රටක ක්‍රීඩාව පල්ලම් බහිනවා නම්, එහි සැලකිය යුතු කොටසක් ක්‍රීඩා මාධ්‍යවේදීන්ටත් අයිතියි ! - අසංක හදිරම්පෑල

රටක ක්‍රීඩාව පල්ලම් බහිනවා නම්, එහි සැලකිය යුතු කොටසක් ක්‍රීඩා මාධ්‍යවේදීන්ටත් අයිතියි ! - අසංක හදිරම්පෑල

22 July 2021 10:58 am

ක්‍රීඩාව පිළිබඳ රටේ බරපතල සහ තීරණාත්මක සංවාදයක් පැන නැගී ඇති මොහොතක අපි මෙවර සංවාදය සඳහා ක්‍රීඩා මාධ්‍යවේදියෙකුට ඇරයුම් කළෙමු. ඔහු නමින් අසංක හදිරම්පෑල ය. ක්‍රීඩාව තුළ පමණක් නොව තව බොහෝ කලාපවල ගැවසෙමින් ලියන - කතා කරන ඔහු සමඟ ලංකා නිව්ස් වෙබ් අඩවිය සිදුකළ සංවාදය මතු දැක්වෙයි.

#. 'මම අසංක හදිරම්පෑල, මේ ඇසි දිසි චරිතාවලිය !' ඔන්න ඕක තමයි මං මුලින්ම ඔබ අඳුරගන්න තැන. ඒ නිසා අපි අපේ සංවාදයත් එතැනින්ම පටන් ගමු. මොකද්ද මේ ඇසි දිසි සහ කොහොමද වැඩේ පටන් ගත්තෙ?

ඒක හොඳ ආරම්භයක්. "ඇසිදිසි" කියන සංකල්පය මුලින්ම මගෙ හිතට ආවෙ ThePapare.com කියන වෙබ් අඩවිය තුළ සහ Youtube චැනලය තුළ සිංහල විශේෂාංග වීඩියෝ නිර්මාණය කරන්නට ලැබෙන අවසරයත් එක්ක. ඒ වනතෙක් ඒ වෙබ් අඩවියේ වීඩියෝ නිර්මාණය කෙරුනේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒවත් ගොඩක් දුරට පුවත් වාර්තාකරණය පැත්තට නැඹුරුව තිබුනා. 2016දී ThePapare.comහි පළමු පූර්ණ කාලීන සිංහල රචකයා වෙන්න මම වාසනාවන්ත වුනා. ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව හසුරුවන ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩා සාහිත්‍යයක් තිබිය යුතුයි කියන මතයේ දැඩිව ඉන්න කෙනෙක් හැටියට, ක්‍රිකට් ප්‍රමුඛ අනෙකුත් ක්‍රීඩා ගැන සිංහලෙන් විශේෂාංග වීඩියෝ නිෂ්පාදනය කරන්න මම තීරණය කළා. ඇසිදිසි කියන්නෙ එහි ප්‍රතිඵලයක්. 2017 ඔක්තෝබර් මාසෙදි තමයි "ක්‍රිකට් පිටියෙන් උසාවියට" යන නමින් පළමු ඇසිදිසි වීඩියෝව නිර්මාණය කළේ. මගේ දැනුමේ හැටියට ශ්‍රී ලංකාවේ වෙබ් අවකාශය තුළ ප්‍රදර්ශනය වුණු පළමු ක්‍රීඩා විශේෂාංග වීඩියෝ මාලාව තමයි "ඇසිදිසි". මේ වෙනකොට ක්‍රීඩා චරිත ගැන කෙරෙන එහි දෙවැනි සීසන් එකත් සාර්ථකව නිෂ්පාදනය කරමින් ඉන්නවා. එහි මුල්ම වීඩියෝ සංස්කාරකවරයා තමයි රිහාම් මොහොමඩ්. පස්සේ දුමින්ද ලියනගේ සංස්කරණයෙන් දායක වුනා. එහි සංකල්පය, රචනය, ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය මා විසින් තමයි කෙරුනේ. ඒ හැම වීඩියෝවක්ම ආරම්භ කළේ "මම අසංක හදිරම්පෑල, මේ ඇසිදිසි" කියන, ඔබටත් මතක වචන ටිකෙන්.

