Dear VICTORIA, LOVEENA, A MAGICIAN’S TALE සමඟින් මොහාන් රාජ් මඩවල ජාත්‍යන්තරයට!

Dear VICTORIA, LOVEENA, A MAGICIAN’S TALE සමඟින් මොහාන් රාජ් මඩවල ජාත්‍යන්තරයට!

29 October 2019 01:24 pm

බෝදිලිමා, මම මම සහ මම, Dreamz Unlimited, මාගම් සෝලිය, ලොවීනා, ආදරණිය වික්ටෝරියා, රැජින සහ කලම්බෝ කෘති හරහා සිංහල සාහිත්‍යයේ නව මානයක් සොයන, බොහෝ බාධක, ගැරහුම්,විවේචන සමඟ සිංහල සාහිත්‍ය නව මානයකට ගෙන යාමට උත්සහ දරමින් සිටින මොහාන් රාජ් මඩවල සිය සාහිත්‍ය කෙතේ තවත් සාර අස්වනු නෙළමින් ජාත්‍යන්තරයට පය තබා තිබේ.

සෝමසිරි මුණසිංහ (Dear VICTORIA,LOVEENA) සහ මහේෂි වීරකෝන් (A MAGICIAN'S TALE) ලෙස මොහාන් රාජ් මඩවලගේ කෘති ඉංග්‍රීසියට පෙරළමින් ඔහු ලෝක සාහිත්‍යයට ඔසවා ඇත. මෙය සිංහල සාහිත්‍ය, ලෝක සාහිත්‍ය ස්පර්ශ කරන නැවුම් අත්දැකීමක් වනු නියතය. 

සදාචාරවාදීන්ගේ අඩු දඩු වලට හසු නොවී සිය ලේඛන අනන්‍යතාව තහවුරු කරමින් විකල්පය විසින් බදා වැළඳ ගැනීමට තරම් මොහාන් රාජ් සමත්ව සිටින අතර ඔහුගේ මේ පියාසැරිය සිංහල සාහිත්‍ය දෙස මේ දූපතෙන් එපිට ප්‍රජාව දෑස් දල්වන සංධිස්ථානයක් නොවනු ඇතැයි සිතන්නට තරම් කාරණා නැත. 

එහෙයින් ඔහුගේ මේ ගමන් මඟ පිළිබඳව අපි යළිත් වරක් ඔහු සමඟ සංවාදයකට ඉඩහසර ලබා ගතිමු. 

සිංහල බහුතර පාඨක අවධානයක් දිනාගත් ආදරණීය වික්ටෝරියා,ලොවීනා සහ බෝදිලිමා කෙටිකතා සංග්‍රහය මේ වන විට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී තිබෙනවා. මේ අත්දැකීම් ගැන මුලින්ම කතා කරමු. 

මේ කතා ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්න ඕනේ කියන දේ ගොඩක් කාලෙක ඉදන් මගේ හිතේ තිබුණා. නමුත් විවිධ කාරණා නිසා ඒකට අවස්ථාවක් යෙදුණේ නැහැ. ඉංග්‍රීසියෙන් පළවෙලා තියෙන පොතක් සිංහල පරිවර්තනය කරන එක මහ දෙයක් නෙවෙයි. පොත් තියෙනවා,ලියන්න අය ඉන්නවා. දැනටමත් මාසෙකට පර්වර්තන 10ක් 15ක් පිටවෙනවා. ඒ වුණාට සිංහල පොතක් ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ද්වි භාෂා දැනුම අවශ්‍යයි. එහෙම අය අල්ලගන්න අමාරුයි. ඒ නිසා මට කරගන්න බැරි වුණා. නමුත් ඒ වුවමනාව මගේ හිතේ සැහෙන කාලයක් තිබුණා. 

අනිත් එක මට දැනිච්ච දෙයක් තමයි ලංකාව ඇතුළේ මට වටිනාකමක් නැහැ කියන කතාව. මම ලියන විදිහ අනුව සහ මම සම්මාන ස්ට්‍රක්චර් එකට නෙවේ ලියන්නේ. නව කතා කියලා හදාගත්ත කෝවට නෙවෙයි ලියන්නේ. 

