ශ්‍රී ලාංකීය කුයර් සංස්කෘතියේ පුනරාගමනය - ඔවුහු නමින් ගාපින්ක් වෙයි

ශ්‍රී ලාංකීය කුයර් සංස්කෘතියේ පුනරාගමනය - ඔවුහු නමින් ගාපින්ක් වෙයි

18 September 2020 06:00 am

නැත. අපගේ හෙඩිමේ කිසිදු අක්ෂර වරදක් නොමැත. ව්‍යාකරණ දෝශයක් ද නොමැත. ඔබ කියවූවා 100% නිවැරදිය. 

ගාපින්ක් (GaaPiNk) යනු ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාවේ භාව ප්‍රකාශනයන් ඉදිරිපත් කරන සංගීතඥයකි. අප ගාපින්ක් "ඔහු" වෙනුවට "ඔවුන්", හෝ "ඔවුහු" යැයි හඳුන්වන්නේ, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ (Gender) සීමාවන් වලින් ඔබ්බට සිය භාව ප්‍රකාශනය ඉදිරිපත් කරන පුද්ගලයකු බැවින් ද, ගාපින්ක් ගේ සංගීතය හරහා වැළලී යමින් පැවති ශ්‍රී ලාංකීය කුයර් සංස්කෘතියේ (Queer Culture) පුනරාගමනය යළි සිහිපත් කරන බැවින් ද වේ.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ සක්‍රිය ක්‍රියාධරයකු ලෙස කලක් කටයුතු කළ ගාපින්ක්, තම කලාව ඔස්සේ ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාවේ හඬ නියෝජනය කරනු ලබන්නේ තමන් ට ම ආවේණික වූ සංගීත ශෛලයකිනි.

"ආලේ ඔබට මා.." ඒ ගාපින්ක් මෑත දින නිකුත් කළ නවතම ගීතයයි. කුයර් ප්‍රේමය (බොහෝ දෙනෙකු ට අනුව අසම්මත ප්‍රේමය) එහි තේමාවයි. මීට ඉහතදී ගාපින්ක් තම සංගීත දිවිය තුළ ගීත කිහිපයක් ම එළි දක්වා ඇති අතර, ගාපින්ක් ගායනා කළ ගීත බොහොමයක් ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාව අතර අතිශයින් ජනප්‍රිය වී තිබිණි. Hate, Precious, Pose Like A Queen ඒ අතර කිහිපයකි.

ඉංග්‍රීසි ගීත ගායනයට නැඹුරු ගාපින්ක් සිය මංගල සිංහල ගීතය "ආලේ ඔබට මා.." ගායනා කරන්නේ ද්විත්ව භාෂා (Dual version) මාදිලියෙනි. එනම්, මෙම ගීත තනුව ඉංග්‍රීසි හා සිංහල යන භාෂා දෙකෙන්ම ඔවුහු ගායනා කරයි. 

ශ්‍රී ලාංකීය කුයර් ප්‍රජාව පිළිබඳ ලියවුනු පත පොත නොමැති තරම් ය. එහෙත් බටහිර මැදිහත් වීම්, හෝ බලපෑම් වලට ලඝු කිරීමට බොහෝ දෙනෙකු උත්සුක වන කුයර් ප්‍රජාව ශ්‍රී ලංකාව තුළ ද වාසය කළ හා අදටත් වාසය කරන බව රහසක් නොවේ. විවිධ රටවල ඒ ඒ රටට ආවේනික වූ කුයර් ප්‍රජාවන් ජීවත් වන අතර, ශ්‍රී ලාංකීය කුයර් ප්‍රජාව පිළිබඳ හසල දැනුමක් සහිත පර්යේෂකයකු ලංකා නිව්ස් වෙබ් වෙත පවසා සිටියේ, සුළුතර ප්‍රජා කොට්ඨාශ ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශ වල කුයර් ප්‍රජා එදා මෙන් අදටත් ජීවත් වන බවත්, විවිධ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් වලට නීතියෙන් මෙන්ම සමාජ ආකල්ප හරහා ද ලක්වන ඔවුන් කලක සිය අනන්‍යතාවය හෙලිදරව් කිරීමට බියෙන් පසුවූවද, දැන් කළ එළි බැසීම ආරම්භ වී පවතින බවත් ය. 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රය ආරම්භ වූ කාලයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කුයර් ප්‍රජාවේ දිස්වීම දැන් වැඩිවෙමින් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

කුයර් භාව ප්‍රකාශනය සම්ප්‍රදායික ස්ත්‍රී හා පුරුෂ යන ද්විමය (binary) ස්ත්‍රී-පුරුෂ සාමාජභාවී අනන්‍යතාවයන් අභියෝගයට ලක් කරන අතර, LGBTIQ ප්‍රජාව යනු විමුක්තිය උදෙසා සටනේ නියැලෙන පුළුල් සමාජ අරගලයක කොටස්කරුවහු වෙති.

ගාපින්ක් ගේ සංගීතය සුවිශේෂී වන්නේ එම හේතුව නිසා ය.