නුදුරුතම පහන් එළිය අබියස සහන් කවිය

නුදුරුතම පහන් එළිය අබියස සහන් කවිය

23 April 2021 01:00 pm

කවිය කියන්නෙ මොකද්ද කියල ඇහුවොත් දෙන්න පුළුවන් උත්තර අටෝරාසියයි. 'කවිය යනු හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමයි' කියන කොල්රිජ්ගෙ සුප්‍රසිද්ධ නිර්වචනයෙ ඉඳන් විමල් දිසානායක දක්වා පරාසයක සංවාද ගොඩනගන්න අපට පුළුවන්. ඒ සරල - සංකීර්ණ හැම නිර්වචනයකින්ම කවිය පිළිබඳ අලුත් - වෙනස් - වෙනත් සහ වෙසෙස් ආලෝක ධාරා දැල්වෙනවා. කපිල කුමාර කාලිංග ලියපු 'පියැසි කවුළුව' නවකතාවෙ කවිය සම්බන්ධව අපූරු කතාවක් තියෙනවා. කතාවෙ කතා නායකයා වුණ වින්ටර්ට දවසක් පාසලේදි ඉංග්‍රීසි සාහිත්‍යය ගුරුවරයා නියම කරපු දඬුවමකට යටත් වෙන්න සිද්ධ වෙනවා. වින්ටර් කරපු වැරැද්ද මොකද්ද? කවි කීපයක් කට පාඩම් කරගෙන ආපු නැති එක. වරදට දඬුවම පාසැල් මිදුලෙ දණ ගහගෙන ඉන්න වුණ එක. වින්ටර් එහෙම ඉන්න කොට කොහේදෝ ඉඳන් එතැනට බොහොම ප්‍රතාපවත්, මහළු මනුස්සයෙක් කඩා පාත් වෙනවා. පොඩි එකාට වුණ අකරතැබ්බ අහන ඔහු කට කොණකින් හිනාවෙලා "කවි මතක නැති එක ඔය ළමයගෙ වැරැද්දක් නෙවෙයි, කවියො දැනගන්න ඕනෙ මතක හිටින විදියට කවි ලියන්න" කියල කියනවා. ඒක කවිය ගැන කදිම කියැවීමක්. හතර කොණ ගැටිල දෝලනය වෙන බොහොමයක් කතන්දර මැද්දෙන් කවියෙ 'රහ' ඉස්මතු වෙන එක තමයි ඉතා වැදගත්.

සහන් හේවා ගමගේ කියන්නෙ කවියෙක්. ඔහු නිල වශයෙන් කවියෙක් බවට රූපාන්තරණය කරන්නෙ 'එක එක තැනට හැන්දෑව වෙනස්' කියන මෙන්න මේ පොත. මෙපමණ කාලයක් පත්තර සහ සයිබර් අවකාශය මත තමන් අකුරු විදියට අතුරපු - නොඅතුරපු කවි ගොන්නක් මුද්‍රිත පිටු විදියට එක උඩ එක තියල ඔහු පොතක් අච්චු ගහල. ඒ අර්ථයෙන් මේක කවි පොතක්. එතකොට දැන් සහන් ඉදිරියෙන් අභියෝගයක් තියෙනවා. ඔහු අපට මතක හිටින වර්ගයේ කවි ටිකක් ලියලද? අපි බලමු.

අපි දන්න සහන් හේවා ගමගේ තමාත්, තමා අවට වටපිටාවත්, එයින් එපිට ලෝකයත් ප්‍රශ්න කරන්නෙක්. ඔහුට අනෙකා එක්ක වගේම තමන් එක්කත් විසඳාගත යුතු ප්‍රශ්න ඕනෙ තරම් තියෙනවා. එතකොට එක අතකින් ඔහුගෙ කවිය කියන්නෙ ඒ බහුවිධ ප්‍රශ්න කිරීම්වල සාහිත්‍යාත්මක මුහුණුවර. නිදර්ශන විදියට මේ කෙටි උපුටන දෙක බලමු.

"සාමයෙන් සැතපෙන කතෝලික සොහොනක
සාදයෙන් කෙළවරක් ඉතිරි කර හැම රෑක
ඇය හොයන අහම්බෙක මට ඉන්න ඉඩක් නෑ
ඒ නිසයි හීතලේ මං තනිව ගල් වුණේ"

"සාධාරණයි නම් මං මෙහෙම ඉන්න එක
ඇයි ඇතුළෙ පැසවන්නෙ වේදනා සද්දෙ
අසීමිත ආශාව ළය ඇතුළෙ රිදුම් දෙන
හිස්කමක් නැවත එන ඇවිත් හිත පුපුරුවන"

හැබැයි අනෙක් අතින් සහන් ඇතුළෙ තමන්ටම ගැලවෙන්න බැරි අතිශය සාම්ප්‍රදායික මනුස්සයෙකුත් ජීවත් වෙනවා. ඒකට ඔහුගෙ පවුල් පසුබිම, මාපිය - අඹු - දරු සම්බන්ධතාව, යාළු - මිත්‍රකම්, පාසැල, දහම් පාසැල, විශ්වවිද්‍යාලය මේ ඕනෙ දෙයක් හේතු වෙන්න පුළුවන්. ඒකෙ කිසි වැරැද්දක් නෑ. එතකොට අන්න ඒ සාම්ප්‍රදායික මනුස්සයාත් ඔහුගෙ කවිය අස්සෙන් එළියට පනිනවා. මේ බලන්න.