වෙනම ස්ට්‍රක්චර් එකක් මගේ තියෙන්නේ. සභ්‍යත්වයට සහ සංස්කෘතියට අනුව මගේ ලියවිල්ල මහා සාපරාධී දෙයක් කියල තමයි සැලකෙන්නේ. එහෙම සංස්කෘතියක් ඇතුළේ සංස්කෘතිය සහ සභ්‍යත්වය කියන සීමාව ඇතුළේ සිටිමින්  විනිශ්චය කරන විනිශ්චය මණ්ඩලවලදී ගොඩක් වෙලාවට සාධාරණයක් ඉෂ්ට වෙනවා කියලා පේන තත්ත්වයක් නැහැ. 

ඒ අයගේ තියෙන පසුබිම අනුව අවසාන අර්ථයෙන් මේ රටේ සංස්කෘතියට සහ සභ්‍යත්වයට යටත් වෙන්න ඕනේ. එහෙම වුණේ නැත්නම් ඒ අයට පැවැත්මකුත්  නැහැ. කීප අවස්ථාවකදීම එහෙම නිර්දේශ වෙලා තියෙද්දී සංස්කෘතිය සහ සභ්‍යත්වය කර උඩ තියාගෙන ඉන්න මිනිස්සු ප්‍රශ්න කරනවා කුණුහරුප තියෙන පොත්වලට කොහොමද සම්මානවලට නිර්දේශ  කරන්නේ කියලා. ඔවුන් බයයි. ඉතින් මේක නම් කළොත් අපිටත් ප්‍රශ්නයක් කියල විනිශ්චය මණ්ඩලත්  හිත හදාගන්නවා. ඒ නිසා ලංකාවට මාව වටින්නේ නැහැ කියන එක සෑහෙන කාලෙක ඉඳන් හිතුන දෙයක්. ඒ නිසා එතනින් එහාට යන්න ඕනේ කියන අදහස සෑහෙන කාලෙක ඉඳන් තිබුණේ. නමුත් ඒකට අවස්ථාවක් හැදුණේ නැහැ.

කොහොමද අවස්ථාව ලැබෙන්නේ?

මේක අහම්බෙන් සිදුවුණා දෙයක්. චන්ද්‍රරත්න බණ්ඩාර දවසක් මට කැනඩාවේ ඉදන් කෝල් එකක්  අරන් කතා කරලා කිව්වා මගේ පොත්වලට කැමති මනුස්සයෙක් මෙහෙ ඉන්නවා. එයා ඔයාගේ පොතක් ට්‍රාන්ස්ලේට් කරන්න කැමතියි කියනවා මොකද කියන්නේ කියලා. මම කිව්වා හරි මට නම්බර් එක දෙන්න මම කතා කරන්නම්  කියල. මම කතා කරද්දීත් ඔහු  වික්ටෝරියා පොතේ කොටසක් පරිවර්තනය කරලත් ඉවරයි. ඔහු සෝමසිරි මුණසිංහ. අපි අතර නිතර කතා බස් ඇති වුණා. මම ඔහුව දැකලවත් නැහැ. දන්නෙවත් නැහැ. නමුත් අපි වට්ස් ඇප්, වයිබර් හරහා දීර්ඝ වශයෙන් කතා කළා. ලංකාව සහ කැනඩාව අතර පැය නවයහමාරක වගේ වෙනසක් තියෙනවා. එහෙම කොහොමහරි වික්ටෝරියා කළා. ඊට පස්සේ මම භාෂා දෙකම  ගැන දැනුමක් තියෙන කිහිප දෙනෙකුටම මම පිටපත් පෙන්නුවා. ඒ අය ඇත්තටම පරිවර්තනය ගැන සෑහීමකට පත්  වුණා. මමත් සතුටු වුණා. ඊට පස්සේ ලොවීනත් කරන්න පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් මගේ කලම්බො පොතත් අසාවෙන් කරගෙන යනවා. එකත් ලබන අවුරුද්දේ කරන්න පුළුවන් වෙයි. 

