කලාව භාවිත වෙන්න ඕනෙ ආධ්‍යාත්මිකත්වය වෙනුවෙනුයි තමාවම දකින්නයි

කලාව භාවිත වෙන්න ඕනෙ ආධ්‍යාත්මිකත්වය වෙනුවෙනුයි තමාවම දකින්නයි

6 May 2021 07:59 pm

කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව සහ රූපවාහිනී අධ්‍යයනය හදාරන, මලිඳු කාවින්ද කුමාරසිංහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිද, කාව්‍ය නිර්මාණකරණයේද, මුහුණුපොතෙහි නිර්මාණාත්මත කතාන්දර රචනයෙහිද සමත් තරුණයෙකි. 'ගිහින් එන්නම් නාමලී' කාව්‍ය සංග්‍රහය සහ 'ලෙෆ්ට් රයිට්' නම් කෙටි චිත්‍රපටය ඔහුගේ නිර්මාණය. 

අගනුවර කේන්ද්‍රීය සංවාද කව කරා පැමිණෙන උද්යෝගී නිර්මාණකරුවකු වන ඔහු නිරත කලා භාවිතයන් සම්බන්ධයෙන් කළ සංවාදයකි මේ.

ඔබේ කවි බසේ නැමියාව ඇරඹුණු, සැකසුණු, පිරිපහදු වුණු ගමන්මග ගැන මතක් කරමු ?

ඉස්කෝලේ කාලේ 9 වසරේ වගේ ඉගෙනගන්න කාලේ මම ළමා පත්තරවලට ලිව්වා. නමුත්, කවි ලියලා විශේෂයෙන් කියල ජයග්‍රහණ නම් අරගෙන නැහැ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ, පුවත්පත්වල කවි පිටුවට කවි ලියන්න ගත්තා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දියි පෙළඹවීමක් ආවේ දිගටම කවි ලියන්න. මම මුහුණුපොත් කවියෙක් නෙමෙයි. ප්‍රේමය, ගමේ සිට කොළඹ නාගරික ජීවිතයට හුරුවීම, ඒකෙන් අත්දැකපු සංස්කෘතික වෙනස වගේ ජීවිතයේ සංධිස්ථානමය අත්දැකීම් ඒකට බලපෑවා කියලා මම හිතනවා.

නිර්මාණකරණයේදී ඔබ ආභාසය ලැබූ, අය ගැන සඳහන් කරන්න ලැබුණොත් එහි මුල්පෙළ සිටින අය කවුද ?

මංජුල වෙඩිවර්ධන මම ඉතා කැමති ලේඛකයෙක්. ඔහුගේ නවකතාවල, කෙටිකතාවල පවා තියෙන්නෙ එක්තරා කාව්‍යමය බවක්. ඒ වගේම සමර විජේසිංහ. ඔහු ජීවිතේ තියෙන සැහැල්ලුව, අපිට හිතන්නවත් බැරි විදියට කවියට ගන්නවා. අපි හිතන්නේ, මහ බර වචන කවියට දාන්න ඕනෙ කියලා නේ. නමුත්, ඒ සැහැල්ලුව, අපි කලාවෙන් බලාපොරොත්තු වෙන දේ දනවන්න ඔහු සමත් වෙනවා ඒ කවි බසින්. ඒ වගේම, මහගමසේකරව අපි කාලයක් තිස්සේම කියවමින් ඉන්නවා. නූතන කවි පර්ෂදයෙන්, රුවන් බන්දුජීවගේ කවි හදාරනවා. ඔහු භාෂාව තමන්ට වුවමනා විදියට නමලා අරගෙන ප්‍රකාශනය කරනවා. තව මම කැමතියි මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ කවිවලට. කියවන්නාව අල්ලගන්න පුලුවන් ලයක් ඒ නිර්මාණවල තියෙනවා. ඒ හැරුණුකොට තව බොහෝ කවි කිවිඳියෝ ඉන්නවා.

