කවිය මට හොඳ යාලුවෙක් ! - අමිල නුවන් ශ්‍රී ශාන්

කවිය මට හොඳ යාලුවෙක් ! - අමිල නුවන් ශ්‍රී ශාන්

26 February 2021 01:36 pm

අමිල නුවන් ශ්‍රී ශාන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා විශේෂ උපාධිධාරියෙකි. එසේම ඔහු කවිය පිළිබඳ උනන්දු වන නව පරම්පරාවේ තරුණයෙකි. 'පතොක් ප්‍රේමිය' ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. මතු දැක්වෙන්නේ ලංකා නිව්ස් වෙබ් අඩවිය ඔහු සමඟ කළ සංවාදයක සංක්ෂිප්තයයි.

කවිය ඔබට දැනෙන්නෙ කොහොමද?

කවිය කියන උත්තුංග වස්තුව පිළිබඳව තවමත් ඉගෙනගන්න උත්සහ කරන කෙනෙක් විදිහට, කවියට ආදරය කරන්නට පෙළඹීම ම වාසනාවක් විදිහටයි මම දකින්නේ. කවියකින් රසගැන්විලා එළියට දෙන වචන පේළි අතර දුවන්නේ මනුෂ්‍ය හැගීම් කියලයි මට හිතෙන්නේ. බොහෝ වෙලාවට අපි කවියකට පෙරලන්නේ අපේ හිතට පුංචි හරි තට්ටුවක් දෙන්න පුලුවන් හැඟීමක්නේ. ඉතින් මම කවියට නිර්වචන දෙන්නට තරම් නොවුණට, මට දැනෙන හැඟීමක් පිටකරගන්න හෝ දැනෙන තරම් ඒ හැඟීම තුළ ජීවත් වෙන්න පහසුම ක්‍රමය කවිය කියලයි මම හිතන්නේ. ඒකේ සාපේක්ෂ වෙනස්කම් තියෙන්න පුලුවන්. නමුත් කවිය මට දැනෙන්නෙ එහෙමයි.

ඇයි ඔබ කවි ලියන්න පෙළඹුණේ?

මට මතක හැටියට කවියට ආදරේ කරන්න පටන් ගත්තේ සාමාන්‍ය පෙළ පන්තියේ සිංහල සාහිත්‍යය රසාස්වාදය විෂය නිසයි. ඒ කාලේ ඉඳන් කවි කියවන්න තමයි වඩාත් ආස කළේ. කවි ලියන්න ටික ටික පුරුදු වුණේ ඇත්තටම විශ්වවිද්‍යාල ජීවිතේ එක්ක ලැබුණු අත්දැකීම් හරහායි. බොහෝ වෙලාවට කවියක් කුරුටු ගෑ වුණේ පොතක පිටිපස්සක, අතට අහුවෙන කොළ කෑල්ලක වගේ තමයි. ගෙදරදි ලියැවුණොත් අම්මා ඒවා අරන්තියලා සමහර දවස්වලට ගෙනැත් පෙන්නලාත් තියෙනවා. කවි ලියනවාට වඩා කවි කියවන්න ආස කරන කෙනෙක් මම. ඒ අතරෙ හෙමි හෙමින් හිතට එන අදහස් එක දෙක කවියට පෙරළලා ඒවා එකතු වෙලා තිබ්බා. ගොඩක් වෙලාවට මම ලියන්නෙ ෆෝන් එකේ. ඉතින් වෙලාවකට ඒවා නැති වෙලත් යනවා. ඒත් මම කුරුටු ගාන ඒ වචන ටික සමාජය දෙන්න පටන් ගන්නේ අපේම කැම්පස් එකේ අයියා කෙනෙක්ගෙ කවි පොතක වැඩ කරද්දි දැනුණු ආසාව නිසයි. එදා ඉඳන් ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ අකුරුවෙච්ච කවි එක දෙක එළියට ආවා. ඒවා හරියට කවිද නැත්ද යන්න කියන්න මම තවම දන්නේ නෑ. අඩුපාඩු හදාගන්නත්, කවිය කියන දේ හෙමි හෙමින් අතපත ගාමින් ඉගෙනගන්නත් ඒක ලොකු අවස්ථාවක් වුණා. බොහෝ තැන්වලදී කවිය හොඳ යාලුවෙක් වෙලා තිබුණා. ඉතින් මම කවියට සමීප වුණා.

