දිලිප් රෝහණගේ කුළුඳුල් නවකතාව කසුන් ගිර තරණය 08 වැනිදා එළිදැක්වේ

දිලිප් රෝහණගේ කුළුඳුල් නවකතාව කසුන් ගිර තරණය 08 වැනිදා එළිදැක්වේ

3 March 2021 07:30 pm

නියෝජ්‍ය විදුහල්පත්වරයෙකු, ප‍්‍රවීණ රංග ශිල්පියෙකු හා පුහුණුකරුවෙකු වන දිලිප් රෝහණ විසින් දශක හතරක අත්දැකීම් අළලා රචිත පළමු නව කතාව  'කසුන් ගිර තරණය' නමින් මාර්තු 08 වැනිදා ජනගත වෙයි. එ් වෙනුවෙන් එළිදැක්වීමේ උලෙළ මාර්තු 08 වෙනිදා රාජගිරියේදී පැවැත්වේ. 

සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව ඉතා සීමිත පිරිසකට පමණක් ආරාධනා කරමින් උලෙළ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

ප‍්‍රවීණ නාට්‍යවේදියෙකු හා ගේය පද රචකයෙකුවන ලූෂන් බුලත්සිංහලයන් මෙම නවකතාව පිළිබඳව තම පෙරවදනින් මෙසේ දක්වයි.

'ගුරුවරු අපේ වීරයෝය. සකල සිප් සතර කියා දී අප ඉදිරියේ ඇති සිප් සයුර එතෙරවන සැටි පහදා දෙන දිසාපාමොක්වරුය. එහෙත් ගුරු ගෝල පරතරය තබාගෙන ගුරු ගෞරවය ආරක්ෂා කර ගැනීම අභිමානවත් ගුරුවරයාගේ වගකීම ලෙස සලකන ලදී. ඒ නිසා අප ආදරය කළ ගුරුවරුන්ගේ යටගිය ජීවන ප‍්‍රවෘත්ති අසා දැන ගැනීමට අපට ඉඩ හසර නොලැබුණි. එබඳු ආදරණීය ගුරුවරුන් ගුරු මාරුවක් ලබා හෝ විශ‍්‍රාම ලබා හෝ අපෙන් වියෝවී යද්දී කඳුලක් හෙලීම පමණි අපට කල හැකිව තිබුණේ. එම අරුතින් ගත් විටදී 'කසුන් ගිර තරණය' ආදර ගෞරවයට බඳුන් වූ එබඳු ගුරුවරයෙක් තම ශිෂ්‍ය අවධියේ සිට ගුරු විශ‍්‍රාමිකයෙක් බවට පත් වන දිනය දක්වා වූ කාලය තුල තමා ලැබූ අත්දැකීම් ඔස්සේ සිය ජීවන ප‍්‍රවෘත්තිය හෙළි කරන ආත්ම කථනයකි. කතා රසයෙන් අනූනව ගෙත්තම් කළ ජීවන වෘත්තාන්තයකි.'

'කසුන් ගිර තරණය' විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රයේ ප‍්‍රකාශනයකි.

UN