සෝමසිරි මුණසිංහ ,ඔහු ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. අසූ ගණන්වල ඔබ්සවර් පත්තරේ, ඩේලි නිවුස් පත්තරේ කතෘ මණ්ඩල සාමාජිකයෙක්. අසූ ගණන් වල අගභාගයේ වගේ ගල්ෆ් කියන පත්තරේ වැඩට ගිහින් තියෙනවා ඩුබායි වලට. ඊට පස්සේ අනූ ගණන් වල අගභාගයේ කැනඩාවට ගිහින් තියෙනවා. ඇත්තටම එයාට හොඳ දැනුමක් තියෙනවා. මේ පොත් කියවද්දී ඒක තේරෙනවා.  ඔහු  හරියට පොත පත කියවන කෙනෙක්. ඒ අනුව ඔහුගේ යෝජනාවක් අනුව මේ වැඩේ වුණා. මටත් අලුත් අත්දැකීමක්. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. කැළණිය විශ්ව විද්‍යාලයේ ඇලුමිනි සංගමයේ ටොරොන්ටෝ නුවර ශාඛාවේ සහ කැනඩා ලංකා මිත්‍රත්ව සංගමයේත් සාමාජිකයෙක්. 

ඒ වගේම ටොරොන්ටෝ නුවර යාත්‍රා කියලා පුවත්පතක් තියෙනවා සිංහල ජනතාව වෙනුවෙන්. එය කරන්නේ චන්ද්‍රරත්න බණ්ඩාර. මගේ පොත්වල සියලු බර පැන ඒ අයගේ. මට කරන්න තියෙන්නේ එතනට යන එක විතරයි. 

A MAGICIAN'S TALE ලෙස බෝදිලිමා කෙටිකතා සංග්‍රහයේ කෙටි කතා එකොළහක් ඉංග්‍රීසියට පරිවර්තනය කරන මහේෂි වීරකෝන්හේ හමුව සහ එම මැදිහත්වීම සිදුවෙන්නේ කොහොමද?

මහේෂි වීරකෝන් කියන්නෙත් මගේ හොඳ පාඨකයෙක්. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ගැන හිටපු කථිකාචාර්යවරියක්.  හිංහල පොත්පත් හොඳට කියවනවා. එයා දවසක් මට දුරකථනයෙන් කතාකරලා මගේ පොත්පත්වල තියෙන දේවල් ගැන පැහැදිලි කිරීමක් කරද්දී මම කිව්වේ මගේ කෙටි කතා ටික ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. ඊට පස්සේ තමයි ඇය ඒක කළේ.ඒ අනුව මගේ බෝදිලිමා පොතේ තියෙන කෙටි කතා එකොළහක්  ඇය ඉංග්‍රීසියට පරිවර්තනය කළා.

ඔබේ කෘතිවල වචනාර්ථයට වඩා එහි ඇතුළාන්තයේ කතාව වෙනස්. ජනශ්‍රැතිය අභාශයට ගනිමින් ඔබ පාඨකයා රැගෙන යන්නේ එක්තරා සමාජ දේශපාලන චාරිකාවක්. ඉංග්‍රීසි පරිවර්තනයන් තුළ එය ආරක්ෂා වෙලා කියන සහතිකය දෙන්න පුළුවන්ද? 

