වීරයින් මැරුණට පස්සෙයි අපි ඉපදුණේ ! - කවිෂ්ක ප්‍රනීත් රණවක

වීරයින් මැරුණට පස්සෙයි අපි ඉපදුණේ ! - කවිෂ්ක ප්‍රනීත් රණවක

30 March 2021 10:59 am

හසරද ප්‍රකාශනයක් ලෙසින් සහෘදයන් අතට පත්වූ 'අවසානයට පසුව ද' කාව්‍ය සංග්‍රහය සිංහල කවියට තිළිණ වූ අභිනව කවි සරණියයි. එම කවි එකතුවෙහි හිමිකරුවා කවිෂ්ක ප්‍රනීත් රණවක ය. මතු දැක්වෙන්නේ එය නිමිති කර ගනිමින් ලංකා නිව්ස් වෙබ් අඩවිය ඔහු සමඟ කළ සංවාදයකි.

කවිය එක්ක මුලින්ම ඔබේ ගනුදෙනුව සකස් වෙන්නෙ කොහොමද?

මම හිතන්නෙ කවිය තමයි අපිට වඩාත්ම සමීප කලා මාධ්‍යය. නිතරම අපිට කවි අහන්න, දකින්න, කියවන්න ලැබෙනවා. අනෙක් කලා මාධ්‍යයන්ට සාපේක්ෂව කවිවල තිබෙන කෙටි බව නිසාත්, හදවතට තදින් කා වැදෙන්න කවිවලට තිබෙන හැකියාව නිසාත් මම කවි එක්ක පොඩි කාලෙ ඉඳලම බැඳෙනවා. ඇත්තටම මම කවි කියවන්නෙක්. රස විඳින්නෙක්. ඒ අතරතුර ජීවිතේ මුහුණදෙන දැනීම්, හැඟීම්, වේදනාවන් ආදිය කවිවලට පෙරළන්න මම උත්සාහ කරනවා. එතනින් තමයි මේ ගනුදෙනුව පටන්ගන්නෙ.

කවිය ගැන ඔබට තියෙන නිර්වචනය මොකද්ද?

මට තදින්ම දැනෙන දේවල්වලට මම කවි කියලා කියනවා. ඉතා අලංකාර හිත නිවෙන දර්ශනයක් දැක්කම මම ඒකට කියනවා කවියක් වගේ කියලා. හොඳ පොතක් කියෙව්වම මට ඒක කවියක් වගේ. මම ආදරය කරන කෙනෙක්, මට දැනෙන කෙනෙක් මට කවියක් වගේ. මම කවි කියලා කියන්නෙ අන්න ඒ හොඳම දේට.

පට කියන්න 'අවසානයට පසුව ද' දක්වා ඔබ පැමිණි ගමන ගැන යමක්?

මම දැනට රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපන කටයුතු හදාරනවා. විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබුවත් සාහිත්‍ය එක්ක තිබෙන ගනුදෙනුව සීමා කරන්න අවශ්‍ය වුණේ නැහැ. පොඩිකාලෙ ඉඳලම මම කියවන්නෙක්. පොත්වලට සහ පොත්වල පිටු සුවඳට ආදරය කරන කෙනෙක්. ඔය අතරෙදි තමයි විවිධ තැන්වලදි අපට දැනෙන දේවල් ලියන්න යොමු වෙන්නෙ. 'අවසානයට පසුව ද' කියන්නෙ ඒ වගේ හැඟුම් ටිකක් කවි ආකෘතියකින් පොතක් ඇතුළෙ ගුලි කරලා තබපු උත්සාහයට. හසරද ප්‍රකාශනයක් ලෙසින් මේ පොත මාර්තු 21 වෙනිදා හෝමාගමදි ජනගත කරන්න මට අවස්ථාව ලැබුණා.

කවිය ඇතුළෙ ඔබට පරමාදර්ශ වුණ චරිත ඉන්නවද?