#. ඔබට අනුව ක්‍රීඩා මාධ්‍යවේදියෙක් කියන්නෙ කවුද?

ක්‍රීඩා මාධ්‍යවේදියෙක් කියන්නෙ වගකිවයුතු කෙනෙක්. ඔහුගේ කාර්යය වෙන්නේ ක්‍රීඩා පුවත් වාර්තාකරණය පමණක් නොවෙයි. ක්‍රීඩා පුවත්, ක්‍රීඩා විශ්ලේෂණ, සාධාරණ විවේචන පාඨකයන් වෙත අරන් යනවා වගේම ක්‍රීඩා සාහිත්‍යයක් නිර්මාණය කරන වගකීමත් ඔහුට පැවරෙනවා. ඒක විනයක් ඇතුව කළයුතු බවයි මගේ හැඟීම. යම්කිසි රටක ක්‍රීඩාව දිගින් දිගටම පල්ලම් බහිනවා නම්, එහි සැලකිය යුතු කොටසක් ක්‍රීඩා මාධ්‍යවේදීන්ටත් අයිතියි කියලා මම කිව්වොත් අපේ රටේ විවෘත ක්‍රීඩා මාධ්‍යවේදීන් බහුතරයක් මාත් එක්ක තරහ වෙන එකක් නෑ මං හිතන්නෙ.

#. ඔබ ක්‍රීඩාව ගැන විතරක් නෙවෙයි සංගීතය, චිත්‍රපට, කලාව ආදී විවිධ පරාසවල ලියනවා. මේ බහුවිධ කලාපවල සැරිසරමින් ලිවීම සහ ඒවා අධ්‍යනය මාධ්‍යවේදියෙකුට මොන තරම් වැදගත්ද?

ඕනෑම කෙනෙකුට තමන්ගේ ක්ෂේත්‍රයෙන් පිටත ලෝකය ගැන අවබෝධයක් තිබීම හරි වැදගත්. ඒ හැම දෙයක්ම තමන් නියැලී ඉන්න ක්ෂේත්‍රය තුළ තමන්ට අනන්‍ය ලකුණක් පිහිටුවාගැනීම පිණිස හේතුවෙනවා. උදාහරණයක් හැටියට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගත්තොත්, ක්‍රිකට් වලින් පිටත ලෝකය ගැන ඔහුට තිබෙන අත්දැකීම්, ජීවිතාභියෝග වලට මුහුණ දුන් ආකාරය, විවිධ භාෂා ගැන ඇති දැනුම, රටවල්වල භූවිෂමතාවය ගැන ඇති දැනුම, ඒ රටවල් වල මිනිසුන් සිතන පතන ආකාරය ගැන ඇති අවබෝධය වගේ ගොඩක් දේවල් ඔහු ක්‍රිකට් පිටිය මත දස්කම් දැක්වීමේදී උපයෝගී වෙන්න පුළුවන්. ඊට හොඳම උදාහරණයක් තමයි ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්. ඔහු කවියෙක්. පන්දුවට පහර දුන්නෙත් කවියෙක් වගේ. කුමාර් සංගක්කාර ගත්තොත්, ඔහු හොඳ විද්‍යාර්ථයෙක්. ඔහු තරගයක් කියවපු විදිහ, තරගයක් අධ්‍යයනය කළ විදිහ දැක්කහම තේරෙන දේ තමයි ක්‍රිකට් වලින් පිටත අත්දැකීම් ඊට බලපාපු බව. මොහොමඩ් අලී කියන්නෙ කුඩා කාලෙදි වීදි සටන් වලට මැදිවුණු කෙනෙක්. ඔහු බොක්සිං වළල්ල තුළදී මාරාන්තික පහරවල් දරාගන්න තරම් ධෛර්යවන්ත වුනේ ඒ නිසා. මාධ්‍යවේදියෙකුටත් එහෙමයි. විෂයයන් කිහිපයක් ගැන ඇති දැනුම අනිවාර්යයෙන්ම තමන්ගේ ප්‍රධාන විෂය තුළ වැඩකරන්නේ කොහොමද කියන එකට බලපානවා. ඔබ කිව්වා වගේ සංගීතයටත්, සිනමාවටත් මගේ ඇති උනන්දුව නිසා වාර්තා චිත්‍රපට වගේ දේවල් නිර්මාණයේදීත්, ක්‍රීඩානුබද්ධ හැඟීම් එක්ක සංගීතය මුසුකරන්නේ කොහොමද කියන එකේදීත්, ක්‍රීඩාව පැත්තක තියලා කලාව රසවිඳීමේදීත් මට පහසුවක් තියෙනවා.

