චිත්‍රය කියන්නෙ ’අඳින දෙයක්’ නෙවෙයි ’හදන දෙයක්’ ! - ප්‍රගීත් රත්නායක

චිත්‍රය කියන්නෙ ’අඳින දෙයක්’ නෙවෙයි ’හදන දෙයක්’ ! - ප්‍රගීත් රත්නායක

12 January 2021 04:00 pm

චිත්‍රයද එක් අරගලයකි. එනයින් ඔහුද එක් අරගලකරුවෙකි. ප්‍රගීත් රත්නායක නම් මේ තරුණ සිත්තරාට කියන්නට බොහෝ දේ ඇති හැඩය. ඉතින් අපි ඔහුගේ හඬට කන් දුන්නෙමු.

ප්‍රගීත් රත්නායකගේ පින්සල දේශපාලනිකව මොනතරම් හයියයිද, සමාජීය වශයෙන් මොනතරම් නම්‍යශීලියිද ?

'දේශපාලනිකයි' කියන එකේ තේරුම සරලව මට අනුව නම් වෙනස් කිරීම යන්නයි. සමහරෙකුට එහෙම නොවන්න පුළුවන්. සරලව කිව්වොත් මෙහෙමයි. අපි හුස්ම ගැනීම දේශපාලනිකයි කියලා කිව්වොත් ගොඩක් අයට ඒක තේරෙන්නෙ නෑ. එහෙම තමයි ඒක එච්චර අහිංසක නෑ. ඉතින් මම මගේ වැඩේට සවිඥානිකයි. මට නිකන් චිත්‍ර අදින්න බෑ. සමහර දේශපාලනික විභවයන් තියෙනවා මගේ මැදිහත් වීම ඇතුළෙ. දේශපාලනය කරන්න පක්ෂ දේශපාලනයම අවශ්‍ය නෑ. සමහර අදහස් මේ ක්‍රමය පවත්වගෙන යන්න උදව් කරනවා. සමහර අදහස් මේ ක්‍රමය වෙනස් කරන්න උදව් කරනවා. මෙන්න මේකට සවිඥානික වීමයි වැදගත්. අදහස් පිළිබඳ නිදහස වැදගත්. සමාජයීය වශයෙන් නම්‍යශීලීද කියන එකට මට තිබෙන්නෙ මෙහෙම අදහසක්. මම සමාජයට පණිවිඩයක් දෙන්නයි Art කරන්නෙ. නමුත් මේ සමාජය, මේ මොහොත පිළිබඳ අවදියෙන් ඉන්නවා. මම කියන්නෙ මේ සමාජ මොහොතේ නිර්මාණයක් ඓතිහාසිකව සිට. එතකොට මට එක එක විදියට ගණුදෙනුවක් තියෙනවා මේකත් එක්ක. මෙන්න මේ තේරුම් ගැනීම Art හැටියට Represent කිරීම තමයි මගේ සමාජ භාවිතය විෂය ඇතුළෙ. ඒක සමාජයට නම්‍යශීලීව තියනවද නැද්ද මම දන්නෙ නෑ. තේරුම් ගැනීම තමයි මං හිතන්නෙ මැදිහත් වීමක් ලෙස වැදගත්ම දේ.

චිත්‍රය වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් කෙටිම නිර්වචනය මොකද්ද ?

මට කියන්න තියන දේවල් මගේ මාධ්‍යයෙන් කීම තමයි මට අනුව චිත්‍රය කියන්නෙ. මෙහෙමයි; ඓතිහාසික චිත්‍රයේ අර්ථය සමාජ, දේශපාලනික අර්ථ ඇතුළේ වෙනස් වෙමින් ගමන් කරනවා අනෙක් හැම විෂයක් වගේම. සරලව කිව්වොත් අද වනවිට චිත්‍රය කියන්නෙ 'අඳින දෙයක්' නෙවෙයි 'හදන දෙයක්'. ඒක චිත්‍රය කියන එකේ පැරණි අදහස පුපුරවා හැරීමක්. දෘශ්‍ය කලාව ලෙස එය පුළුල් සීමාවකට ගමන් කරනවා.

කැන්වසයක් පුරා විසිරුණු වර්ණ සුසංයෝගයකින් ශ්‍රී ලංකාව වගේ රටකට කරන්න පුළුවන් බලපෑම ගැන ඔබට තියෙන්නෙ මොන වගේ තක්සේරුවක්ද ?

