චින්තාගේ සෙක්ස් පොතට එක්ස්ටර්නල් පෙරවදනක් ! - විමල් කැටිපෙආරච්චි

චින්තාගේ සෙක්ස් පොතට එක්ස්ටර්නල් පෙරවදනක් ! - විමල් කැටිපෙආරච්චි

29 September 2020 03:00 pm

සිරුර යට හැඟුම් කිතිකැවෙන්නට පටන් ගත් සමයේ අප අත පත්වූ චිත්‍රකතා පිටු අතර ශෘංගාරය තැවරී තිබිණි. ඒ රූ සටහන් අපගේ අනුරාගී උත්කර්ෂයේ උල්පත් වූයේය. වින්දනයේ ස්වයං නිම්නයන් පුරා ඒ රූ සැරිසැරීම නොවැලැක්විය හැකි සොඳුරුතම ඉරණමක් විය. නිතර නිතර මාරුවෙන බොන්ඩ් පෙම්වතියන්ගේ වටොරද, හිතෙන හිතෙන කඩවසම් පිරිමින් වසඟයට ගෙන සයනයට කැඳවන මායා රැජිනියන්ගේ දෙතනද අප ඇතුළාන්තය කළඹවාලීය. 

ඒ ඇතැම් රහස් තැනක් වැසුණේ රන් කෙණ්ඩියකින් හෝ ගසක ඉත්තකින් හෝ ප්‍රතිමාවක කොටසකිනි. සිත්තරා හිතා මතා මුවා කළ මලවි කරළිය යළි රූ ගන්වාගත්තේ උපකල්පන මන්දාකිණියේදීය. දිව්‍යමය ගුප්තභාවය අපගේ දෑසින් වසන් කළ මණිමේඛලාවන් සිතින් ඇද වීසි කර දැමීමේ ධීර වීර සංත්‍රාසය, දෑතින් පුහුණු කළ අසිරිමත් ශෘංගාර සංග්‍රාම භූමියක ගැටවරභාවයේ අහිෂේකය ලද්දෙමු.

කැලැන්ඩර් ගණනාවකට පසු, චිත්‍රකතාවේ මිහිරි අනුරාගය; සුද්දීගේ ගවුමට උඩින් සෝමාගේ තනපට හා චීත්තය යටින් යකා මහත්තයාගේ කසිප්පු ගඳගහන සිරුරට යට වී ලුම්පන් දෛවයක් ඔස්සේ ඉතිහාසයේ කෞතුක අඩවියට නික්ම ගියේය. තවත් විදිහකින් කිවහොත්, සමකාලීන `සුද්දිලාගේ කතාව` ජීවිතයේ ගැඹර, අනුරාගය සමග පාහන විට චිත්‍රකතාවේ `සුද්දී` නොගැඹරේ ගිලී මිය ගියාය. 

මේ වනවිට වැඩිහිටියන්ට වෙන්වූ සිනමාව දෙස අපි ඇස යොමමින් සිටියෙමු. දහදියෙන් පෙඟුණු සිරුරු මැද එහා මෙහා වෙන සුසුම් කෙඳිරිලි සහිත දර්ශන මතක ගබඩාවේ තැන්පත් කෙරුණේ ඕනෑම හුදෙකලා මොහොතක ප්‍රතිවාදනය කරනු පිණිසය. ඒ ඇතැම් සංරක්ෂිත දර්ශන අද පවා ඉඳහිට `ප්ලේ` වෙයි.

VHS වීඩියෝ විසින් අපගේ ලෝකය ආක්‍රමණය කරනු ලැබූ කාලයේම කාමය වෑහෙන මුද්‍රිත සිංහල ප්‍රකාශන අපගේ පොත් අතර ලැගුම් ගත්තේ බයෝ, මැත්ස්, ආට්, කොමස් වර්ගීකරණයන් සුණු විසුණු කරමිනි. සියලු විෂය ධාරාවල විද්‍යාර්ථිහු එකම ශෘංගාර සාහිත්‍ය සාමූහිකයක රහසිගත සාමාජිකයෝ වූහ. අතටම දිය වූ කඩදාසිවල විරාජමාන වූ ප්‍රබන්ධමය චරිත, අපගේ ෆැන්ටසීන් පුබුදුවාලූයේ ය. එය කෙබඳු ද යත්, සිරුරේ අසිරිමත් ආයාචනයන් සතපවනු වස් නිවීම වෙනුවට ඇවිළීම ම ඉල්ලූ යව්වනය අබිමුව පුම ඉතිරි බේ නොසළකා ඇලුණු ගැළුණු වෙළුණු අබිරහස් හෝරාවන් ඇදී බැඳී විත්, කාලයත් සමග රැඳී නොරැඳී සිඳී බිඳී විසිරී ගියේ ලිහිසි මතක මාත්‍රයන්වල සැහැසි සුවඳක් ශේෂ වන පරිද්දෙනි.

