’’ඊගෝවකින් තොර ලියන්නෙක් වීමයි මේ යුගයේ අභියෝගය !’’ - සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

’’ඊගෝවකින් තොර ලියන්නෙක් වීමයි මේ යුගයේ අභියෝගය !’’ - සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

10 June 2021 02:08 pm

සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් සාහිත්‍යය අවකාශයට සම්මුඛ වන්නේ කෙටිකතාකාරියක්, කිවිඳියක් සහ තීරුලිපි රචිකාවියක් ලෙස ය. 'ගඩ්නේවාලා' නම් ඇගේ කුළුඳුල් කෙටිකතා සංග්‍රහයට 2019 ගොඩගේ සාහිත්‍යය අත්පිටපත් තරගාවලියේ හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම සම්මානය ද, 2020 ගොඩගේ ජාතික සාහිත්‍යය සම්මාන උළෙලේ වසරේ නිර්මාණශීලී නවක දායකත්වය සඳහා වන සම්මානය ද හිමි විය. මතු දැක්වෙන්නේ ලංකා නිව්ස් වෙබ් අඩවිය ඇය සමඟ සිදුකළ සංවාදයක සංක්‍ෂිප්තයයි.


 
#. මම මුලින්ම ඔබව අඳුරගන්නෙ බූන්දි වෙබ් අඩවියේ පළවී තිබූ ඔබේ 'ශාන්ති' කවිය නිසා. ඒ නිසා මං කැමතියි එතැනින් කතාව පටන් ගන්න. ශාන්ති ලියැවුණේ කොහොමද සහ ඒකද ඔබේ මුලින්ම පත්තු වුණ වැඩේ?

ශාන්ති ලියවෙන්නේ අත්දැකීමකින්. ශාන්ති කවියේ වගේම අත්දැකීමේ ඉන්න චරිතයේ නමත් ශාන්ති. සමාජය විසින් මවක් වීම යන්න අනිවාර්ය කිරීම හරහා ගැහැනියකට පැටවූ බර සහ ඒ බර වෙනුවෙන් ගැහැනියක් ගෙවූ වන්දිය, මා දන්නා ශාන්ති හරහා ලිව්වේ. ලිව්වටත් වඩා ලියවුණා කිව්වොත් නිවැරදියි. ශාන්ති ලියන කාලේ වෙනකොට සාහිත්‍යයට සම්බන්ධ පොඩි දේවල් ටිකක් අන්තර්ජාලයේ පත්තු වෙලා තිබුණා. හැබැයි ඔබත් ඇතුළුව බොහෝ දෙනා මා හඳුනා ගන්නේ ශාන්ති හරහා නිසා පත්තු වුණු වැඩේ විදිහට ශාන්ති හඳුන්වමු.

"අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,
ගම්මු කිව්වා ශාන්තී,
මලක් පිපුණම මැරෙන ගස් ගැන
අහල තිබුණද ශාන්තී?

එකම එක එක් වතාවක් ගහ
මලක් දැරුවා ශාන්තී,
මුල් මුදෝගෙන පොළොව ඉඹගත්
ගහක් දැක්කද ශාන්තී?

මල් හදන්නයි ගස් උපන්නේ
කවුද කිව්වා ශාන්තී,
මල් බදාගෙන ගස් මැරෙන්නේ
අන්න ඒකයි ශාන්තී"


#. 'ගඩ්නේවාලා' නම් ඔබේ කුළුඳුල් කෙටිකතා සංග්‍රහය 2019 ගොඩගේ අත්පිටපත් තරගාවලියේ හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම සම්මානයෙන් පිදුම් ලැබුවා. එයම 2020 ගොඩගේ ජාතික සාහිත්‍යය සම්මාන උළෙලේ වසරේ නිර්මාණශීලී නවක දායකත්වය සඳහා වන සම්මානයෙන් ද පිදුම් ලැබුවා. කුළුඳුල් කෘතියම මෙසේ ඇගයීමට පත්‍රවීම ඔබ තුළ ඇති කළේ කොහොම හැඟීමක්ද?