සැබවින්ම ඉන්නවා. මම හිතන්නෙ මේ ලෝකෙ හැමදේකටම එහෙමයි. මිනිස් සමාජයක් විදියට එක ගමනක් අපි මේ යන්නෙ. ඒ ගමනෙදි කවියට විතරක් නෙමෙයි, ජීවිතයටත් පරමාදර්ශී වෙන චරිත ඕනෑ තරම් මුණගැහෙනවා. මහගම සේකර, රත්න ශ්‍රී විජේසිංහ, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ඇතුළුව නූතන කවියේ දැවැන්ත චරිත මේ අතර ඉහළින් ම ඉන්නවා. ඒ වගේම මට පෞද්ගලිකව වඩාත් දැනුණු කවියෙක් තමයි සෞම්‍ය සඳරුවන් ලියනගේ කියන්නෙ. ඔහුගෙ කවි අතර මම ගොඩක් සැරිසරලා තිබෙනවා. ඊටත් අමතරව නම් විදියට කියන්න ගියොත් ගොඩක් අය ඉන්නවා. සමහරු අප්‍රසිද්ධයි. ඒ හැමෝම ඔවුන්ගේ කවි ඇතුළෙන් ජීවිතයට සහ මම උත්සාහ කරමින් ඉන්න මගේ කවියට පන්නරයක් දීලා තිබෙනවා.

ලියන - කියවන ඔබේ පරම්පරාව ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

එක අතකින් මට මගේ පරම්පරාව ගැනම ලොකු සතුටක් නැහැ. මොකද, මේ රටේ සිද්ධවුණු මහා තරුණ නැගිටීම් සහ අරගල වලට පස්සෙ තමයි අපි ඉපදෙන්නෙ. තමන්ගෙ ජීවිතය පවා මේ සමාජය වෙනුවෙන් කැපකරන මිනිස්සු හිටපු කාලෙට පස්සෙ. එතකොට අපිට ඒ අත්දැකීම නෑ. කවුරුහරි පොදු අරමුණක් වෙනුවෙන් යම් කැපකිරීමක් කළොත් අපේ පරම්පරාවට ඒක විහිළුවක්. වීරයින් මැරුණට පස්සෙයි අපි ඉපදුණේ. ඉතිං එහෙම පරම්පරාවක කියවීමේ සහ ලිවීමේත් යම් කිසි අඩුවක් තිබෙනවා කියලා මම හිතනවා. මම කියන්නෙ මාත් ඇතුළුව. කියවීම කියන්නෙ trend එකක් නෙමෙයි. ලිවීම කියන්නෙ demand එකක් තියෙන වැඩකුත් නෙමෙයි. හැබැයි, මේ පසුබිම ඇතුලෙත් තැන් තැන් වල කියවීම හොයන, ලිවීම අත්හදා බලන අය බිහිවෙනවා. ඕනම පරම්පරාවක් සියයට සියයක් හොඳ හෝ නරක වෙන්නෙ නැහැනේ. ඒ නිසා මේ වෙලාවෙ පෙර පරම්පරාවල අත්දැකීම් අපේ පරම්පරාවට වැඩි වැඩියෙන් සම්ප්‍රේෂණය වෙන්න ඕන. ඒ වගේම තාක්ෂණයේ දියුණුව නිසා මුළු ලෝකෙම පුංචි වෙලා තියෙන්නෙ. ඒකත් වඩා යහපත් අතට භාවිතා කිරීමේ වගකීම අපේ පරම්පරාවට තිබෙනවා.

කවිය ඇර ඔබ ගැවසෙන වෙනත් සාහිත්‍ය ශානර මොනවාද?