ඇත්තටම මම සෝමේ අයියාගෙන්  මුලින්ම ඇහුවා ඇයි මගේ පොත් තෝරාගත්තේ කියලා. ලංකාවේ මෙච්චර පොත් පිටවෙනවා. එහෙම තියෙද්දී ඔයා මාව දන්නෙත් නැහැ. මම ඔයාව දන්නෙත් නැහැ. අපි දෙන්නට දෙන්න ආගන්තුකයෝ. එයා කිව්වේ මගේ පොත්වල ඉන්ටර්නැෂනල් ඇපීල් එකක් තියෙනවා කියලා. මට හිතෙනවා ලංකාවටත් වටිනාකමක් එයි කියලා මේකෙන්. මගේ පොත්වල අපේ ජනශ්‍රැති දේවල් තියෙනවා. අපේ මිත්‍යා විශ්වාස ගැන දේවල් තියෙනවා. මිනිස්සු යම් සංස්කෘතික වටපිටාවක ඇතුළේ සකස් වෙන්නේ ඒ රටවල තියෙන ජනශ්‍රැතිය,ජනකතා, විශ්වාස, මිත්‍යා ආකල්ප මේවත් එක්ක තමයි හැදෙන්නේ. ඉතින් ඒවා බැහැර කරන්න බැහැ. එක පැත්තකින් ජනශ්‍රැතියට මම හරි ආසයි. සෝමේ අයියා කිව්වේ මගේ පොත් කියවද්දී ලංකාවේ හැඩයක් පිටරට කෙනෙකුට වුනත් හඳුනාගන්න පුළුවන් කියලා. ඒ නිසා ඇත්තටම මට හිතෙනවා මේකට වටිනාකමක් ලැබෙයි කියල. 

පොත් දෙක පරිවර්තනය කළාට පස්සේ ඇත්තටම මම කීප දෙනෙකුටම පෙන්නුවා. සෝමේ අයියා කියන්නෙත් සංස්කෘතික සදාචාර කාරණා එක්ක බැරියර්ස් දාගත්ත මනුස්සයෙක් නෙවෙයි. හරි විවෘතව හිතන කෙනෙක්. මොකද ලෝක සාහිත්‍ය හරියට අතපතගාන මනුස්සයෙක්. තාප්ප ගහගෙන සංස්කෘතියට සභ්‍යත්වයට කොටුවෙලා ඉන්න මිනිස්සු නෙවෙයි. ලෝක සාහිත්‍ය ඇසුරු කරනවා කියන්නේ මිනිස්සුන්ගේ චින්තනය පළල් වෙනවා. අපේ ගොඩක් මිනිස්සුන්ට සංස්කෘතිය සභ්‍යත්වය ගැන සීමා දාගෙන ඉන්නේ ඒ ගැන වැටහීමක් නැති නිසා. මෙහෙ වෙලා තියෙන්නේ මේකෙම තියෙන එක හොඳයි කිය කියා කාල් ගගා ඉන්න එක.

මේ වැඩේදී මගේ පස්සෙන් හිටපු දෙන්නෙක් ගැන කියන්නම්.  එක්කෙනෙක් තමයි කැප්ටන් එල්මෝ ජයවර්ධන. සැමීගේ කතා ලිව්වේ එයා. ලංකාවේ ඉන්න ඉංග්‍රීසියෙන් ලියන කීපදෙනා අතුරින් එක්කෙනෙක්. ශ්‍යාම් සෙල්වදොරෙයි, ෂෙහාන් කරුණාතිලක ඔය වගේ කීපදෙනෙක් තමයි ඉන්නේ මෙහෙ ඉංග්‍රීසියෙන් ලියන. දවසක් ඔහු මට දුරකතනයෙන් කතා කළා මගේ ලොවීනා පොත කියවලා. "මම ඔයාගේ ලොවීනා පොත් කියෙව්වා. කියෙව්වට පස්සේ ඇත්තටම මමත් ඉන්නේ ගල්කිස්සට එහා මොරටුව ප්‍රදේශයේ. මමත් හරි ආස ප්‍රදේශයක් මවුන්ට ලැවිනියා හෝටලය ආශ්‍රිත ප්‍රදේශය.  ඒකත් එක්ක බැදිච්ච කතාවේ ඉතිහාසය කියනකොට සහ ලියලා තියෙන ස්ටයිල් එක ගැන කල්පනා කරලා බලනකොට මට හරි ආසාවක් ඇතිවුණා මේ රටේ මිනිහෙක් විදිහට මෙහෙම ලියනඑක ගැන" කියල්. ඒක මටත් ඇත්තටම ලොකු ගෞරවයක්. "මේක සිංහලෙන් තියන්න එපා. මේක ඉංග්‍රීසියට දාන්න. නැත්නම් වටිනාකමක් ලැබෙන්නේ නැහැ" කියලා ඔහු කිව්වා. ඔහු තමයි මගේ පස්සෙන් පැන්නුවේ මේක කොහොමහරි ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න කියල. කොහොමත් අවුරුදු දෙකක විතර ගියා වැඩේ කෙරෙද්දී. ඒක තමයි පළමු උත්තේජනය. ඒ වගේම තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙක් හිටියා රංජිත් දිලුම්පිටිය කියල. ඔහුත් හොඳ ද්වි භාෂික උගතෙක්. ඔහු මම හඳුනාගත්තේ සරසවි පොත් හලේ ඉන්න  ලියනගේ මහත්තයා හරහා.