#. ක්‍රීඩාව කියල කිව්වම ක්‍රිකට් විතරයි කියලයි අපේ රටේ සමහරු හිතන්නෙ. ඔබ සමස්තයක් විදියට අපේ රටේ ක්‍රීඩාව දකින්නෙ කොහොමද?

අපි මුලින්ම බලන්න ඕන ක්‍රීඩාවක් ඇයි අපට අවශ්‍ය වෙන්නේ කියලා. ක්‍රීඩා ජයග්‍රහණ වලින් තමයි රටක සාමාන්‍ය ජනතාවට ජයග්‍රාහී හැඟීම් ජනිත කරවන්න පුළුවන්. ඒ ජයග්‍රාහී හැඟීම් රටක දියුණුවට බලපානවා. එතනදී රට නියෝජනය කරමින් ක්‍රීඩා පිටිය මත ඉන්නේ කිහිපදෙනෙක් වුනාට, එතෙන්ට යන්න බැරිවුණු බොහෝදෙනෙක් හදවතින් ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ හැඟීම විඳිනවා. ප්‍රීතිඝෝෂා කරනවා, වෙලාවකට අඬනවා. අන්න ඒ නිසයි යම්කිසි රටක් විසින් වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන ක්‍රීඩාව ඒ රටේ ජනතාව විසින් දැඩිව වැළඳගන්නේ. උදාහරණ වලින් කිව්වොත්, බ්‍රසීලය ඔවුන්ට වඩා බලවත් රටවල් පරාජය කළේ පාපන්දු වලින්. ඒ නිසා බ්‍රසීලියානුවන්ට තියෙන්නේ පාපන්දු උන්මාදයක්. නවසීලන්තය ගත්තොත්, ඔවුන් ඔවුන්ට වඩා බලවත් රටවල් පරාජය කරන්නෙ රග්බි ක්‍රීඩාවෙන්. එරට මිනිසුන්ට තියෙන්නෙ රග්බි උන්මාදයක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ අපි අපට වඩා බලවත් රටවල් පරාජය කළේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්. ඒ නිසයි ශ්‍රී ලාංකිකයන්ට ක්‍රිකට් උන්මාදයක් තියෙන්නේ. නමුත් ඔබ කිව්වා වගේ ඒ නිසාම අපේ රටේ පැලපදියම් වුණු කාරණයක් තමයි "ක්‍රීඩාව" කිව්වහම "ක්‍රිකට්" විතරක් මතක් වෙන එක.

අපි තේරුම් ගන්න ඕන දේ තමයි රට වෙනුවෙන් හැමෝටම ක්‍රිකට් ගහන්න බෑ කියන එක. සෙසු ජනතාවටත් සම අවස්ථා තිබිය යුතුයි. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමටත්, ක්‍රීඩාවත් එක්ක මුදල් ගැවසෙන කර්මාන්තයක් රට තුළ බිහිකිරීමටත් ක්‍රීඩා කිහිපයක් දියුණු කිරීම වැදගත් බව අප තේරුම් ගත යුතුයි. මම පෙර කියපු බ්‍රසීලය මේක තේරුම් අරගෙන පාපන්දු වලට අමතරව වොලිබෝල්, MMA (මිශ්‍ර සටන් කලා), පැසිපන්දු, බොක්සිං ආදී ක්‍රීඩා රැසක් ජනප්‍රිය කරවගෙන තියෙනවා. නවසීලන්තයේ රග්බි වලට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවත්, දැල්පන්දු ක්‍රීඩාවත්, පැසිපන්දු ක්‍රීඩාවත්, පාපැදි ධාවනයත් අතිශය ජනප්‍රියයි. 

