිදු සම්බන්ධයකුත් නැහැ. ඒ වගේම, මගේ ගම් පළාතේ , ඥාතීන් අතර, හිත මිත්‍රාදීන් අතර, අධ්‍යාපනය ලබපු පාසැල්වල, මගේ රාජකාරී ආයතනයේ හෝ මේ ආදී කිසිම තැනක මම ලියන කියන දේවල් පිළිබඳව දන්නෙත් නෑ.

මේ ජීවිතය මට ටිකක් අන් අයට වඩා දුරස්ථයි. හැබැයි අපි වැඩිපුර කැමති අපෙන් දුරස්ථ ලෝකවලට ම තමයි. ඒ නිසා තමයි මමත් කවි ලෝකයට එදිනෙදා ගෙවන ජීවිතයට වඩා ඇල්මක් දක්වන්නේ. ඒ ලෝකය ඇතුලේ අනික් හැම ලෝකයකින් ම මට ලැබෙන පීඩාවන් යම්දුරකට සමනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අනුව එහිදී වැඩිමනක් මම මගේ ජීවිතය ම සමබර කරගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. 

අනාගතයේදී කලා ක්ෂේත්‍රයේ සංධිස්ථාන විය හැකියැයි පුළිඟු දල්වන පිරිසව ඔබ දැන හඳුනාගන්නේ කොහොමද?

ඒ ප්‍රශ්නයට පුද්ගල නාමයන්ගෙන් පිළිතුරක් ලබාදෙන එක සුදුසු නෑ. අපි කියවන ඇසුරු කරන ආකාරය අනුව අපිට කාලයක් යනවිට කවිය සාහිත්‍ය පිළිබඳව විවිධ මතවාද අපි තුළ ම ගොඩනැගෙනවා. එය ඉතා නිවැරදි ම එකක් නොවෙයි. ඊට පස්සේ අපි ඒ ගොඩනගාගත් මතවාදයට සමානකම් ඇති නිර්මාණකරුවන් සහ නිර්මාණ, කවියේ හෝ සාහිත්‍යයේ සංධිස්ථානයන් නැතිනම් ලකුණු ලෙස අපි අපිම නම් කරනවා. අද මෙන්ම එකලත් සමාජය හඳුනානොගත් බොහෝ නිර්මාණකරුවන් සිටින්නට ඇති. අනාගතයේ කවියේ සංධිස්ථානයන් බවට පත්වේයැයි සිතිය හැකි අංකුර කවීන් කිහිප දෙනෙක්ව එවකර සිහියට පැමිණියත් ඔවුන් පිළිබඳව අනාවැකි පළකරන්නට අද අපට බැහැ.

ඒ ගැන කියද්දි මට මතක් වෙන්නේ ධර්මසිරි රාජපක්‍ෂ කවියාගේ පළමු කාව්‍ය සංග්‍රහය කියවා එවකට පරාක්‍රම කොඩිතුවක්කු කවියා තැබූ සටහනක්. අනාගතයේ දිනෙක ඔහු ජනතාව මැදට වන් විටෙක මහා ගිනි මැලයක් ලෙස එම කවිය ඇවිලෙණු ඇති බවට ඔහු එකල සහතිකයක් ලබාදී තිබුණා. නමුත් අපි දන්නවා ධර්මසිරි රාජපක්‍ෂ වගේ කවියෙක් එසේ ජනතාව අතරට පැමිණ ඇවිලුණු කවියෙක් නොවුණු බව. ඒ නිසා සංධිස්ථාන , බල කණු වගේ දේවල් සාපේක්‍ෂයි. සමාජ මාධ්‍ය හරහා පවා  අපි බොහෝ කවීන් දිනපතා සිය දීප්තිය විහිදවාලන ආකාරය දකිනවා. ඔවුන්ගේ කවි අගය කරන පිරිසෙහි ප්‍රමාණය මත, කවුරුන් හෝ ඔවුන්ව කවියේ අනාගත හෝ වර්තමාන සංධිස්ථාන ලෙස නම් කරනවා නම් එය මනස්ගාතයක්.

අගනුවර ප්‍රමුඛ සාහිත්‍ය කලා වැඩ කොටස රටේ අනික් පැති කරා ව්‍යාප්තවන බවක් ඔබ දකිනවද?

අපිට දැන් මුහුණට මුහුණ සාහිත්‍ය කලා වැඩකටයුතු සිදුකිරීම මේ තත්වය එක්ක තරමක් අපහසු වෙලා තියෙනවා. එසේ තිබියදීත් ඒ වෙනුවෙන් පරිශ්‍රමයන් දරණ යම් පිරිසක් සිටිනවා. ඔවුන්ට අපේ කෘත‍වේදීත්වය පුදකළ යුතුයි. එමෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන ඇතැම් සංවාද කවයන් සදහා පවා විශාල පිරිසක් ඒකරාශීවන අවස්ථා තිබෙනවා. හැකි පරිදි අපත් ඒවාට සහභාගී වෙනවා. සාහිත්‍ය කලාවන් දීප ව්‍යාප්ත කිරීමේ වගකීම නිර්මාණකරුවන්ගේ පිටම පටවන්නත් බෑ. ඒකට රාජ්‍ය බලාධිකාරියක් වෙනම තිබෙනවා. ඒ සඳහා අවම මැදිහත්වීමක්වත් එමගින් සිදුකරන බවක් පෙනෙන්නට නැහැ. 