තරුණ නිර්මාණකරුවන් වැඩි වශයෙන් කවිය අරා රොඳ බැඳෙන්නේ ඇයි ?

නාට්‍ය, සිනමා, විචාර හෝ එවැනි ක්ෂේත්‍රයක රැඳෙන්න නම්, ඒ පර්ෂදය සමඟ එක්වෙන්න නම් එකට ගැවසෙන්න ඕන, ඒ කෙරේ නැඹුරුව ඉන්න ඕන, කියවන්න ඕන, දීර්ඝ කාලයක් අභ්‍යාස කරන්න ඕන, හොයන්න ඕන. ඒත් මුහුණුපොතේදි, වචන දෙක තුනක් ලියලා ඒක කවියක් කියල අර්ථ දක්වාගෙන, ප්‍රතිචාර ලබාගැනීමේ හැකියාවක් ඇති නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. කවිය වුණත් දීර්ඝ කාලීන අභ්‍යාසයක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ සඳහා ශාරීරික ශ්‍රමයකට වඩා අවශ්‍ය වන්නේ මානසික ශ්‍රමයක්. එය එක සිතුවිල්ලක් පමණක් වෙන්න පුලුවන්. නමුත් ඒ සිතුවිල්ල වෙනුවෙන් ජීවිතේ කාලයෙන්, ශ්‍රමයෙන් යම් දෙයක් අපි කැපකරලා තියෙනවා. සිනමාපටයකදි නම් වැඩිපුරම තිරපිටපත ලියන්න ඕන, ප්‍රාග්ධනය ඕන, නළු නිළියන් ඕන, ඔවුන්ව පුහුණු කරන්න ඕන, සංස්කරණය කරන්න ඕන, තිරගත කරන්න ඕන. වේදිකා නාට්‍යයකදිත් මේ වගේ ලොකු ක්‍රියාවලියක් තියෙනවා. නමුත් කවියෙ ඒ ක්‍රියාවලිය තියෙන්නෙ එක් පුද්ගලයෙක් ඇතුළේ විතරයි. ඒ වගේම කවිය ලියන්න මූල්‍යමය වැයවීමක් නැහැ. බොහෝ පිරිසක් කවිය වටා එකතුවෙන්න මේ දේවල් හේතුවක් කියලා මම හිතනවා.

ආධුනික කවිකිවිඳියන් එකම වචන ගොනුව, යළි යළි කවිවලට යොදන තත්වයක් මතුවන බවට යම් චෝදනාවක් විචාරකයන් මතුකරනවා. මේක ඇත්තද ?

එකඟයි. එකම කවි පද කැරකි කැරකි මේ යුගයේදිත් භාවිතවෙනවා අපිට පෙනෙනවා. මේ අදහස වරක් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිත් මතු කළා, දශකයෙන් දශකයට කවියේ බස මාරු විය යුතුයි කියලා. රත්න ශ්‍රී විජේසිංහ, රුවන් බන්දුජීව වැනි කවියනුත් ජාතක කථා, සන්දේශ ඇසුරින් කවි බස සකසා ගත්තා. මේ යුගයේ මුහුණුපොත භාවිත කරන අපිට හැඟෙන දැනෙන වචන තියෙනවා. ඒ කවියට උචිත වචන මේ තාක්ෂණික ලෝකෙ ඇතුළේ අපි හදාගන්න ඕනෙ. එහෙම කවියෙකුයි බිහිවෙන්න ඕනෙ. එහෙම කෙනෙකුයි ඊළඟ දශකයේ කවිය අරාගන්නේ මම හිතන විදියට.

කවියේ සිට චිත්‍රපටය වෙත ගියොත්, විෂයක් ලෙස චිත්‍රපට හදාරන්නෙකු විදියට කෙටි චිත්‍රපට ගැන ඔබේ කියවීම කෙබඳුද ?