අත්පිටපත්වලින් තේරිලා පොතක් වීමත්, පොතට සම්මාන ලැබීමත් දෙකම කියන්න නොතේරෙන සතුටක් වුණා. ඒ ඇතුළේ විස්මයත් තියෙන්න ඇති.
අත්පිටපත පොතක් වෙලා අතට ආව මොහොත, සම්මානය ලද මොහොතට වඩා සතුටක් වුණා. ඒක හීනයක් හැබෑ වීමක් වගේ. සම්මානය ලැබුණු එක සතුටක්. හැබැයි ඒක සම්මානය නොලැබුණා නම් දුකක් වෙන විදිහේ සතුටක් නෙමෙයි. බොහොම උපේක්ෂා සහගත සතුටක්.

#. ඔබේ පරම්පරාවේ කවිය සහ කෙටිකතාව ගැනත්, ඔබට උත්තේජනයක් සැපයූ පෙර පරම්පරාවේ කවිය සහ කෙටිකතාව ගැනත් ඔබේ කියැවීම මොකද්ද?

මම මේ දෙකේ සාහිත්‍ය, මේක ඒකට වඩා හොඳයි කියල කිසිම අයුරකින් සංසන්දනය කරන්නේ නැහැ. යම් යම් වෙනස්කම් දකිනවා. එහෙම වෙන්න ඕනනේ. කළින් පරම්පරාව ලියපු දේවල් අපි කියෙව්වා. කළින් පරම්පරාවේ ලේඛකයෝ, මුලින්ම ලියපු දේවල්වලට වඩා වෙනස් දැක්මක් එක්ක ඊට පසු කාලයේ දේවල් ලියල තියෙනවා අපි කියවල තියෙනවා. කාලයත් එක්ක අපේ ඇස් අරවන්න ඒ දේවල් හේතු වුණා. ඒ කාලයේ සමාජ, ආර්ථික වටපිටාව ගැන අදහසක් ගන්න තියෙන හොඳම දේ තමයි සාහිත්‍ය කියන්නේ. කොයි කාලෙත් සාහිත්‍ය කියල කියන්නේ අදාල සමාජයේ කැඩපතක්. අද වගේ නෙමෙයි, නිර්මාණයක් එළිදක්වන්න ඒ කාලේ කල් යනවා. ඒ කාලෙත් එක්ක නිර්මාණය වගකීමෙන් කළ වැඩක් විදිහට එළිදක්වන්න, වැඩේට පොඩි බරක් දෙන්න ඉවසීමක් ඒ පරම්පරාවලට තිබුණා. ඒක නිසඟයෙන් ලැබුණා. ඒ බව ඔවුන්ගේ නිර්මාණවල පිළිඹිබු වුණා. වත්මන් පරපුරේ ලිවීමේ මාධ්‍ය වෙනස්නේ. හුඟක් වෙලාවට අපි ලියන්නේ අන්තර්ජාලයේ. එහෙම ලිව්වම අනෙක් අතට ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර අදාළ බරෙන් අරගෙන, තමන්ගේ ලිවීමට දේවල් එකතුකරගන්න වර්තමානයේ ලේඛකයන්ට හැකියාව ලැබෙනවා. හැබැයි ඒ තමන් පොඩියි සහ ලොකු වෙන්න ඉඩ තියෙනවා කියන නිහතමානි ඇහෙන් තමන් දිහාම බලනව නම් විතරයි. අපේ කළින් පරම්පරාවලට වඩා දැන් තොරතුරු හොයන්න ලේසියි. කෙටිකතාවක, කවියක ආකෘතිය වෙනස් කරන්න නව්‍යතා හොයන යන්න ලේසියි. මේ ලේසිය හරියට පාවිච්චි කරන එකෙයි වැඩේ තියෙන්නේ. මොනවා හෝ භාවාතිශය පද ටිකක් එකිනෙක දිග අතට ලියන ගිය පමණින් එය කවියක් වෙන්නේ නැහැ. කෙටිකතාවක් වුණත් ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. වේගවත් වර්තමාන ලෝකේ, නිර්මාණයක් එළිදක්වන්න යන්නේ බොත්තමක් එබීම පමණක් වෙන්න පුළුවන්. හැබැයි ඒක වැඩක් වෙන්න නම්, එකේ වගකීම කියන කොටස හරියට වෙන්න ඕන. ඒ නිසා මං ආයෙත් කියනවා, මේ කියන්නේ ඉස්සර අය දැනට වඩා හොඳයි හෝ දැන් අය නරකයි කීම නෙමෙයි. ඉස්සර අයට වඩා දැන් අයට ලිවීමේදී, ඉවසීම කියන කොටස මහන්සි වෙලා පුරුදු වෙන්න වෙනවා කියන එකයි. එහෙම ඉවසීමෙන් ලියන අය ඉන්නවා.
 