එක පැත්තකින් ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝද ගුණදාස ලියනගේ ලියූ දෝන කමලාවතීද රශ්මිය පත්තරයට සුමින්ද ගමගේ ලියූ `ශෘංගාර කලාපය`ද අප නැවතූ තැන් වනවිට, අනෙක් පැත්තෙන්, ගීතාද ෆරීනාද සනෝජාද චන්දිද සුමනාද අත අල්ලා අප නැවත්වීය. අපිද ඔවුන් වෙනුවෙන් දෙවරක් නොසිතා අත දිගු කළෙමු. ඒ අතරවාරයේ ලක්දිව හෝ හිරු කියවද්දීම සොඳුර හෝ සීදේවි කියැවූ බව නොකියා නොසිටිය යුතුය. රූපය විසින් ශෘංගාරය අත්පත් කරගත් හැම මොහොතකම අච්චු අකුරු පසුබැස නොගොස් අලුත් වටයකින් පැමිණියේය. ඒ ඉතිහාසය පිමි පැන අද මේ වනවිට පෝන් හබ්-එක්ස් හැම්ස්ටර්-බීග් ඈ මිලියන බිලියන ගණනක් වූ වෙබ් අඩවි දරාගත් මහා සයිබර්අනුරාග ක්ෂීරපථයේ පවා ලිටරොටිකා වැනි කියැවුම් අවකාශ නොපැරදී පවත්නේ පරිකල්පනය විෂයයෙහි රූපයට වඩා අකුර පෝසත් නිසා යැයි සිතමි.

ශෘංගාරය කියන්නේම පරිකල්පනයේ අති උත්කර්ෂවත් මිනිස් මොහොතය. සංසාරයම නිර්වාණය බවට පරිවර්තනය වන සංවේදනාත්මක නිමේෂයය. මෙන්න මේ සුන්දර ඇත්ත කෙලින් කියමින් අනං මනං නැතුව අකුරෙන් අනුරාගී මිහිර මවන්නට වෙහෙසෙන මිනිහෙකි චින්තන ධර්මදාස. සෙක්ස් යනු මරණීය පාපයක් නොව දිව්‍යමය පිවිසුමක් බව නිරන්තරයෙන් අවධාරණය කරන අපේ කාලයේ ප්‍රමුඛතමයා ඌය. ඌ මීට කලින් ලියූ පොත් දෙකටම වඩා චින්තාගේ මනුෂ්‍යත්වය සෙක්සිය. ඌ සමාජය භාරගන්නා හැටි සෙක්සිය. මේ එක්ස්ටර්නල් පෙරවදන රෝයල් තැප්‍රෝබේනියන්හිදී එළිදැකි චින්තන ධර්මදාසගේ තුන්වැනි සෙක්ස් පොත වෙනුවෙනි. 

මරණය වෙනුවට රමණය !

සුබ පැතුම් චින්තා !!

අලුත් වෙබ් අඩවියක් - facultyofsex.com

ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත් තුනම අද (28)එලියට ආවා. පලවෙනි සහ දෙවෙනි කොටස් අලුත් කවර සමගත් තුන්වෙනි අලුත්ම කොටසත් අද නිකුත් වුනා. මේ පොත් ගන්න තියෙන්නෙ grantha.lk, bookmark.lk සහ තැප්‍රොබේන් එකේ විතරයි.

ග්‍රන්ථ එකේ කලෙක්ටර්ස් එඩිෂන් විදිහට විශේෂ කවරයක් එක්ක පොත් තුනේ කට්ටල 100 ක් පෙර ඇනවුම් වෙනුවෙන් දුන්නා. ඒ සීය ඉවරයි කියලත් තව ගොඩක් අය ඉල්ලනවා කියලත් කරපු ඉල්ලීම අනුව තවත් ඒ විශේෂ පොත් තුනේ එකතු 50 ක් දෙන්න තීරණය වුනා. ඒ හැම එකක්ම මං වෙන වෙනම අත්සන් කරපු පොත්.

ඒ වගේම අද සිට facultyofsex.com සයිට් එකත් ආරම්භ වුනා. ඉරොතික සාහිත්‍ය, ඉතිහාසය, දේශපාලනය වගේම ලිංගික අධ්‍යාපනය සහ අයිතීන් වෙනුවෙන් ඒ සයිට් එක වැඩ කරනවා.

 - චින්තන ධර්මදාස