ක්‍රීඩාව කියන එක කොච්චර සාර්ථකව රටක ආර්ථික දියුණුවට යොදාගන්න පුළුවන්ද කියලා ඔප්පු කරපු රටවල් තමයි ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව. ඒ රටවල් තුනම ආර්ථික වශයෙන් දියුණු රටවල්. ඒ රටවල් තුනේම තියෙන්නෙ ක්‍රීඩා මූලික ආර්ථිකයන් කිව්වොත් සමහරවිට ඔබ පුදුම වේවි. ලොව විශාලතම පැසිපන්දු ලීගය, අයිස් හොකී ලීගය, ඇමරිකන් ෆුට්බෝල් ලීගය, බේස්බෝල් ලීගය, බොක්සිං තරගාවලි, පිහිනුම් තරගාවලි පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මේ වෙනකොට ලොව ප්‍රමුඛතම ක්‍රිකට්, වොලිබෝල්, බැඩ්මින්ටන්, කබඩි, හොකී ලීගයන් ඉන්දියාවේ ක්‍රියාත්මකයි. ඕස්ට්‍රේලියානුවන් නොකරන ක්‍රීඩාවක් ඔබට කියන්න පුළුවන්ද? ඒ තරම් ඔවුන් ක්‍රීඩාශීලීයි. ඉන් ඔවුන් උපයන මුදල අපට හිතාගන්නවත් බැරි තරම්. එංගලන්තයත් මීට සමානව ක්‍රීඩාවෙන් මුදල් උපයන රටක්. මේ එක රටක්වත් ආර්ථික වශයෙන් දියුණු වෙලා ඉවරවෙලා ක්‍රීඩාව දියුණු කළා නෙමෙයි. ඔවුන් ක්‍රීඩාවත් එක්කම දියුණු වුනා. රටක දියුණුවත් එක්ක ක්‍රීඩාව ඒ තරම් දුරට බැඳිලා තියෙනවා.

නමුත් අපට අපේ ජාතික ක්‍රීඩාව යැයි කියන වොලිබෝල් ක්‍රීඩාවවත් ඒ මට්ටමට ගේන්න බැරිවෙලා තියෙනවා. අපේ රටේ ක්‍රීඩාව දියුණු කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති, අනුග්‍රාහකයන් සහ අවංක නිලධාරීන් හොයාගන්න පුළුවන් නම්, ක්‍රිකට් විතරක් නෙමෙයි, හැම ක්‍රීඩාවටම වගේ දක්ෂයෝ අපේ රටේ ඕන තරම් ඉන්නවා. ඔබ ඇහුවේ අපේ රටේ ක්‍රීඩාව ගැන. මම කිව්වේ අපේ රටේ නැති, ලෝකෙ තියෙන දේවල් ගැන.

#. ක්‍රීඩා වාර්තාකරණයේදී සිදුවුණු රසවත් සහ අමතක නොවන අත්දැකීම් බොහොමයක් ඇති. ඒවා කීපයක් ගැනත් මෙතෙක් ඔබේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂී කඩඉම් ගැනත් දැනගන්න කැමතියි?

