ක්ලැරන්ස් විජේවර්ධන සහ සිහිවටන 16

ක්ලැරන්ස් විජේවර්ධන සහ සිහිවටන 16

4 August 2020 06:23 am

මා කුඩා කල, මසකට වතාවක් හෝ දෙවතාවක් පමණ අප නිවසට අලුත් කැසට් පටයක් එකතු වුනු බව මට මතකය. 60 සහ 70 දශකයේ ඇසුණු Jim  Reeves, Cliff Richard ගායක්යින්ගේ ගීත සහ ලාංකීය 70 දශකයේ ඇසුණු සී.ටී ප්‍රනාන්දු සහ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත තාත්තා වඩාත් ඇලුම් කරනු දුටුවෙමි. මගේ වැඩිමහල් සොහොයුරා බොහෝවිට 80 දශකයේ බිහිවුන බටහිර සංගීතයට සවන් දුන් අතර, ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ කැසට පටද, ඔහු එකතු කල සැටි මා දුටුවෙමි. මෙලෙස කාල පරාස තුනක ගී කන වැකුණු අතර, මා සිත් ඇදුනේ එකල, එනම්, 90 දශකයේ මුල් යුගයේ ගීත ඇසීමටය.

ඒ අතර නාමල් උඩුගම, ග්‍රේෂන් ජයමහ සහ අතුල අධිකාරී වැනි ගායකයන්ගේ ගීත cassette පට එකතු කලෙමි. ඔවුන්ගේ සංගීතයේ තිබුණු ජවය හා නැවුම් බව මා සිත් ඇද ගැනුනි. සමුගන්නේ නැහැ ඇල්බමයේ ගීත අතුරින්, අඩුම තරමින් කැසට් පටයේ මුල් පැත්තේ ගීත පහ,මට අදටත් කට පාඩම්ය.ඒ, අනෙක වාරයක් එම කැසට් පටය අසා ඇති නිසයි. 1994 වර්ෂය වන විට සිරස FM ගුවන් විදුලිය ආරම්භ කෙරුණු අවදියේ, නැවුම් ගී නිතර ප්‍රචාර වුනු බැවින්, එම ගීත කැසට් වලට පටි ගත කර ගැනීමට මා උත්සහ කලෙමි. මෙය තරමක් අපහසු කාර්යයක් වූයේ,පටි ගත කිරීමට අවශ්‍ය empty tape මා සතුව නොතිබුණු බැවින් හා එයට මුදල් වැය කිරීමට වත්කමක් මා හට නොතිබුණු බැවිනි. තාත්තාගේ කැසට් එකතුවෙන් පරණ කැසට් පටියක් සොයා, මේ කර්තව්‍ය කිරීමට තීරණය කලෙමි. එවකට වසර දහයක් පමණ පැරණි, තරංගා ආයතනයෙන් නිකුත් වුනු, ක්ලැරන්ස් විජේවර්ධන සහ Super Golden Chimes ගී එකතුවක 'සැන්දෑ වලාවන්' සහ අනෙකුත් ගීත මකා දමා, පටිගත කිරීම් වලට ගත්තෙමි. ඒ මගේ  මනස එදා, අද මෙන් පැරණි සංගීතයක රසාස්වාදයක් විඳ ගැනීමට තරම් නොමෙරුණු හෙයින් සහ මා, ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවේදියා ගේ නිර්මාණ ගැන කරුණු නොදත් නිසාය.