අපට කියන්න 'පතොක් ප්‍රේමිය' ගැන?

හිතේ පැළපදියම් වෙච්ච හීන එළිවෙන්නෙ බොහොම කලාතුරකින් වුණත් 'පතොක් ප්‍රේමිය' කියන්නේ එහෙම හීනයක් එළි වෙච්ච අවස්ථාවක් කියලා කිව්වොතින් නිවැරදියි. ජීවිතේ මට දැනිච්ච, මම ජීවත් වෙච්ච හැඟීම් අහුරක් අනිත් අය එක්ක බෙදාගන්න කරපු පොඩි උත්සහායක ප්‍රතිපලයක් තමයි 'පතොක් ප්‍රේමිය' විදිහට එළි දකින්නේ. පොතට නම එන්නේ පොතේ ඇතුළෙ තිබ්බ කවියකින්. ලෝකයෙන් වතුර බින්දුවක්වත් බලාපොරොත්තු නොවී කටුක ජීවිතේ මැද්දේ පතොක් මල් ලෝකය ලස්සන කරන්න පිපෙනවා. ලෝකෙට සුවඳ බෙදනවා. එහෙම ලියැවුණු පුංචි කෙටි කවියකින් තමා පොතට 'පතොක් ප්‍රේමිය' කියලා නම ලැබෙන්නෙ. එහෙම පතොක්මල් වෙච්ච ආදරණීය සහෝදර හදවත් ටිකක ශක්තියෙන් තමයි පතොක් ප්‍රේමිය සුපිපෙන්නෙ. ඉතින් ඒ ආදරණීයන් හැම දෙනාටම සදා නොවෙනස්වන ස්තුතිය පිරිනමන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.

පොත එළියට දාල දැන් අවුරුද්දක් ගතවෙලා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඔව්, පොත එළි දක්වලා ගිය මාසේ 8 වෙනිදට අවුරුද්දක් වෙනවා. පොතට ලැබෙන ප්‍රතිචාර හරිම ආදරණීයයි. පොත බොහෝ දෙනා කතා කරලා ඉල්ලුවා. පුලුවන් හැමදෙනාටම තැපැල් මාර්ගයෙන් පවා යවන්න පුලුවන් වුණා. කොරෝනා කාලේ නිසා තවත් කිහිප දෙනෙකුට පොත යවාගන්න බැරි වුණා. ඒකට සමාව අයදින්නත්, ඒ අයට ළඟදීම පොත එවන්නත් බලාපොරොත්තු වෙනවා. වසරක් ගත වෙලත් තවමත් පොත සහ කවි ගැන විටින් ටිට කතා කරලා අදහස් දීලා මාව දිරිමත් කරන ආදරණීයයන් හැම දෙනාටමත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

ඔබ ඉතා මෑතක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා පිටවූවෙක්. ලංකාවෙ විශ්වවිද්‍යාල ඇතුළෙ ලියන - කියවන අවකාශය ගැන ඔබට තියෙන්නෙ මොන වගේ තක්සේරුවක්ද?