2017 වසර මුලදී බොක්සිං තරගාවලියක් ආවරණයට මම රාජකීය විද්‍යාලයීය බොක්සිං අංගනයට ගියා. එදා තරග වලට සහභාගී නොවී පැත්තකට වෙලා වාඩිවෙලා හිටපු අනූෂා කොඩිතුවක්කුව මට දකින්න ලැබුනා. ඒ වෙනකොට ලංකාවේ හිටපු ප්‍රබලතම සහ අපරාජිත බොක්සිං ක්‍රීඩිකාව වුණු ඇය එහෙම වාඩිවෙලා ඉන්නෙ ඇයි කියලා මම ඇයගෙන් අහලා බැලුවා. 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇය ඇගේ බර පන්තියේ ලෝක ශුරිය, ඉන්දියාවේ මේරි කොම් එක්ක සටන් වැදිලා දණහිසේ ආබාධයකට ලක්වෙලයි හිටියේ. ඒ වෙනකොටත් ඇය බොක්සිං ක්‍රීඩාව අත් ඇරලා ඉන්න බවක් තමයි මම දැක්කේ. ඇය හිටියේ කණගාටුවෙන්. මම ඇයට කතා කළා. ඇගේ වයසත් එක්ක ඇයට තවත් ක්‍රීඩා කළ හැකියි නේද කියන අදහස මට ආවා. නමුත් ඇයට තිබුනේ දරුණු ආබාධයක්.

එදා මම ඇය ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න අදහස් කරගත්තා. ඒක කරන්න හිතුවෙම ඇයව දිරිමත් කරන අදහසින්. ඊට ThePapare.com කළමනාකාරීත්වයෙන් අවසර ලැබුනා. “Graceful Fist” නමින් අපි ඒක කළා. ඒ අතර මම නිතර ඇයට කතා කළා. ඇය සාමාන්‍යයෙන් බොහොම ශක්තිමත් කෙනෙක්. ඒත් ඇය ගැන වාර්තා ලියමින්, ඇගේ වාර්තා චිත්‍රපටය කරමින් ඉන්න අතරේදී ඇය තුළ විශ්වාසය ගොඩනැගෙනවා මම දැක්කා. ඒත් එක්කම ඇය ඉතා උනන්දුවෙන් ශල්‍යකර්ම වලට සහ දණහිසේ පුනරුත්තාපන කටයුතු වලට සහභාගී වුනා.

අවුරුද්දක්ම බොක්සිං වළල්ලෙන් පිටත ප්‍රේක්ෂිකාවක් වෙලා හිටපු, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම බොක්සිං ක්‍රීඩිකාව 2017 වසර අවසානයේ සියළු ජාතික තරග ජයග්‍රහණය කරලා, “වසරේ බොක්සිං ක්‍රීඩිකාව”ත් වෙලා, 2018 ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඒ තරගාවලියේදී තමයි බොක්සිං ක්‍රීඩිකාවක විසින් ශ්‍රී ලංකාවට පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කම අරගෙන ආවේ. ඒක කළේ අනූෂා කොඩිතුවක්කු. ඇය නැවත ලංකාවට ඇවිත් මට දුරකතනයෙන් කතා කළා. එදා ඇය මට ස්තුති කළා ඇයව දිරිමත් කිරීම ගැන. එදා රාජකීය විද්‍යාල බොක්සිං අංගනයේදී අපි අතර සිදුවුණු කතා බහ සිදු නොවුනානම්, ඒ පදක්කම ලංකාවට නොලැබෙන්න තිබුණු බව ඇය කියද්දී මට දැනුණු සතුට ගැන හිතාගන්න පුළුවන් නේද? ඒ නිසාමයි මම ඔබට කියන්නෙ, ක්‍රීඩා මාධ්‍යවේදය කියන්නෙ ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබ්බට ගියපු එකක් කියලා.

මාධ්‍ය ජීවිතයේ කඩඉම් ගැන කිව්වොත්, ශ්‍රී ලංකාවේ පළමු සිංහල වෙබ් ක්‍රීඩා විශේෂාංග වැඩසටහන් මාලාව (ඇසිදිසි) කරන්න හැකිවුනා, ශ්‍රී ලංකාවේ පළමු වොලිබෝල් වෙබ් සජීව විකාශයේදී මුල් වරට ගුවනට මුසුවුනේ මගේ හඬ, ThePapare.com විසින් කරපු පළමු මලල ක්‍රීඩා වෙබ් සජීව විකාශයේදී මුල් වරට ගුවනට මුසු වුනෙත් මගේ හඬ. වෙබ් අවකාශයට ක්‍රීඩා පිළිබඳ විශේෂාංග ලිපි රාශියක් ලියන්න අවස්ථාව ලැබුනා. ඒ ඇරෙන්න වෙබ් අවකාශයට සිංහල ක්‍රීඩා වාර්තා වැඩසටහන් කිහිපයකුත් මගේ අතින් නිර්මාණය වෙලා තියෙනවා.