මම කියවන්නෙක්. පොතක් එළිදැක්වූ පමණින් මට මාව කවියෙක් හෝ ලේඛකයෙක් ලෙස හඳුන්වාගන්න බැහැ. හැබැයි මම ලියන්නෙක්. කවි විතරක් නෙමෙයි, මම ලිවීම ඇතුලෙ විව්ධ දේ උත්සාහ කරමින් ඉන්නවා. කියවීම ඇතුලෙ මම හැමතැනම සැරිසරමින් ඉන්නවා. සිනමා නිර්මාණයක්, ටෙලි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක් රස විඳීමත් මම මේ 'කියවීම' කියන එකෙන් අදහස් කරනවා. කියවීම කියන්නෙ මේ මොහොතේ අපිට අත් අරින්න බැරි වගකීමක්. ලිවීමත් එහෙමයි. මම කවි සැලසුම් කරලා ලියන්නෙ නෑ. එක්කො මම ඒ තරම් දක්ෂ නෑ. අනිත් අතට මට එහෙම ඕන නෑ. මේ පුංචි දූපත ඇතුලෙ අපට දැනෙන, හැඟෙන, කම්පාවෙන දේවල් ඕන තරම් සිද්ධවෙනවා. ඉතිං ඒවා ලියැවෙනවා. ඒ ලිවිලි කවි විතරක් නෙමෙයි. මොනයම් හෝ ආකාරයකින් ඒවා කියවන්නන් වෙත ඉදිරිපත් කරන්න මම මේ මොහොතෙත් උත්සාහ ගනිමින් ඉන්නවා.

පොත ජනගත කළාට පසුව ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ කාලවකවානුව ගොඩක් අමාරුයි. එක අතකට වසංගත තත්වයක බලපෑමක් ඇතුලෙ අපි ජීවත් වෙන්නෙ. අනිත් අතින් විවිධ අර්බුධ ඇතුලෙ මේ රට යමින් තිබෙනවා. අපිට හුස්ම දෙන ගස්වැල් වලට පවා වටිනාකමක් නැති කාලෙක, එකම එක මනුස්සයෙක්ගෙ හැඟීම් ටිකක් වටීවිද කියලා මට ප්‍රශ්නයක් තිබුණා. නමුත්, සැබවින්ම ඒවා බෙදාගන්න ඉදිරිපත් වුණු ආදරණීය හදවත් බොහොමයක් හමුවුණා. දිරිදීම්, ප්‍රශංසා වගේම විවේචනාත්මක අදහස් දැක්වීම් ද අතරින් පතර ලැබුණා. ඒක ඇත්තටම හයියක්. අත්‍යවශ්‍ය ම දෙයක්. ඒ වගේම හුදකලාව ජීවත්වෙන්න බල කරලා තිබුණු කාලෙකට පස්සෙ මිනිස්සුන්ට අදහස් බෙදාගන්න, කතාකරන්න, ආපහු හැරිලා බලන්න, හමුවෙන්න අවස්ථාවක් හදන්න මේ පුංචි පොතට පුළුවන් වීම ගැන මට සියුම් සතුටක් තිබෙනවා. ඒ තමයි ලොකුම දේ.

මෙතැනින් එහාට ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් අපට යමක් කියන්න?

විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු එක්ක තමයි මේ දිනවල ඉන්නෙ. ඒ ගමන්ම කියවීම සහ ලිවීම අතහරින්න සූදානමක් නෑ. නැවත වටයකින් වෙනත් විදියකට කියවන්නන්ට සමීප වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔය ඔක්කොම අතරෙ ජීවිතේ ගලාගෙන යනවා. නොයෙක් දේවල් සිද්ධ වෙනවා. ඒ අතර දැනෙන, හැඟෙන දේවල් බොහොමයක් ඔබටත් මටත් තිබේවි. මම යෝජනා කරන්නෙ අපි ලියමු. ආකෘතිය මොකක් වුණත් මේ වෙලාවෙ දැනෙන දේ ලිවීම කියන්නෙ, එක්තරා විදියක සමාජ කාර්‍යභාරයක් කියලා මම හිතනවා.

සංවාදය - කසුන් සමරතුංග