විශ්වවිද්‍යාලය ඇතුළෙ ශිෂ්‍යයන්ට ලිවීමට කියැවීමට හොඳ අවකාශයක් තියෙනවා. මමත් මගේ හැකියාවන් හඳුනාගන්නේ සහ ඒවා ගොඩනගාගන්නේ විශ්වවිද්‍යාලය තුළයි. වර්තමානයේ විශ්වවිද්‍යාල තුළ හොඳ පාඨක ප්‍රජාවක් හා හොඳ නිර්මාණකරුවන් පිරිසක් සිටින බව සඳහන් කළ යුතුයි. තරඟකාරී අධ්‍යාපන රටාව විශ්වවිද්‍යාල භූමිය තුළ ද බොහෝ සෙයින් නිර්මාණය වීම තුළ දී පවා ලිවීම හා කියැවීම සම්බන්ධයෙන් මෙවන් අවකාශයක් පැවතීම සතුටු විය යුතු තත්ත්වයක්. වර්තමානයේ පාඨක ප්‍රජාව හා නිර්මාණකරුවන් තම වේදිකාව සමාජ මාධ්‍ය කරගැනීම තුළ ම ඩිජිටල්කරණය වූ ලෝකයක වෙසෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යා ද තම හැකියාවන් ඒ හරහා දියුණු කරගැනීමට වර්තමානයේ කටයුතු කරනු දක්නට ලැබෙනවා. එය ද වර්තමානයේ විශ්වවිද්‍යාලය තුළ ලිවීම හා කියැවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යායාට මනා අවකාශයක් විවර වන්නා වූ අවස්ථාවක්.

ඔබේ ප්‍රියතම කවියන් කවුද සහ ඔවුන්ගෙන් ඔබට ලැබුණු ආභාසය මොන වගේද?

මම ආසම කරන කවීන් බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අතර කවියෙනුත්, මනුස්සයෙක් වශයෙනුත් හිතට දැනුණු කවියෙක් තමයි රුවන් බන්දුජීව අයියා. රුවන් අයියගෙ කවිවල තියෙන්නෙ අමුතු ම හැඩයක්. මම ඒ කවි රස විඳින්න, ඒ කවිවල තේරුම හොයාගෙන යන්න ආසා කරන කෙනෙක්. දවසක් මට මේ අපූරු මනුස්සයව හම්බවෙන්න අවස්ථාවක් ලැබෙනවා. එදා කතා බහ එක්ක, මගේ 'පතොක් ප්‍රේමිය' කාව්‍ය ග්‍රන්ථය එළිදකින දවස වෙනකම් වරින් වර අඩුපාඩු, හොඳ නො හොඳ පෙන්නලා දීලා වැඩේ අවසන් වෙනකම් ම හොයලා බලන්න තරම් නිහතමානී වීම පිළිබඳව ඔහුට ස්තුතිවන්ත විය යුතුයි. රුවන් අයියගෙ කවිය අවියක් තරම් යැයි කීමට අවස්ථා එමටයි. එමෙන්ම ඒ කවිකම් අමුතුම රස මවන්න සමත්. මෙන්න මේක මම ඔහුගේ ආසම කවියකින් කොටසක්.

"... සුබ ප්‍රාර්ථනා තුඩුව ළඟදිත්
නැව් ගිලුණු බව ඇත්තයි
ගිලුණු නැව්වල නම් ප්‍රසිද්ධයි
නො ගිලුණා නම් අප්‍රසිද්ධයි..."

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් යමක් සඳහන් කරල අපි මේ සංවාදය අවසන් කරමු?

මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මානව විද්‍යාව විශේෂ උපාධිය අවසන් කරලා ඒ සම්බන්ධව තව දුරට ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලියන කියන කටයුතු ගැන කියනවා නම් හෙමි හෙමින් ඒ කටයුතු කරගෙන යනවා. දැනට පර්යේෂණ ග්‍රන්ථයක වැඩ කටයුතු කරගෙන යමින් ඉන්නවා. ඉතින් හෙමි හෙමින් ඉදිරියටත් වචන ගැලපේවි. ඒ වචන එක්ක ඉස්සරහට යමක් කරන්නට ඉඩ තියේවි. මම ඒක අනාගතයටම බාර දෙන්න කැමතියි.

සංවාදය - කසුන් සමරතුංග