"දිය රැල්ලක් ලෙසින් පහතට බැස යන්න
ගඟුලැල්ලක් වගේ දිය පිහිනා යන්න
කැළඹිල්ලක් ඇතිව සටනට එක්වන්න
කඳු රැල්ලක් වගේ පෙදෙසක් අල්ලන්න"

මේ ඉන්නෙ අර කුටුම්භගත වෙලා පාඩුවෙ පැත්තකින් ඉන්න කැමති මනුස්සයා. එහෙම බැලුවම මෙන්න මේ අන්ත දෙක එකට ගැටිලා බිහිවෙන රසය තමයි  සහන්ගෙ කවිය කියන්නෙ. එක පැත්තකින් තමා ඇතුළු ලෝකය ප්‍රශ්න කරන රැඩිකල් මිනිහා ඉන්නවා. අනෙක් පැත්තෙන් සාමාන්‍ය සාම්ප්‍රදායට අත සහ හිත තියාගෙන ජීවත්වෙන මනුස්සයාත් ඉන්නවා. මේ දෙන්නා අතරෙ හුවමාරු වෙන ආදරය, වෛරය, හාස්‍යය, උපේක්‍ෂාව කවි විදියට එළියට පතිත වෙනවා. ඒක මරු වැඩක්. කවියෙකුට ඉතාම හොඳ අභ්‍යාසයක්.

ඒ හැම දෙයක් අතරෙම ඉතා වැදගත් කාරණාව තමයි වඩා යහපත් ලෝකයක් උදා කර ගැනීමේ පොදු මිනිස් හීනය සහන් තමන්ගෙ අකුරු ඇතුළෙ මනා ලෙස ස්ථානගත කර තිබීම. ඔහු පැහැදිලිවම ජාතිවාදයට විරුද්ධයි; ආගම්වාදයට විරුද්ධයි; මිත්‍යාවට විරුද්ධයි. සියලු දෙනාටම සාධාරණව සළකන, ආදරය පිරුණු ශිෂ්ටසම්පන්න සමාජයක් ගැන විශිෂ්ට තිර අදහසක් ඔහු තුළ මුල් ඇදල පැල වෙලා තියෙනවා. ඔහු ඒ වෙනුවෙන් ලියනවා.

"ඉර්ෆාන් සාලියයි මමත් එක පන්තියේ
සල් මලුත් කැඩුවෙ හොරැහින් රාළහාමි
ෆාතිමා සෙට් වුණේ ඔය කියන කාලයේ
ආගමක් තිබුණෙ නෑ ඒ කියපු ආදරේ"

"හීං පොද වැස්සටත් ඉහ තෙමන
රතු පාට වී කරල් මිටියකට
කුරුළු පොරයට ඉහින බත් ඇටය
තවම මිදුලෙම කොණක පුස් පාට"

මේ දැනුවත් සමාජ - දේශපාලන කියැවීම සහන්ගෙ බොහෝ කවි ඇතුළෙ අඩු - වැඩි වශයෙන් විසිරිලා තියෙනවා. තමන් නිවැරදියි කියල හිතන, විශ්වාස කරන මතවාද වෙනුවෙන් නොබියව ලියන, පෙනී ඉන්න කවියෙක් ඒ වචන අතරින් අපට මුණ ගැහෙනවා. කොහොමටත් මේ නිශ්චිත දේශපාලනික මොහොතෙ තමන් ලියන අකුරු සහ වචන වෙනුවෙන් මතවාදී වශයෙන් ස්ථිරසාර ලෙස පෙනී ඉන්න ලියන්නන් අපට වැඩි වැඩියෙන් අවශ්‍යයි.

සහන්ගෙ මේ කවි ගොන්න ඔහුගෙ හොඳම කවිය කියල කියන්න අපි කිසිසේත්ම ඉක්මන් විය යුතු නැහැ. නිරන්තර අභ්‍යාසය සහ නවමු අත්හදා බැලීම් ඔහු ඔහුගෙ හොඳම කවිය වෙත කැඳවාගෙන යාවි. ඒ සඳහා සහන් හොඳ ප්‍රවේශයක් අරගෙන තියෙනවා. අර කලින් කියපු අන්ත දෙකෙන් එකක්වත් හැම තිස්සෙම සීයට සීයක් හරි නැහැ. ඒ වගේම ඒ දෙකම හැම තිස්සෙම සීයට සීයක් වැරදිත් නැහැ. මොන වෙලාවට මොකක් හරිද මොකක් වැරදිද කියල හරියටම තීරණය කරන එකයි වඩා වැදගත්. අන්න ඒ නිශ්චිත තීරණය ගන්න පුළුවන් වෙන දවසට සහන් ටක්කෙටම ඔහුගෙ පහන් කවිය හොයා ගන්නවා. එතෙක් ගමනේ යෙදෙන්න ඔහු දැන් වඩා හොඳ මාවතක් පාදාගෙන ඉන්නවා. ඔහු ඒ මාවතේ ගමන් කරන හැටි අපි ඉතා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. කොහොමටත් එක තැන ගල් ගැහිලා නතර වෙනවට වැඩිය අඟලක් හරි ඉදිරියට යන්න යොදන බලය අපි හැමෝම තුළ සුන්දර මිනිස් සිහින දල්වනවා.

- කසුන් සමරතුංග