සේකර: පිළිමයක් නෙවෙයි, මනුස්සයෙක් !

සේකර: පිළිමයක් නෙවෙයි, මනුස්සයෙක් !

14 January 2021 02:22 pm

(ජනවාරි 14 වන අද දිනට යෙදෙන මහගම සේකර 45 වැනි අනුස්මරණ දිනය වෙනුවෙනි)

මහගමසේකර කියන්නෙ පිළිමයක්ද ? අපි හැමදාම ඒ පිළිමෙට සාහිත්‍ය ශානර මල් තිය තිය වඳින්න ඕනෙද ? නැත්නම් එතැනින් මෙහාට විවර වුණ කවුළු සහ මෙතැනින් එහාට විවර කරගන්න ඕනෙ කවුළු ගැන අවධානය යොමු කළ යුතු නැද්ද ?

අපිට මේ ප්‍රශ්න කීපය ආවෙ මීට ටික කාලෙකට කලින් තිබුණ කාව්‍ය සංවාදයකදි ජ්‍යෙෂ්ඨ විචාරකයෙක් දක්වපු අදහස් කීපයක් නිසා. ඔහුගෙ අදහස් දැක්වීම අතරෙදි ඔහු කියපු එක කාරණාවක් තමයි සිංහල කවිය තවමත් සේකරගෙන් එහාට ගිහිල්ල නෑ කියන එක. ඇත්තටම ඒක එහෙමද ? සේකරගෙන් පස්සෙ බැට්න් එක අරගත්ත රත්න ශ්‍රී විජේසිංහට සේකරව අතික්‍රමණය කරන්න බැරි වුණාද ? ඊට පස්සෙ නන්දන වීරසිංහ ලිව්වෙ මොනවද ? ඊට කලින් මොනිකා රුවන්පතිරණ ලිව්වෙ මොනවද ? පත්තරකාර හෙවණැල්ල නිසා වැහිල ගිය දයාසේන ගුණසිංහ කියන කවියා ලිව්වෙ මොනවද ? කාගෙවත් වැඩි අවධානයකට ලක් නොවුණු ධර්මසිරි රාජපක්ෂ වගේ කවියෙක් ලිව්වෙ මොනවද ? එතකොට අජිත් තිලකසේන - ඊටත් මෙපිටින් මංජුල වෙඩිවර්ධන, ලක්ශාන්ත අතුකෝරළ, මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ලිව්වෙ මොනවද ? දැන් රුවන් බන්දුජීව ලියන්නෙ මොනවද ? මේ ලැයිස්තුව තව දිගයි. ඇත්තටම ඔවුන් ලිව්වෙ මොනවද; සිංහල කවිය තාමත් සේකරගෙන් එහාට ගිහිං නැද්ද ?

මේ ජනේරුවට සේකර අපෙන් සමු අරන් අවුරුදු 45 ක් සම්පූර්ණ වෙනව. මේ ලිපිය ලියන්න නිමිත්තත් ඒකම තමයි. නමුත් අපි කැමතියි සේකර ගැන නිකංම නිකං ගුණ කථනයක් කරනවා වෙනුවට මේ වගේ ප්‍රශ්නයක් දෙකක් සාහිත්‍ය අවකාශයට වීසි කරන්න. මරාගන්න නෙවෙයි, සංවාද කරන්න. අපේ අදහස  සේකරගෙන් පස්සෙත් විවිධ කවියන් සහ කිවිඳියන්ගෙ මැදිහත්වීම එක්ක, නොයෙක් අත්හදාබැලීම් සහ පර්යේෂණ මැද්දෙන් සිංහල කවිය ලොකු දුරක් ඇවිත් තියෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් කිව්වොත් සිංහල ආඛ්‍යාන කවිය සේකරගෙන් එහාට ගිහිල්ල නෑ කියල, අන්න ඒකට නම් අපිට යම් ප්‍රමාණයකට එකඟ වෙන්න පුළුවන්. සේකරගෙ 'ප්‍රබුද්ධ' ආඛ්‍යාන සංග්‍රහයට පස්සෙ ලියැවුණ බොහොමයක් ආඛ්‍යාන කාව්‍ය සංග්‍රහවල 'ප්‍රබුද්ධ සෙවණැල්ල' අඩු - වැඩි වශයෙන් තියෙනවා. අවශ්‍ය නම් ඒක එහෙම වුණේ ඇයි කියන එක ගැනත් සංවාදයක් ගොඩනගන්න අපිට පුළුවන්.

මහගම සේකර කියන්නෙ විශිෂ්ටයෙක්. අපි එකඟ නැත්තෙ අනවශ්‍ය උත්කර්ෂයට නැංවීම්වලට විතරයි. කවිය - ගීතය - නවකතාව - කෙටිකතාව - චිත්‍රපට - නාට්‍ය රචනා - චිත්‍ර - මූර්ති - පොත් කවර ආදී ක්ෂේත්‍රවල පමණක් නෙවෙයි, එවක රජයේ ලලිත කලා ආයතනයෙ විදුහල්පති විදියටත් ඔහු කරපු වැඩ කොටස විශාලයි. ඒ හැමදේම කරන්න ඔහු ජීවත් වුණේ අවුරුදු 46 කුත් මාස කීපයක් විතරයි. ඊට වඩා කාලයක් සේකර ජීවතුන් අතර හිටිය නම් තව කොච්චර විශිෂ්ට නිර්මාණ බිහිකරයිද කියන එක ගැන ගොඩක් අය කතා වෙනව. අපිට හිතෙන්නෙ ඒක වැඩක් නැති සංවාදයක්. ඔහු අවුරුදු 46 ක් හිටිය; තමන්ට නියමිත කාර්යය කළා; ගියා; එච්චරයි ! කොහොමටත් සමහරු පහු පහු වෙනකොට කරන වැඩ දැක්කම මේ මිනිස්සු කලින්ම ගිය එක හොඳයි කියල හිතෙනව.