විචාරයකයන්ගේ භූමිකාව ගැන නිතර සාහිත්‍ය ලෝකයේදී ලේඛකයින් අතින් අසන්න ලැබෙන්නේ දුබලතා, ඔබ මෙයට එකඟද?

ගුණාත්මක සාහිත්‍යක රදාපැවැත්ම වෙනුවෙන් නිර්මාණය, රසවින්දනය සහ විචාරය යන ත්‍රිත්වය එකකට එකක් සමානුපාතිකව බලපානවා. මෙම ත්‍රිත්වය ම මනා ලෙස වර්ධනය වූ සාහිත්‍යයක් ගුණාත්මක සාහිත්‍යක් කියන්නට පුළුවන්. නිර්මාණකරුවන් රසවිඳින්නන් පමණක් සිටින සාහිත්‍යයක කිසිදු වර්ධනයක් සිදුවන්නේ නැහැ. කිසිදු සාහිත්‍යක විචාර කලාව දුර්වල වෙන්න බැහැ. බොහෝ දෙනෙක් විචාරය වැනි ක්ෂේත්‍රයකට අත්පොත් තබන්නට බයයි. නමුත් යම් පිරිසක් එම කාර්යයට අලුතින් අත්පොත් තබමින් සිටිනවා. 

ඔබේ ජීවිතය සැලකිය යුතු අන්දමින් වෙනස්කළ පොත්පත් මොනවාද?

මම පුංචි කාලේ ඉදන්ම තරමක් කියවීමට කැමැත්තක් දැක්වූ කෙනෙක්. මට මතකයි එක් කාල වකවානුවක කේ.ජී. කරුණාතිලක, සිරිල් සී. පෙරේරා, චූලානන්ද සමරනායක, ගාමිණී වියන්ගොඩ වැනි අය විසින් සිදුකළ පරිවර්තන කෘති කියවීමට බෙහෙවින් ප්‍රිය කළා. ඒකාලයේ ඒ කියවීම් මගේ ජීවිතයට යම් බලපෑමක් එල්ල කල බවක් නොතේරුණත් අද කල්පනා කරනකොට මට හිතෙනවා මගේ ජීවිතයේ යම් ඔසවා තැබීමක් ඒ කියවීම විසින් සිදුකළා යැයි කියලා.

කලාව සම්බන්ධයෙන් සක්‍රීය දායකත්වයක් දක්වන්න තරම්, මිනිසුන්ගේ හර පද්ධතීන් දියුණු වෙලාද?

ඒ දේවල් එකකට එකක් සම්බන්ධයි. මිනිසුන්ගේ හර පද්ධතීන් දියුණු කිරීමේ වගකීමක් කලාවට සාහිත්‍යයට තියෙනවා. එතකොට කලාව සම්බන්ධයෙන් සක්‍රීය දායකත්වයක් දක්වන්න ඔවුන්ට පුළුවන් වෙනවා. මොකද අපේ රටේ මිනිස්සුන්ගේ හර පද්ධතීන් දියුණු කරන්න අදවන විට ඉතුරු වෙලා තියෙන එකම දේත් කලාව සාහිත්‍යය විතරමයි. අනෙක් සියලු ම දේවල් විනාශ වෙච්ච රටකනේ අපි ජීවත් වෙන්නේ. මේ තත්වය කොතෙක් කල් මේ විදිහට තියෙයිද කියන්න බැහැ. 

කොරෝනාවෙන් එහා ලෝකය ගැන ඔබට තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද? 

කොරෝනාවෙන් එහා ලෝකයක් ගැන හිතනවට වඩා අපි දැන් උනන්දුවිය යුත්තේ කොරෝනා සමගම ජීවත් වෙන විදිහක් ගැන හිතන්නයි. විවිධාකාර මැසිවිලි මැද වුණත් අපි පසුගිය වසරක දෙකක කාලය තුළ එසේ ජීවත් වීමට යම් හුරුවක් ලබාගෙන තිබෙනවා. කොරෝනා වලට පෙර තිබූ කාලය නැවත එපරිද්දෙන් ම උදාවේවියැයි කියන්නට බැහැ. දවසක් රට විවෘත කළා ම එදාට ටිකක් සතුටු වෙනවා. සංචරණ සීමා පැනෙව්වා ම ආයෙ දුක්වෙනවා. ඒ වගේ පුංචි පුංචි දේවල්වලින් සතුටු වෙලා, දුක්වෙලා ජීවත්වෙන්න තමයි දැන් අපිට සිදුවෙලා තියෙන්නේ. ඉවසීමෙන් උපේක්‍ෂාවෙන් ඒ අනාගතය දිහා බලාගෙන ඉමු.

සංවාදය - ඩිල්ශානි චතුරිකා දාබරේ