චිත්‍ර නෙවෙයි ගොඩක් කලා මාධ්‍යවලින් කරන්න පුළුවන් දෙයක් මේ වනවිට සමාජයීය අර්ථයෙන් නැහැ කියලා මට හිතෙන්නෙ. ඒක පුද්ගල, පුද්ගලික අර්ථයක් ඇතුළෙ කේවල අනන්‍යතාවයක් දක්වා විතැන් වෙලා. නූතන අවදියේ නම් කලා කෘතියක් යම්කිසි සාරයක් නඩත්තු කළා. මේ මොහොතේ සමාජයට සමහර වෙලාවට තවත් මනුස්සයෙකුගේ උණුසුම් සම්බන්ධය වැදගත් නෑ. ළඟම කෙනා මග ඇරෙනවා කියලවත් තේරෙන්නෙ නෑ. පුද්ගලයන්ට වඩා ක්‍රමය බලවත් නිසා අපි හැමෝම මේක ඇතුළෙ විනෝද වනවා හැර දේශපාලනිකව කලා කෘතියත් එක්ක බැඳන්නෙ හරි අඩුවෙන්. අපි දන්නවා කලා ඉතිහාසය ඇතුළෙ සමහර සමාජ අරගලයන්ට බලපාපු විදිය. අපිට මේ මොහොතේත් ඕන වෙනවා 'ඇහැට අනින' කලාවක් මේ සමාජය වෙනස් කරන්න. ඒක දේශපාලනික වැඩක්.

ඔබ පැවැත් වූ 'එකලස් රූප' චිත්‍ර ප්‍රදර්ශනය ගැන අපට යමක් කියන්න ?

මගේ 5 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය. 'එකලස් රූප' තමයි නම. විසිරුණු මිනිස්සු එක තැනකට එකතු කිරීම මම කළේ. මේ මිනිස්සු එකතු කළාට තනි තනිව නමන්ගේ සීමාව සටහන් කරගෙන ඉන්නෙ. හරියට මේ වගේ 'එකට හිටියට තනිව ඉන්න මිනිස්සු.' කලින් ඇස්, කන්, නාස් අඳුන ගන්න පුළුවන් විදියට මම මිනිස් රූප ඇන්දා. මෙම ප්‍රදර්ශනයේදී මිනිස් රූපයේ අවම හැඩය තමයි මම ඇන්දේ. 'දේවල්' ලොකු වුණාට පස්සෙ මනුස්සයා කුඩා වෙනවා. ඒකයි මම මිනිස් රූප ඉතාම කුඩා විදියට ඇන්දෙ.

රටේ සමස්ත සාහිත්‍ය-කලා-සංස්කෘතික අවකාශය ගැන ඔබේ අදහස කොහොමද ?

'කලාව පිළිබඳ සාමාර්ථයක් රජයකට නෑ' කියලා එදා ගුස්ටාව් කුර්බේ කියනවා. ඒක ලංකාවට එදා සිට මේ වනතෙක් හොඳට ගැලපෙනවා. මෙන්න මේ කාරණත් එක්ක දේශපාලනික වනවා කියන එක තමයි කලාකරුවෙක් සිහියෙන් ඉන්නවා කියන්නෙ. මේ යක්කුන්ට කලාව වගේ දෙයකින් වැඩක් නෑ. එහෙම උන්ට ඕන ඒක උන්ගේ Tool එකක් හැටියට පාවිච්චි කරන්න.

චිත්‍ර ඇතුළෙ සහ ඉන් පිටත ඉදිරියේ දී ඔබ කරන්න සහ වෙන්න නියමිත මොනවද ?

මගේ ජීවන විලාශය ඇතුළෙ හිතන විදිහ තමයි මගේ චිත්‍ර කියන්නෙ. ඒකෙ ආර්ට් තියෙනවා, මිනිස් සම්බන්ධතා තියෙනවා, දේශපාලනය තියෙනවා, ගණුදෙනු තියෙනවා, සංස්කෘතික කාරණා තියෙනවා, හොඳ තියෙනවා, නරක තියෙනවා, බිඳවැටීම් තියෙනවා, ගොඩනැඟීම් තියෙනවා. මේ දේවල් අතරෙ එහා මෙහා යන මට චිත්‍රය මගේ වැඩබිම. මම විනෝද වන්නෙ චිත්‍රයෙන්. චිත්‍රයයි, සමාජයයි දෙකම මට ලස්සන වැඩබිම් දෙකක්. මේ දෙකේදිම මම මිනිස්සුන්ගේ ඇහැට අනිනවා.

සංවාදය - කසුන් සමරතුංග