#. පසුගිය කාලයේ ඔබ සතිඅන්ත ජාතික පුවත්පතකට 'රෝස පෙති' නමින් තීරුලිපි පෙළක් රචනා කළා. තීරුකරුවෙක් වීම මොන වගේ අත්දැකීමක් වුණාද?

කෙටිකතා සහ කවිම ලියමින් හිටි කෙනෙකුට, තීරුකරුවෙක් වීම අභියෝගයක්. අත දිගහැරලා ලියන්න බැහැ. රෝස පෙති ගෑනු චරිත ගැන ලියන්න සීමා වුණා. ඒක වෙනස් වුණේ එකම එක වතාවක විතරයි. මම මගේ ලිවීමේ ජීවිතේ ලද ලොකුම අවස්ථාවක් විදිහට තීරුකරුවෙකු වීමට ඒ ලැබුණු අවස්ථාව සලකනවා. ඒ පොඩි තීරුව ඇතුළේ, කරුණුවලට වගවීම සහ වගකීම, නිර්මාණශීලිත්වය නොනසා පොඩි ඉඩක කරුණු ගොනු කිරීම ආදිය මම යම්තාක් දුරකට ඉගෙන ගත්තා.

#. ගැහැනියක් ලියන්නියක් වීම අභියෝගයක්ද?

ගැහැනියක් ලියන්නියක් වීමේම නෙමෙයි මේ යුගයේ අහියෝගය. අහමකින් තොර හෙවත් ඊගෝවකින් තොර ලියන්නෙක් වීමයි මේ යුගයේ අභියෝගය. අර කළිනුත් කිව්වා වගේ අපි ඉන්නේ ලියු දේට එසැණින් ප්‍රතිචාර ලැබෙන යුගයක. ඒ ප්‍රතිචාර අතරේ, ගැහැනු - පිරිමි බව මත පාදන් වෙච්ච ප්‍රතිචාර තියෙන්න පුළුවන්. 'ගෑනියෙක් වෙලත් ඔහොම ලියන එක මාරයි' සහ 'ගෑනියෙක් ඔහොම ඒවද ලියන්නේ?' කියන දෙකොටසම මේ ප්‍රතිචාර අතරේ තියෙනවා. ප්‍රතිචාරවලින් රිදෙන හෝ පිම්බෙන ඊගෝවකින් යුතු කෙනෙක් නොවුණා නම්, ඔය දෙකම බොහොම උපේක්ෂාවෙන් භාර ගැනෙනවා.
ඒ නිසා මම හිතන්නෙ, ගැහැනියක ලියන්නියක් වීම නෙමෙයි අභියෝගය. අහමකින් තොර ලියන්නෙක් වීම.

#. මේක රට සහ ලෝකය අර්බුදයේ ගිලුණු මොහොතක්. පුරවැසියෙක් විදියට ඔබ මේ මොහොතේ දේශපාලනිකව සහ සමාජීය වශයෙන් අපේ රට දකින්නේ කොහොමද?

මේ මොහොත මම දකින්නේ, අසමත්කම් සහ ආත්මාර්ථකාමීකම් රැසක එකතුවෙන් උභතෝකෝටිකයකට මුහුණ දුන් මොහොතක් විදිහට. එක අතකින් ජීවිතය රැකගැනීම හෝ ජීවිකාව රැකගැනීම යන දෙකෙන් එකක් තෝරාගන්න බහුතරයකට සිදුවී තිබෙනවා. වගකීම් පැවරුණු අයගේ වගකීම් විරහිතභාවය, පුරවැසි වගකීමේ ඇතිවුණු හිස්තැන්, පුරවැසි නිහඬතාව, හඬ යටපත් කිරීම්, මේ සියල්ල මැද්දේ අපි බෑන් චූන් සද්දේ අහගෙන ඉන්නවා නැව ගිලෙනකම්. 'ජීවත් වෙලා හිටියොත් බලමු.' ඒක තමයි මේ මොහොතේ බහුතරයකගේ අනාගතය ගැන තියෙන එකම උත්තරේ.

