විත අස පත 31 - මේ ප්‍රෙහෙලිකාව කවුද විසඳුවේ !

විත අස පත 31 - මේ ප්‍රෙහෙලිකාව කවුද විසඳුවේ !

19 July 2021 07:34 am

 

අසීස් මිර්සා අධ්‍යක්ෂණය කළ 'ෆිර් බී දිල් හේ හින්දුස්ථානි' චිත්‍රපටය 2000 වර්ෂයේ දී කරළියට පැමිණියකි. ශාරුක් ඛාන් සහ ජූහි චවුලා ප්‍රධාන භූමිකා රඟන එහි ආරම්භක ධාවන කාලය හාස්‍යයට බර, විනෝදකාමී, තරමක් බොළඳ යැයි පැවසිය හැකි මට්ටමේ එකකි. ශාරුක් ඛාන් ජනමාධ්‍යවේදියෙකු ගේ චරිතයට පණ පොවයි. අතිශයින් කෙළිලොල් දිවියක් ගෙවන ඔහුට පෙම්වතියන් බොහොමයකි. ඔහු රාජකාරි කරන මාධ්‍ය ආයතනයට ප්‍රතිවිරුද්ධ තවත් තරගකාරී මාධ්‍ය ආයතනයකි. ජූහි චවුලා රඟන්නේ එම මාධ්‍ය ආයතනයේ ජනමාධ්‍යවේදිනියක් ලෙස ය. ඔවුන් දෙදෙනා අතර දැඩි වෘත්තිමය තරගයකි. චිත්‍රපටයේ ආරම්භය ඔවුන් දෙදෙනා අතර ඇති වන තරගය, අඬ දබර, පැරණි පෙම්වතියන් ගේ කතන්දර ආදිය ඔස්සේ ගලා යයි. නමුත් ඔවුන් ගේ ජීවිත එකවර ම වෙනස් වන්නේ මරණ දඬුවමට ලක් වී එල්ලුම් ගහට යෑමට නියමිතව සිටින මහලු මිනිසෙකු හඳුනාගන්නට ලැබීමත් සමඟ ය.

ඒ මිනිසා ගේ කතාන්දරය ඛේදවාචකයකි. කිසිවෙකු විසින් ඔහු ගේ දියණිය රැකියාවක් ලබා දෙන මුවාවෙන් රවටා දූෂණයට ලක් කරනු ලැබෙයි. ඇය මිය යයි. නමුත් ධනය සහ බලය හමුවේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නැත. අවසානයේ නීතියත්, අධිකරණයත්, අලුගෝසුවාත් තමා ම වන්නට පියා තීරණය කරයි. ඔහු සිය දියණිය ගේ දූෂකයා මරා දමයි. ඔන්න එවිට ම මෙතෙක් කාලයක් ධනය සහ බලය අබියස ළඟ නැමුණු නීතිය ක්ෂණිකව ක්‍රියාත්මක වෙයි. ඔහුව එල්ලා මැරීමට නියම වන්නේ ඒ අනූව ය. මේ කතාව හෙළිදරව් කරගැනීමෙන් පසු ශාරුක් ඛාන් සහ ජූහි චවුලා සිය පුද්ගලික කෝන්තර පසෙක දමා මහලු මිනිසා මරණයෙන් බේරා ගැනීම වෙනුවෙන් වෙහෙසෙති.

 

නමුත් එය සිතන තරම් පහසු කටයුත්තක් වන්නේ නැත. ඔවුන් ගේ ම ආයතන ප්‍රධානීයෝ පවා ඊට දැඩි ලෙස විරුද්ධ වෙති. තක්කඩි මාධ්‍ය භාවිතය ප්‍රදර්ශනය කරමින් ප්‍රධානීන්ට අවශ්‍ය වෙන්නේ එල්ලුම් ගසේ මෙහෙයුම සිය නාලිකා ඔස්සේ සජීවී ව විකාශය කිරීමට ය. ඒ සඳහා අනුග්‍රහයකයෝ ද බෙහෙවින් ඉදිරිපත් වෙති. අවසානයේ අර මිනිසා එල්ලුම් ගස වෙත කැඳවාගෙන යන්නේ අනුග්‍රාහක නිල ලාංඡනවලින් පිරුණු සිර ඇඳුමකින් සරසවා ගෙන ය ! ඒ දර්ශනය සමාජ - දේශපාලනික වශයෙන් අතිශය උත්ප්‍රාසජනක ය. කෙසේ හෝ අවසානයේ දීර්ඝ ක්‍රියාදාමයකට පසුව එල්ලුම් ගහ අබියස දී බොලිවුඩ්මය කරණමක් ගසා ඒ මිනිසා මරණයෙන් ගලවා ගැනීමට ශාරුක් ඛාන් සමත් වෙයි. බොහෝ හින්දි චිත්‍රපටවල මෙන් අවසානයේ සියල්ලෝ සතුටින් විසිර යති.

චිත්‍රපට මෙන් සැබෑ ලෝකය සුව පහසු නැත. නමුත් මිනිසා පෙර ගමන් වෙනුවට පසු ගමන් රැගෙන යන යෝජනා සහ ක්‍රියාවලට එරෙහිව කොන්දේසි විරහිතව එක පෙළට සිට ගත යුතුය. ඇහැට ඇහැක් - දතට දතක් න්‍යාය ප්‍රයෝගික ව ක්‍රියාත්මක වූයේ ප්‍රාථමික - ගෝත්‍රික සමාජ තුළ ය. ශිෂ්ට සම්පන්න ලෝකය ඇහැට ඇහැකුත් දතට දතකුත් බලාපොරොත්තු වන්නේ නැත. නමුත් ශිෂ්ටත්වය පවා සාපේක්ෂ ය. ශිෂ්‍යත්වය නිසා ළමුන් මරවන බිමක සිට අප ශිෂ්ටත්වය මැන බලන මිණුම් දණ්ඩ කුමක් විය හැකිද? ඇන්ටන් ජෝන්ස් 'මරු සිරා' ගැන ගැයූ ගීතයේ එක් තැනක මෙසේ කියැවෙයි. 

"එල්ලලාද මැරුණේ
මරලාද එල්ලුවේ
මේ ප්‍රෙහෙලිකාව කවුද විසඳුවේ?"

- කසුන් සමරතුංග -