කෙටි චිත්‍රපට කියන්නෙත් සිනමාවේ ම එක්තරා ශානරයක්. සමහර කෙනෙක්ට මේක දීර්ඝ සිනමාපටයක් නිර්මාණය කරන්න කිසියම් පෙළඹවීමක්, පෙර පුහුණුවක් වෙන්න පුලුවන්. ලංකාව තුළ බොහෝ තරුණ නිර්මාණකරුවන් පිරිසක් කෙටි චිත්‍රපටකරණයට ඇවිල්ලා ඉන්නවා. එය හොඳ ප්‍රවණතාවක්. මෑත කාලයේ, චන්දන ප්‍රසන්නගෙ 'මඟුල් ප්‍රජාතන්ත්‍රවාදෙ', තිසර මංගල බණ්ඩාරගේ 'අබ සරණයි', තිසර ඉඹුලානගේ 'ලබ්බෙ තොවිලෙ' වගේ කෙටි චිත්‍රපටි අපූරුවට සමාජ, සංස්කෘතික, දේශපාලන කාරණා ගොනුකරලා නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. මේ හැම මාධ්‍යයකම තියෙන ඒ ඒ නිර්මාණවල අනන්‍යතාවන් ප්‍රයෝජනයට ගන්න ඕන. කවියකදි වචනෙන් විතරක් කියන දේ, කෙටි චිත්‍රපටයකදි කියන්න පුලුවන් ආකාර විවිධයි. නළු නිළියන්ගේ ඉංගිත වර්ණ ඇඳුම් මේ හැම දෙයකින්ම යමක් කියන්න පුලුවන්.

ඕනෑම කලා නිර්මාණයක් හෝ ප්‍රකාශනයක් කියන්නෙ, ඒ යුගයේ යම්බඳු සමාජ දේශපාලනික විග්‍රහයක් හෝ දෘෂ්ටිවාදයක් බව ඔබ පිළිගන්නවාද ?

රුසියානු අධ්‍යක්ෂකවරයෙකු වන තර්කොවුස්කි කියලා තියෙනවා, කලාකෘතියක් නම් දෘෂ්ටිවාදයකින් තොර වෙන්න ඕනෙ කියලා. අධ්‍යක්ෂකගේ දෘෂ්ටිය කලා නිර්මාණයේ ගැබ් වෙනවා තමයි, නමුත් කලාව භාවිත වෙන්න ඕනෙ ආධ්‍යාත්මිකත්වය වෙනුවෙන්. ඔහු කියන්නේ, මිනිසාට මිනිසාව දකින්නයි-තමන්ට තමන්ව දකින්නයි කලාකෘති නිර්මාණය කරන්නේ, වෙනත් අරමුණක් නැහැ කියලා. ඇත්තෙන්ම කලාකරුවා නිර්මාණයකදි කරන්නෙ තමාවම නිදහස් කරගැනීමක්. ඒක එක්තරා ආධ්‍යාත්මික කාර්යක්. නමුත්, කලා කෘතිවල ඒ කලාකරුවා අත්දකින සමාජ, දේශපාලනික කරුණු අන්තර්ගත වෙන්න පුලුවන්. ඒ යුගය ගැන සමාජ දේශපාලනික විග්‍රහයක් අන්තර්ගත වෙන්න පුලුවන්. ඒක එම යුගයේ දෘෂ්ටිවාදයක් හෝ විග්‍රහයක් පමණක් කියා මම විශ්වාස කරන්නේ නැහැ.

ඉදිරියේදී පැමිණීමට නියමිත නිර්මාණ ගැන යමක් කියමු ?

කලා කෘති විදියට නාට්‍ය, කවි, කෙටිකතා විදියට ඒ ඒ කෝවට නොදැමූ නිර්මාණයක් එන්නත් ඉඩ තියෙනවා. මොකද අපි යන්නේ කවුරු හෝ හඳුන්වා දුන් මාර්ගයේ. ඒ මාර්ගයෙන් එළියට එන්නත් ඕන.

සංවාදය - ඩිල්ෂානි චතුරිකා දාබරේ