#. කලාවට සහ සාහිත්‍යයට මේ වෙලාවෙ පැවරෙන වගකීම මොකද්ද?

පහුගිය අවුරුදු කිහිපයේම අපි හිටියේ අපේ පොඩි ලෝකවල තනිවෙලා. අපි ගතින් අපිට සමීප මිනිස්සු මඟහැරලා ඩේටා, තරංග සහ කේබල් ඔස්සෙ ගොඩනැගුණු පොඩි විශ්වයන්වල හිටියේ. කොවිඩ් අපිට ඒ බව පෙන්වල දුන්නා. අපිට අපි එක්කම ජීවත් වීමේ බලහත්කාරයට යටත් වෙන්න වුණා. අපි කොහොමත් ජීවත් වුණේ අපිත් එක්කමයි, හැබැයි ඒක කොයිතරම් නීරසද සහ වර්ණවත් බවෙන් තොරද කියල වටහාගනිමින් අපි ඉන්නෙ. ඒ නිසා මේ මොහොතේ අපි හැමෝටම ඕන සමාජයීය මොහොතක්. හැබැයි අපිට ඒක ඉටුකරගන්න බැහැ. ඒ වගේම මේ මොහොත ගැන හරි තොරතුරක් නැහැ. වගකීමක් ගන්න කෙනෙක් නැහැ. අවිනිශ්චිතයි. ඒ නිසා මේ මොහොතේ මිනිස්සු ඉන්නේ පුදුමාකාර පීඩනයකින්. සාහිත්‍ය සහ කලාව මේ මොහොතේ ඒ පීඩනය පිට කරන්න හෝ සමහන් කරගන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න ඕන. ඒ යථාර්තය අමතක කරවීමෙන් නම් නෙමෙයි. කලාව සහ සාහිත්‍ය කියන්නේ නිමක් නැති අන්තයන්ට මිනිසුන්ව ගෙනියන්න පුළුවන් දෙයක්. ඒ ඔස්සේ මේ මොහොත හැකි තාක් සැපවත් කිරීම කලාවේ සහ සාහිත්‍යයේ වගකීම කියල මම හිතනවා.

#. ඔබ නිරත වෙන්නෙ වෙළඳ දැන්වීම්කරණය ආශ්‍රිත රැකියාවක. ඇඩ්වර්ටයිසිං සහ ආර්ට් කියන්නෙ එකක්ද, දෙකක්ද?

ආර්ට් කියන්නේ ලොකු දෙයක්. ඇඩ්වර්ටයිසිං කියන්නේ ඒක ඇතුළෙ පොඩි දෙයක්. ඒ පොඩි දේ ලොකු කොටසක් පාලනය වෙන්නේ වෙළඳපොළ කියන සාධකයෙන්.


#. ගඩ්නේවාලාවලින් පස්සෙ මේ දිනවල වෙන්නෙ මොනවද, ඉදිරියට වෙන්න නියමිත මොනවද?

කෙටිකතා කිහිපයක් දෙමළ බසට පරිවර්තනය වුණා. ඒ කතාත් තවත් ප්‍රවීන ලේඛිකාවන් රැසකගේ කතාත් අඩංගු neighbor women stories කෘතිය චෙන්නායි සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම පරිවර්තන කෙටිකතා කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ පරිවර්තන කළේ රිෂාන් ෂරිෆ්. ඔහු අති දක්ෂ ලෙස එම කාර්යය සිදුකළා. තව පොතකට කතා එකතු වෙමින් තියෙනවා. හැබැයි ඒ කිසිවක් ලෝකය එක්ක බෙදාගන්න තරම් තවම නිමවුම් වෙලා නැහැ. බොහොම හෙමින්, ලියමින්, මකමින් සහ ඉතාම ඉවසීමෙන් මම ඒ දේවල්වල නිරත වෙලා ඉන්නවා. අපි බලමු.

සංවාදය - කසුන් සමරතුංග