හිස් කැන්වසය අබියස හුදෙකලාව, ඒක තමයි අභියෝගය ! - සංජය ඈපා සෙනෙවිරත්න

හිස් කැන්වසය අබියස හුදෙකලාව, ඒක තමයි අභියෝගය ! - සංජය ඈපා සෙනෙවිරත්න

19 January 2021 11:19 am

කවර ගැන ඉවර නැති කතන්දර රාශියකි. භාෂාවද කවරයක් බව සංජය ඈපා සෙනෙවිරත්න කියයි. ඉතින් කවර ගැන තව කවර නම් කතාද ? මේ සංජය ඈපා සෙනෙවිරත්න !

කවුරුත් දන්නෙ සංජය ඈපා සෙනෙවිරත්න කියන පොත් කවර නිර්මාණ ශිල්පියා ගැන. අපි කැමතියි සංජය ඈපා සෙනෙවිරත්න කියන ගීත රචකයා ගැන ඔබෙන් විමසමින් සංවාදය ආරම්භ කරන්න ?

කියවීම මගේ ඇබ්බැහියක්. ඊළඟට මම පෙළඹෙන්නෙ ලියන්න. මම මා එක්ක කළ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් විදිහට තමයි දීර්ඝ ලිවීම් සඳහා මගේ ඇති නොකැමැත්ත හඳුනා ගන්නෙ. නමුත් මට ලියන්න උවමනායි. ඒ සංවාදයේ එක තැනකදි තමයි 'ගීතය' කියන ආකෘතියට මම සමීප වෙන්නෙ. මම ගීත ලියල තියෙන්නෙ ඉතාම සීමීත ගණනක්. ඒවත් කළේ සමීප මිතුරන් කීප දෙනෙක් එක්ක. විශේෂයෙන් කසුන් කල්හාර ජයවර්ධනත් එක්ක. නමුත් ඒ කීපයට උණුසුම් වැළඳ ගැනීමක් ලැබුණා. මං ඉතාම කැමති වැඩබිමක් තියෙනවා ගීතය ළඟ. භාෂාව, රිද්මය සහ සංකල්පය එක්ක ගීතයක් ගොඩනගන්න ගතකරන සමයට මං මට තරම්ම කැමතියි. මාව මගේ ළඟ තියාගන්න දරන තැත නිසා තමයි මම ගී ලියන්නෙ. නිර්මාණ ප්‍රමාණයෙන් විශාල නිසාත්, සමාජ ජාලයේ වැඩිපුර සැරිසරන නිසාත් ගීත රචකයාට වඩා පොත් කවර නිර්මාණ කැපී පෙනෙන්න ඇති.

ඒ කියන්නෙ කවර නිර්මාණ ශිල්පියා ඉස්මතු වීම නිසා ලියන්නා යටපත් වුණා ?

කවර නිර්මාණ ශිල්පියා හෝ ලියන්නා ඉස්මතු කරන්න කියල මම පෞද්ගලිකව වෙහෙසෙන්නෙ නැහැ. ශ්‍රමය තියෙන්නෙ වැඩේ ඇතුළෙ. ඒ ශ්‍රමය ඉස්මතු වෙන්නෙ එළියෙ. ඒ මතයි වටිනාකම් හැදෙන්නෙ. ඔය ආකෘති දෙකම නිර්මාණාත්මක ස්වභාවයන්. අවකාශමය ගොඩනැංවීම්. පොත් කවරයක රූප, රටා, වර්ණ, අකුරු රිද්මයකට එහි 'ප්‍රමාණ අවකාශයේ' ගොඩනංවනවා. ගීතය භාෂාව සහ සංකල්පය රිද්මයකට එහි 'කාල අවකාශයේ' ගොඩනංවනවා. මේ ස්වභාවයන් දෙකේම පොදු ලක්ෂණය 'භාෂාව සහ රිද්මය.' ඔය ස්වභාවයන් අතරේ මම සැරිසරනවා. කවරෙත් භාෂාවක්. භාෂාවත් කවරයක්.

පොතකට කවරයක් නිර්මාණය කරනවා කියන්නේ ඔබට අනුව මොන විදිහේ අභියෝගයක්ද ?

පළමුව පොතකට කවරයක් කියනේ සංවාදශීලී වැඩක්. කතුවරයා එක්ක, ප්‍රකාශක එක්ක සංවාදයකින් අරඹන්නක්. අභියෝගයක් හමුවෙන්නෙ ඉන්පස්සෙ. හිස් කැන්වසයක් ඉස්සරහ හුදෙකලා වෙන තැන. නමුත් එය ඉක්මවීමේ මොහොත කියන්නෙ අපේ කියවීම්, හැදෑරීම්. විශේෂයෙන් තාක්ෂක දැනුම. මුද්‍රණ කර්මාන්තය වගේම පරිගණක උපාංග හා මෘදුකාංග සාක්ෂරතාව පිළිඹඳ අප දක්වන අවධානය. ලේඛකයෙක්ට කෘතියක් කියන්නෙ වානිජ අර්ථය ඉක්මවා ගිය වෙනත් සාරාර්ථයක් වෙන්න පුලුවන්. නමුත් පොත් ප්‍රකාශනය ව්‍යාපාරයක්. ආකර්ශනීය නිමාවක් ඉල්ලන තැනක්. ඒ ආකර්ෂණය සහ නිමාව පොතකට ප්‍රදානය කිරීමේ අභියෝගය තමයි නිර්මාණකරුවාගේ මැදිහත්වීම.

ඔබට 2018 වසරේ හොඳම කවර නිර්මාණය සඳහා වූ රාජ්‍ය සම්මානය ලැබුණා. ඒ පිරිනැමීම ඔබ තුළ ඇතිකළේ මොන වගේ උත්තේජනයක්ද ?

උත්තේජනයක් කියන අදහසට මම එකඟ නැහැ. ඒක ප්‍රතිචාරයක්. විශේෂ වෙන්නෙ 'රාජ්‍ය සම්මාන' කියන ආයතනික නිල ප්‍රතිචාරය පමණයි. පාඨකයාට අමතරව එතැන පමණයි පොත් කවරයක් ගැන සැළකිලිමත් වෙන්නෙ.

ඔබට සම්මානය ලැබුණු කසුන් පුස්සවෙලගේ ඒ පොත (12.11.10. වැලිකඩ) රාජ්‍ය ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරන පොතක්. ඒ පොතේම පිට කවරයට ඔබට රාජ්‍ය සම්මානය ලැඛෙනවා. දේශපාලනිකව ගත්තොත් ඒක හරි උත්ප්‍රාසාත්මකයි කියල ඔබට හිතෙන්නේ නැද්ද ?

කෘතිය හා බැඳුණු කවරයක්ද ඒක ? කවර අතරේ කවරයක්ද ඒක ? ඕක තමයි මිත්‍රයා අපිට හමුවෙන දේශපාලනය. මඟහැරීමේ චක්‍රය සහ වැළඳගැනීමේ වක්‍රය.

ඔබ දැනට කරමින් ඉන්න සහ අනාගතේදී කරන්න නියමිත 'වැඩ' මොනවද ?

ඔබ වැඩ කියල අවධාරණය කරල අහන නිසා කියන්නම්, එහෙම 'වැඩ' නෑ !

සංවාදය - කසුන් සමරතුංග