40 දශකයෙදි ජී.බී. සේනානායක සිංහල කවියට හඳුන්වා දීපු නිසඳැස් ආර සිරි ගුණසිංහලා අතින් පෝෂණය වෙලා ගලා එද්දි සේකර තමයි ඒකෙ නිලය හරියටම අල්ලගන්නෙ. සමහර තැන්වල නිකංම සිල්ලර වුණ නිසඳැස ආපහු කරකවල අරගෙන පොදු ජන විඥානයට තේරෙන පීල්ලට දැම්මෙ සේකර. ඒ අතරම අනෙක් පැත්තට සම්ප්‍රදායික, සිව්පද, සඳැස්, ජනකවි ආභාසයෙනුත් ඔහු කවි ලියනවා. ඒ ගමන්ම කවියක් ගීතයක් විදියට රූපාන්තරණය කරන්නෙ කොහොමද කියන එක ගැනත් පර්යේෂණ පවත්වනවා. මේ බහුවිධ කලාප අතර සැරිසරමින් ලියන එකම විතරක් ගත්තත් ඒක වැඩක් !

අනෙක් අතට අපි සේකර ලියපු දේවල් ගැන තක්සේරු කරන්න ඕනෙ ඔහු ජීවත් වුණ කාලයට සහ අදාළ සංදර්භයට අනුකූලව. 'මේ සිංහල අපගෙ රටයි' කියල සේකර ලිව්ව තමයි. හැබැයි ඔහු එහෙම ලිව්වෙ අනෙකා මරාගෙන කන්න ඕනෙ කියල බලකෙරෙන සමාජ වටපිටාවක් ඇතුළෙ නෙවෙයි. ඊට වඩා සෑහෙන්න නිවුණු සහ සරල සමාජ ගතිකයන් ඇතුළෙ. ඒකෙන් කියන්නෙ සේකර සම්පූර්ණයෙන් නිදොස් කර නිදහස් කරනවා කියන එක නෙවෙයි. අපේ යෝජනාව නිර්මාණයක් හැම තිස්සෙම අදාළ තත්ත්වයන් එක්ක සංසන්දනය වෙන්න ඕනෙ කියන එක. අපි මේ ජීවත් වන සංකීර්ණ සංදර්භය ඇතුළෙ සේකර හිටිය නම් ඒක එහෙම ලියයිද? ඒකත් ඇත්තටම තේරුමක් නැති ප්‍රශ්නයක්. ඒත් ඒක සංවාදයකට නරකම නෑ.

මියගිහින් අවුරුදු 45 කට පස්සෙත් ආපහු හැරිල බලද්දි මහගම සේකර කියන්නෙ තාමත් පණ ගැහෙන මනුස්සයෙක්. ඔහු පිළිමයක් නෙවෙයි. තමන්ට අදාළ රාජකාරිය හරියටම කරල ටිකක් වේලපහ නික්ම ගිය මනුස්සයෙක්. භාෂාව, සාහිත්‍ය හෝ සන්නිවේදනය හදාරන විද්‍යාර්ථියෙකුට සේකර අධ්‍යයන නිබන්ධනයක් කියන්නෙ සෑහෙන්න ක්‍රියාශීලී වැඩබිමක් බව කිසිම සැකයක් නෑ. සේකර ගැන අපි අහපු හරි අපූරු කතාවක් තියෙනවා. ඒ කතාවත් මෙතැන ලියලම අපි මේ සටහන එතෙකින් අවසන් කරනව.

ඔහු ගම්පහ ඉඳල රාජකාරි කටයුතුවලට කොළඹ ඇවිත් තියෙන්නෙ කෝච්චියෙ. දිනපතා උදේ හවස යන එන මේ ගමන් බිමන්වලදි ඒ කෝච්චියෙම ආ ගිය තරුණ මාධ්‍යවේදියෙක් සේකර එක්ක ටිකක් හිතවත් වෙලා තියෙනව. හැමදාම උදේ සේකර එක්ක කතා බහ කරද්දි අර තරුණයට දැනෙනවා ඔහු ළඟින් හමා එන, කලින් දවසෙ මධු සාදවලින් ශේෂ වුණ සුපුරුදු සුවඳ ! ටික දවසක් මේක නිරීක්ෂණය කරපු තරුණ මාධ්‍යවේදියා එක දවසක සේකරගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහල තියෙනව.

"සේකර මහත්තය ඇයි ඔච්චර බොන්නෙ?"

සේකර ඔහුට කිව්වෙ මෙච්චරයි;

"තමුසෙ තාම පොඩි කොල්ලෙක්. ලොකු වුණාම තේරෙයි ඒ ඇයි කියල !"

 - කසුන් සමරතුංග