1994 වර්ෂයේ ගුවන් විදුලියෙන් එක්තරා පැරණි ගීත කීපයක්, විටෙන් විට  ඇසෙන්නට පටන් ගත් හෙයින්, මා ඊට අවධානය යොමු කලෙමි. මගේ මතකයේ, මින් පෙර ඇසුණු ගීත කිහිපයක් ගුවන් විදුලියෙන් නිතරම ප්‍රචාරය වූවා මතකය. සිහින ලොවක්, කන්ද සුරිදුනි, මලට බඹරෙකු, මුව හසරැලි සාගරේ වැනි ගීත විකාශනය වුයේ, සිත් ඇද ගන්නා සුළු, නව සංගීතයකින් හැඩ වෙමිනි. කඳ සුරිදුනි සහ සුදු මැණිකේ යන ගීත, මා ඒ වන විට අසා තිබුනේ නොනවතින ගීත කැසට් පට වලින් පමණි. මලට බඹරෙකු ගීතය අසා තිබුනේ මා මුලින් මකා දැමු Super Golden Chimes කැසට් පටයේ පැරණි පටි ගත කිරීමකි. වහාම මෙම ගීත එකතුව ඇති කැසට් පටය record bar වලින් සොයන්නට පටන් ගත්තෙමි. අවසානයේ දැනගන්නට ලැබුනේ, මෙම ගීත ගොන්න ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ සංයුක්ත තැටියකින් පමණක් දැනට නිකුත් වී ඇති බවය. එකල CD තැටි මිල අදික සහ නිවසේ CD player එකක් නොමැති හෙයින්, කැසට් පටයකින්ම සෑහීමකට පත් වීමට මට සිදු විය.Record bar එකෙන් ගීත පටිගත කිරීමට අවකාශයක් තිබුණු නමුත්, මා හට original කැසට් පටයම මිලදී ගැනීමට උවමනා විය. 1994 අගෝස්තු මාසයේ ඉරිදා දිනයක නොසිතු විලසින්, සිරස නාලිකාවෙන් උදේ 10 සිට මිනිත්තු 15 ක ගුවන් කාලයක් වෙනකොට Torana ආයතනය විසින්, ක්ලැරන්ස් විජේවර්ධනයන ගේ, සිහිවටන 16 නමින් කැසට් පටය එලි  දැක්විණි. එදින ඉරිදා record bar වසා ඇති හෙයින්, සඳුදා හවස ගොස් විමසුවත්, එය පසු දින, අඟහරුවාදා ලැබෙනු ඇතැයි පවසනු ලැබීය. මෙලෙස නොඉවසිලිවත්ව  බලා සිට, අඟහරුවාදා හවස, අයියා එය ගෙනවිත් තිබුණි. සිහිවටන 16 කී වතාවක් එදා මම ඇසුවද මතක නැත. මා ප්‍රිය කල තරුණ ගායන ශිල්පීන්ගේ ගීත අබිබවා, නව සංගීත නාද රටා වලින් මෙම ගීත සියල්ලම පොහොසත් වී තිබුණි. එපමණක්ම නොව, මා මින් පෙර නොඇසූ පැරණි ගීත ගොන්නක් ප්‍රථම වරට සිහිවටන 16 තුලින් ශ්‍රවනය කලෙමි.  

අදටත් මා සන්තකෙයේ ඇති එම කැසට් පටය, මගේ සංගීත රසත්වාදයට ඒකාන්තයෙන්ම වෙනසක් ඇති කල අපුරු අත් දැකීමකි.ක්ලැරන්ස් විජේවර්ධනයන්ට පැරණි ගීත යලි යලිත් කාලයට ගැලපෙන පරිදි හා, දියුණු වෙන තාක්ෂනය භාවිතා කරමින් පටිගත කිරීම සාමාන්‍ය දෙයකි.ඔහුගේම පැරණි ගීත සහ තම හිතවත් ශිල්පීන්ගේ පැරණි ගීත නව සංගීතය යොදා පටි ගත කිරීම් 80 දශකයේ සිට විටෙන් විට ඔහු මිය යන තුරුම කෙරිණි. වරක් ඔහු FM 99 ගුවන් විදුලි නාලිකාවේ, හේමසිරි හල්පිට මහතා මෙහෙයවූ වැඩසටහනකදී පවසා සිටියේ, සිහිවටන 16 ඇතුලත් වුනු එම පැරණි ගීත ගොන්න, ඔහු යලි වර්ණවත් කෙරු බවයි. එයට දුන් නිදසුන, මලට බඹරෙකු ගීතයේ මුල් පටිගත කිරීමේදී තමා 2nd chorus  එක ගායනා කෙරු බවත්, මෙවර ඔහු ඒ වෙනුවට Piano solo එකක් වාදනය කරන්න සැලසූ බවත්ය. මෙවැනි කලොචිත වෙනස්වීම් රැසක් එම ගීතවලට කර ඇති බව පැහැදිලිය. මෙම ගීත පටිගත කර ඇත්තේ Super Golden Chimes කණ්ඩායමේ bass ගිටාර් වාදක Chandralal Fonseka මහතාගේ NAC ශබ්දගාරයේදීය.  

අවුරුදු 25 එහා පැරණි සිහිවටන 16 ගීත එකතුව, Toarana ආයතනයෙන් නිකුත් වුන සංයුක්ත තැටි අතරින්, මුල් යුගයේ නිකුත් වූ අලෙවි වාර්තා තැබූ සංයුක්ත තැටියක් බව නිසැකය. අදටත් එම ගීත එකතුවේ නැවුම් බව නොඅඩුව ඇත. සිහිවටන 16 album මාලාවේ, සංයුක්ත තැටි සහ කැසට් පට 11ක් නිකුත් වී ඇති අතර, මින් Torana ආයතනයෙන් නිකුත් වූ  album 10ක් අදටත් වෙළෙඳසැල් වල විකීනේමට තිබේ.

- ශෙරංග පෙරේරා www.goldensandsstudio.com