වරින් වර මට සිහිව ඒ - සටන් නළු විල්සන් කරූ !

වරින් වර මට සිහිව ඒ - සටන් නළු විල්සන් කරූ !

21 April 2021 10:32 am

පිරිවරාගෙන
ටෙඩී විදුලකර හා මැර පිරිවර
දෙමින් අත්මිටි පහර
චිත්‍රපටි තුළ සැරිසැරූ
වරින් වර මට සිහිව ඒ
සටන් නළු විල්සන් කරූ

එකල්හී,
විශේෂයෙන්ම ගුණතිලක
කුමාරණතුංගලා දෙපළ
රාමනායක හා විජේන්ද්‍ර
අයුක්තියට හා අසාධාරණයට එරෙහිව
කටින් රතු සායම් පනිනතුරු
පහර දෙද්දී ඔබට
පුදුම සතුටකි අපට

කෙටි කරගෙන සරම
පා - යටට ඇඳි කොට කලිසම
බමරයක් සේ කරකැවී
ඔබ දෙන පහර මගහැර
ඔබට දී පා දිගහැර
යටත්වුණි වීරයන් රජයට

එක වීරයෙකුට දෙක ගාණේවත්
දුෂ්ටයන් සිටිය යුතුම මොහොතක
හටන් කරනට නම් දැරූ
වරින් වර මට සිහිව ඒ
සටන් නළු විල්සන් කරූ !

( රුවන් බන්දුජීව | උපුටාගැනීම: කවියාගේ ෆේස්බුක් ගිණුමෙන් )

සෞන්දර්යාත්මක වදන් සංකෝචනය කියන්නෙ මොකටද දන්නවද? මෙන්න මේකට !

"පිරිවරාගෙන
ටෙඩී විදුලකර හා මැර පිරිවර..."

කවිය කියවන්න පටං ගනිද්දිම ඇහැ 'ටෙඩී විදුලකර' කියන වචන දෙක ළඟ නතර වුණේ 'කවුද යකෝ ඒ?' වගේ සිතුවිල්ලක් එක්ක. ඊළඟ තත්පරේදි තමයි 'අහ්, මේ ටෙඩී විද්‍යාලංකාරනෙ' කියන අදහස ඔළුවට ඇතුලු වුණෙ. කැලණිය විශ්වවිද්‍යාලය පටං ගත්තෙ විද්‍යාලංකාර පිරිවෙණ කියල. විදුලකර පිරිවෙණ කියලත් ඒකට කිව්ව. ඒ වචනෙම රුවන් බන්දුජීව, ටෙඩී කියන සටන් නළුවගෙ නම පිටිපස්සෙන් ස්ථානගත කරල තියෙන විදිය මරු. ඒක මේ කපේදි වෙන කිසිම එකෙකුට හිතෙන දෙයක් නෙවෙයි. බන්දුජීවමය රහ තියෙන්නෙ අන්න එතැන !

සාමාන්‍යයෙන් වීරයො ගැන ඕනෙ තරම් කවි - සින්දු - කතා ලියැවිලා තියෙනව. ඒත් දුෂ්ඨයො ගැන කවුරුත් මොකුත් ලියන්නෙ නෑ. අපේ සිනමාවත් දුෂ්ඨයා වෙනුවට ප්‍රතිවීරයා කියල වචනයක් ආදේශ කළා මිසක දුෂ්ඨයන්ට සාධාරණයක් කළේ නෑ. ඒත් තිරය ඉස්සරහ වීරයො තිරය පිටිපස්සෙ දුෂ්ඨයො වෙන හැටිත්, චිත්‍රපටවල දුෂ්ඨයො ඇත්ත ජීවිතේ එහෙම නොවන බවත් ගැන කතන්දර අපි ඕනෙ තරම් අහල තියෙනව. වැඩිය ඕනෙ නෑ, මීට ටික කාලෙකට කලින් සිද්ධ වුණ සුෂාන්ත් සිං රාජ්පුත්ගෙ මරණය සම්බන්ධ සිදුවීම් ටික බලන්න. චිත්‍රපටවලත් ඇත්ත ලෝකෙත් වීරයො සහ දුෂ්ඨයො ගැන පුදුම හිතෙන කියැවීමක් එතැන තියෙනව. බන්දුජීව මෙතැන මේ කවියෙ අකුරු අතරෙ අතුරන්නෙත් එහෙම කතාවක්. කතානායකයා සුප්‍රකට දුෂ්ඨ නළු - විල්සන් කරූ ! ඒකෙ මං කැමතිම කෑල්ල තමයි මෙන්න මේක.

"කෙටි කරගෙන සරම
පා - යටට ඇඳි කොට කලිසම
බමරයක් සේ කරකැවී
ඔබ දෙන පහර මගහැර
ඔබට දී පා දිගහැර
යටත්වුණි වීරයන් රජයට..."

බන්දුජීවගෙ කවිය දේශපාලනික නෑ කියල සමහර තැන්වල කියැවෙනව ඇහිල තියෙනව. ඒක එහෙම නෑ කියල පෙන්නන්න හොඳ උදාහරණයක් තමයි මේ උපුටනය. මේකෙ විතරක් නෙවෙයි බන්දුජීවගෙ හුඟක් කවිවල ඒ දේශපාලන කියැවීම තියෙනව. කොහොමටත් කවිය සෘජු දේශපාලන ප්‍රකාශයක් වෙන්න ඕනෙ නෑ. මෙහෙම ඉඳල හිටල අනින වචන ටොකු ඊට වඩා ගොඩක් සැරට දැනෙනවා.

මේ මොහොත ගැන තමන්ගෙ අදහස එළියට දාල එයා කවිය අවසන් කරනව. එතැනින් එහාට අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනව කියල මං කියන්නෙ නෑ. කැමති කෙනෙකුට හිතන්න පුළුවන්. අකමැති කෙනෙකුට නොහිත ඉන්න පුළුවන්. ඔය දෙකෙන් මොක කළත් වැඩි වෙනසක් වෙන්නෙ නැති බව විතරක් ෂුවර් !

- කසුන් සමරතුංග