ලාල් හෑගොඩගේ කෝමළනි කාව්‍ය සංග්‍රහය අන්තර්ජාලයට

ලාල් හෑගොඩගේ කෝමළනි කාව්‍ය සංග්‍රහය අන්තර්ජාලයට

20 May 2020 04:25 pm

ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු මෙන්ම කවියෙකු වන ලාල් හෑගොඩ මහතාගේ ‍නවතම කාව්‍ය සංග්‍රහය වන 'කෝමළනි' කෘතිය අද දිනයේදී අන්තර්ජලාය වෙත මුදා හැරිණි. මෙම කාව්‍ය සංග්‍රහය ඔහුගේ සයවන කාව්‍ය කෘතියයි.

ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දී ඇති වසංගත තත්වය හේතුවෙන් මෙම කාව්‍ය සංග්‍රහය ඊ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීමට කතුවරයා පියවර ගෙන තිබේ.

theschoolofphotography.org සහ lalhegoda.com යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් කෝමළනි කෘතිය නො‍මිලේ බාගත කර ගැනීමට හැකියාව ලැබේ.

ලාල් හෑගොඩ මහතා සිය කෘතියේ පෙරවදන තුළ මෙසේ සටහන් කරයි

කවිය ඇත්තේ පොතේ නොව

කවිය පිළිබඳව කවීන් පවසා ඇති දේ කවි තරමට මිහිරිය.

'කවියට එහි මාතෘකා ඉක්මවා යාමට අවශ්‍ය වෙයි. එය වචනයෙන් පැවසීම අසීරු වන්නා වූ, පමණ ඉක්මවා යාමකි.' කවිය පිළිබඳව ඒ අදහස ප‍්‍රකාශ කර ඇත්තේ මහා කවි රවින්ද්‍රනාථ ඨාකූරයන්ය.

'කවිය ඇත්තේ කවි පොතේ නොව රසිකයාගේ'මනස තුළය' යනුවෙන් මීට ඉහත කාලය දී මා ප‍්‍රකාශ කළ බව මගේ මතකයේ ඇත. මා එසේ කියන විට
රවින්ද්‍රනාථයන්ගේ අදහස මා කියවා තිබුනේ නැත. එය මා කියැවුයේ මෑතක පළ වූ ඔහුගේ චින්තාවන් ඇතුළත් 'ජීවන මදිරාව' (The Nectar of life) නම් පරිවර්තන කෘතියෙන්ය. කවිය කවි පොත ඉක්මවා යන්නේ යයි මා පැවසූ අදහසත්, කවිය එහි මාතෘකාව ඉක්මවා යන්නේය යන අදහසත් අතර යම් සම්බන්ධතාවයක් ඇතැයි සිතේ.

කවියාගේ සිතේ උපදින කවිය, අකුරු මතින් වචන බවට පෙරැළී කඩදාසියක් මත ලියැ වී ඇති විට, එය ඇසින් කියවා ගන්නා රසිකයාගේ හද-මනස තුළ ඒ කවියේ හැම අංගොපාංගයක්ම කවියා අපේක්‍ෂා කළ අයුරින්ම පිළිබිඹු වන්නේද යන ප‍්‍රශ්නය ඇති වෙයි. එය කාව්‍ය රසාස්වාදයේ මූලික පැනයක් බවටද පත් වෙයි. රසිකයා පෙර පින් ඇති අයකු වන්නේ නම් මේ තත්වය වඩාත් විචිත‍්‍ර වෙයි. ධ්වනිතාර්ථය, යටිපෙළ අරුත යනාදියනේ අදහස් කෙරෙන්නේ මේ තත්වයමද ? මා සිතන්නේ ඒ දෙකෙන්ම පරිභාහිර, නන්විධ වූ රූපාන්තරයට මුල් කවිය මුහුණ පානා බවය. මුල් කවියේ අනුභූතිය සමග රසිකයා අනන්‍යතාවට පත් වීමෙන් කවියේ අපේක්‍ෂිත අර්ථය ඉෂ්ඨ වන්නේ යයි පිළිගැනේ. එහෙත් කවියාගේ අනුභූතිය සමග ඒකාත්මික වෙනවා සේම, රසිකයා තමාගේ චිත්තාවේගයන්ද අතිදැකීම්ද අනුව තමා කියැවූ කවියට අරුත් සපයමින් එහි තේමාවට වෙනස් වූ කාව්‍යමය හැඟීම් කරා ගමන් නොකරයි කිව හැකිද ? එවිට සිදු වන්නේ කවියාගේ මුල් නිර්මාණය අත්වැලක් වීමයි. එය රසිකයාගේ භාවලෝකය තුළ විවිධ වින්දනීය හැඟීම් ජනිත කරවන මූලාශ‍්‍රයක් බවට පත් වෙයි. එමගින් රසිකයා රස වින්දනයේ පරිපූර්ණතා කරා නොයන්නේද ?