#. පුරවැසියෙක් විදියට අපේ රටේ මේ මොහොත ගැන ඔබට තියෙන්නෙ මොන වගේ තක්සේරුවක්ද?

ඒක තීරණාත්මකයි. අපි ඉන්නෙ තවමත් අපට නිවැරදි කරගන්න නොහැකි වුණු ක්‍රමවේදයක් ඇතුළේ. "සිස්ටම් එක අවුල්" කියලා බොහෝදෙනා තවමත් කියන්නෙ ඒකයි. නමුත් අවුල් සිස්ටම් එකක් ඇතුළේ වුනත් අපි ඉක්මණින් කළයුතු දේවල් තියෙනවා. රටක් හැටියට සහ පුරවැසියන් හැටියට අපි ඒවා කළයුතුයි. අනෙක් අය වගකීම් ඉටුකරනවද නැද්ද කියන එක ගැන තර්ක කර කර ඉන්නවට වඩා "මම මගේ වගකීම ඉටුකරනවද?" කියන එක ගැන උනන්දු වුනොත් ඒක කළහැකියි. මොකද "සිස්ටම් චේන්ජ්" කියන ඒවා දිගුකාලීනයි. ඒකට අවුරුදු 15ක් 20ක්, සමහරවිට 30ක් විතර වුනත් ගතවෙන්න පුළුවන්. අද වගකිව යුතුදේට අද වගනොකියා අපට ඒ අවුරුදු 20කින් විතර සිදුවෙන වෙනස බලාපොරොත්තු වෙන්න බෑ.

#. ඔබ නියෝජනය කරන පරම්පරාව ගැන ඔබේ අදහස මොකද්ද?

මම නියෝජනය කරන පරම්පරාව මොකක්ද කියලත් මට යම් ගැටළුවක් තියෙනවා. අපි ඔබේ ප්‍රශ්නය ලේසි කරගත්තොත්, මගේ වයසේ අය කරන වැඩ ගැන මට ලොකු විවේචනයක් නෑ. වැරදිකාරයො ඉන්නව නම් ඊට හේතුවත් මම කලින් කියපු වැරදි සමාජ ක්‍රමය. ඒක ඇතුළෙන් හරි දේවල් බිහිවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. නමුත් කියන්න සතුටුයි, තාමත් යහපත් බලාපොරොත්තු තියාගෙන, රට වෙනුවෙන් සහ සමාජයක් වෙනුවෙන් වැඩකරන මිනිස්සු මේ රටේ ඉන්නවා. ඔවුන් ක්ෂේත්‍ර ගොඩක් නියෝජනය කරනවා. ඔවුන්ට වයස් භේදයක් නෑ. එතන මගේ වයසේ අයත් ඉන්නවා. ඒ හැමදෙනාටම මගේ සහ රටේ ගෞරවය හිමිවෙන්න ඕන.

#. මේ දවස්වල කරමින් ඉන්නෙ මොනවද සහ ඉස්සරහට වෙන්න නියමිත මොනවද කියල අපි දැනට අපේ සංවාදය මෙතැනින් අවසන් කරමු?

මේ දවස්වල වාර්තා චිත්‍රපටයක වැඩ අවසන් වෙන්න නියමිතව තියෙනවා. ඒක කොවිඩ් වසංගත තත්වය නිසා ටිකක් කල් ගියපු වැඩක්. ඒ අතර මම හැමදාම ආස කරපු සංගීතයට ඉඩකඩ වෙන්කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම සමාජ ජාලා වල එකේක දේවල් ගැන ලියනවා. ඒ හැමදෙයක්ම තවත් එක පුරවැසියෙකුට හරි ආදර්ශයක් වෙන විදියට කරන්න උත්සාහ කරනවා.

සංවාදය - කසුන් සමරතුංග