මම අඟුටුමිට්ටෙක් !

මම අඟුටුමිට්ටෙක් !

24 September 2020 04:21 pm

ජනප්‍රිය ටෙලිකතා මාළාවක් වන Game of Thrones හි සුවිශේෂී චරිතයක් වන Tyrion Lannister වරක් කියවීම ගැන මෙහෙම කියනවා:-

"මම අගුටු මිට්ටෙක්. මම ගැමි පවුලක ඉපදුණානම් එහෙම ඔවුන් මාව කැලේක මැරෙන්න දාල යාවි. ඒ වුණත් මම වංශාධිපති පරපුරක ඉපදුණා. ඒ නිසා මම කළ යුතු භූමිකාවක් තියෙනවා. මගේ තාත්තා රජුගේ දෙවෙනියා විදියට අවුරුදු 20ක් හිටියා. මගෙ සහෝදරයා ඒ රජතුමාව මරණතුරුම. ජීවිතය ඒ වගේ උත්ප්‍රාසයන්ගෙන් පිරිලා. මගේ සහෝදරිය අළුත් රජතුමාව කසාද බැන්දා. මගේ පිළිකුල් සහගත බෑණා ඊළගට රජ වෙයි. මගේ පවුලේ ගෞරවය වෙනුවෙන් මම මගේ භූමිකාව ඉටුකළ යුතුයි. ඒත් ඒ කොහොමද" මගේ සහෝදරයට ඔහුගෙ කඩුව තියෙනවා. මට මගේ මනස තියෙනවා. කඩුවට මුවහත් තබන ගලේ පහස අවශ්‍යයි වගේ මනසට පොත් අවශ්‍යයි. ඒකයි මම ගොඩක් පොත් කියවන්නෙ"

දැනුම මූලික නොවුණ කඩුව කාය බලය මූලික වුණු සමාජය දැනුම ගොඩක් එකතු කරගත් මිනිහා සුවිශේෂී මිනිහෙක්. එක විදියක බල වන්තයෙක්. ඒ කියවන්නො හිග යුගයක.

අද දහස් ගාණක් Book Fair යනවා. එයින් යම් පිරිසක් පොත් මිළට ගන්නවා. එයිනුත් කොටසක් ඇත්තටම ඒ පොත් කියවනවා. ඒ කියවන පිරිසෙනුත් අතලොස්සක් පොත් වලින් උගන්නා දේ තමන්ගෙ ජීවිතේදි යොදාගන්නවා.

අපි පුංචි කාලෙ ගොඩක් අය පොත් කියෙව්වා. ඒක තහනම් වෙලා හංගගෙන කියවන්න වෙන තරමට සමහරුන්ට ඇබ්බැහියක් වුණා. ඒත් හංගගෙන කියෙව්වා. හංගගෙන කියවනකොට පොතේ රස වැඩියි. පොතේ විස්තරයත් එක්ක තමන්ගෙ ජීවිතය ගැලපෙන හැටි පේනව වැඩියි. ඒ දේවල් ජීවිතේදි යොදාගන්න පෙළඹවීමක් එනව ඒ අනුව. අඩුම ගාණෙ පෙම් හසුන්වල වත්.

ඒ කාලෙ කතාවක් තිබුණ කතන්දර පොත් කියවල තේරුමක් නෑ කියල. මම හිතන විදියට කතන්දර පොත් තමයි වැදගත්ම. කතන්දර පොත් වලින් විතරයි කෙනෙකුට යම් අත්දැකීමක් තමන්ම අත් නොවිද ඒ අත්දැකීම තුල මනසින් ජීවත් වෙන්න ඉඩක් හදන්නෙ. ඒ තුල පුළුල් වෙන පරිකල්පනය ජීවිතයේ තෝරාගැනීමට ඇති විකල්ප පැහැදිලි ලෙසම වැඩි කරනවා.

අද කියවීම විලාසිතාවක්. Trend එකක්. ඉස්සර වගේ ජීවන ක්‍රමයක් නෙමෙයි. ගොඩක් අය පොතක් කියවන්නෙ චිත්‍රපටියක් බලන විදියට. චිත්‍රපටයක හැම වෙලේම නරඹන්නා තුන්වැන්නෙක්. පොතක් කියවනකොටත් කියවන්නා තුන් වැන්නෙක් තමයි. ඒත් ඔහු කතාව තුල ජීවත් වන තුන් වැන්නෙක්. චිත්‍රපට, TV series රැල්ලට කලින් පොත් කියවන්න ඇබ්බැහි වෙලා හිටපු අය මේ වෙනස දන්නව. ඒ වෙනස නොදන්න අයට පොතක හෝ චිත්‍රපටයක කතාවක් කියන්නෙ නිකම්ම කතාවක් විතරයි. ඒ කියන්නෙ ඒක දිහා පිටින් ඉදල බලල ඒක කතාවක්නෙ කතාවල ඔහොම වුණාට සැබෑ ජීවිතේට ඔහොම ඒව වැඩක් නෑ කියල අමතක කරල දානව. අන්තිමට රස වින්දනය කරල මොළේ විනෝදාස්වාදයට අදාළ තැන් පිනවල විතරයි. ජීවිතේට මුකුත්ම අරගෙන නෑ.

එහෙම බලනකොට අද ඉන්න ගොඩක් අය Game of Thrones වල කතා කරන කාලෙ හිටපු Tyrion Lannister අගුටුමිට්ටට වඩා බරපතළ අංශ භාග අගුටු මිට්ටො.

මම ආයෙත් කියනව. මම අගුටුමිට්ටෙක්. අද ඒක දැනගෙන ජීවත් වෙන එක කවදහරි මාව යෝධයෙක් කරයි.

- අථිල අතාවුද