කවි තිබෙන්නේ කවි පොතේ නොව රසිකයාගේ භාවලෝකය තුළ යයි කිමෙන් මා අදහස් කළේ එබඳු තත්වයකි.

රසිකයාගේ භාවලෝකය පරිපූර්ණ වූ තරමට කිසියම් කවියක නව හැඩතල දෘශ්‍යමාන වීම විය හැකි දෙයකි. රසිකයා මුල් කවියේ අනුභූතියට, තමාගේ අනුභූතීන් සංකලනය කිරීමෙන් නව ආලෝක ධාරා උත්පාදනය කරයි. ඒ ආලොකය තුල මුල් කවිය අධ්‍යාත්මික ගුණය තවත් බබලන්නට වෙයි. රසිකයාගේ භාෂා කුසළතාවය, රස ඥනයන් අතර කවිය සුපුෂ්පිත වේ. දැන් දැන් කවි සියයකි, දහසකි, දසදහසකි.

'දයාබර මිතුරනි, කවිය යනු සිනාවක පාරිශුද්ධ වූ පුනරුත්පත්තියයි. කවිය සුසුමකි, එයින් කඳුළු බිඳු වියලී යයි. කවිය යනු ආත්මය තුළ වැඩ වාසය කරන තවත් ආත්මයකි. එහි ආහාරය වන්නේ ප්‍රේමයයි. මේ ආකෘතිය තුළින් නොඑන්නා වූ කවිය ව්‍යාජ ගැලැවුම්කාරයෙකි.' මහා කවි ජිබ්රාන්ගේ වදන් මාලාව තුළින්ද ජනිත වන්නේ මා පෙර දිනයක පැවැසූ වදන්වල ඡායාවක් යැයි සිතේ.

'කවිය ඇත්තේ කවි පොත් තුළ නොව රසිකයාගේ හදවත තුළය' පොත් රාක්කවලට කවි රසවිඳීමට නොහැක. (සඳුන් අරටුව 1988) යන සංකේතීය ප‍්‍රකාශයෙන් මා කීමට තැත් කළේ එයයි.

කෝමළනි

නි ස්වරයේ කෝමළ
මිනිස් වෙස ඇයයි මනු ලොව
මා සිත අසල්වැසි කෞෂිකි

මැව්වා නම් කවුරුන් හෝ ඇය
දෙවිඳුන් යැයි අමතමි
මහා මැවුම්කරු යැයි

”දෙවිඳුනි කිම ඉවත බලා
බලන්න පිළිගන්න
හද බැතිය මේ උතුරා යන”

”රසිකයානනි
මට දැන් හිතුනත් තව ළා පැහැ කළා නම්
එදා රත දුන්නේ මමයි දෙතොලට
නමුදු සිනාව නම් ඇගේය
හඬ දුන්නේ මමයි නොමදව
ගායනා නම් ඇගේය
හඬ සුසර කර
ඔබයි තැවරුවේ මල් මී
මා එහි නොතැවරූ

ඔබද උමතු කර මාද උමතුකර
ගායනා’තර මදහස් පාන්නීද ඇයයි
පුදදෙන්න අවැසි නම් හද බැතිය
දෙන්න එය කෞෂිකියටම”