ඔහු කියන දෙයක් තමයි බය නැතිව ලියන මනුස්සයෙක් හැටියට මට හරි කැමති කියලා. පස්සේ මම මේ අත්පිටපත් ඔහුට පෙන්නුවා. මට දවසක් කතා කරලා කිව්වා එයාව හම්බවෙන්න එන්න කියලා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට. 

ඔහු කිව්වා "මොහාන් මේ බොහොම අවංකව කියන්නේ මට හිතෙන්නේ ඔයාගේ පොතේ මට දැනිච්ච රසය  මේ ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙනව. බය නැතුව ඔයා ප්‍රින්ට කරන්න" කියලා. "හොඳ වටිනාකමක් ලැබෙයි. බය නැතුව මේක කරන්න" කියලා. ඒක තමයි දෙවෙනි කාරණාව බය නැතුව මේක ප්‍රින්ට්  කරන්න. නමුත් අවාසනාව කියන්නේ ඒක කියලා සති කිහිපයක් ගියපු තැන පොත ප්‍රින්ට් කරලා එන්න ඔන්න මෙන්න තියෙද්දී ඔහු මිය ගියා. මම මාර විදිහට ෂෝක් වුණ තැනක් ඒක. ඇත්තටම මට අදටත් හරි කණගාටුවක් තියෙන්නේ. මේ දෙන්න තමයි මට ප්‍රධාන වශයෙන් උත්තේජනයක් වුණේ මේ වැඩේ කරන. තවත් පිරිසක් ඉන්නවා මට උදව් කරපු. ඒවගේම තව ද්වි භාෂික උගතුන් කිහිපදෙනෙකුටම කිව්වා. පස්සේ තමයි මම ප්‍රින්ට්  කරන්න තීරණය කළේ. 

ලංකාව තුළත් ඉංග්‍රීසි පාඨකයින් පිරිසක් ඉන්නවා. සිංහල ලේඛකයන් අති බහුතරයක් ඔවුන්ගෙන් දුරස්. නමුත් ඔබට අවස්ථාවක් උදාවෙලා තියෙනවා ඔවුන්ගේ ඇසුර ලබන්න?

ලංකාවේ ඉංග්‍රීසි පාඨකයින් පිරිසක් ඉන්නවා, නමුත් ඔවුන් මේ පොත් කියවන්න හුරු වෙලා නැහැ. පොත් ප්‍රදර්ශනේදි වුනත් බලන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියවන හොඳ පාඨක පිරිසක් ඉන්නවා. නමුත් සිංහල පොත් ඉංග්‍රීසියට දාපුවා කියවන පිරිස තමයි නැත්තේ. ඔවුන් හොයන්නේ බටහිර ප්‍රසිද්ධ ලේඛකයන්ගේ පොත්. ඔවුන්ට සිංහල සාහිත්‍ය පිළිබඳ කිසිම විශ්වාසයක් නැහැ. 

අනික් පැත්තෙන් ඉංග්‍රීසියෙන් කියවන අයට සිංහල සාහිත්‍ය ගැන ගෞරවනීය හැඟීමක් නැහැ. සමහර වෙලාවට සම්මාන උළෙලවල් වලදී තේරෙන පොත් ගැන ඔවුන්ට විශ්වාසයක් නැතුව ඇති. 

මොකද අද සම්මාන දෙන පොත්වලත්  ප්‍රශ්නයක් තියෙනවනේ. සමහර ඒවා හෑලි. ඉතින් ඒක අරන් බැලුවට පස්සේ අනික් පොත් ගැනත්  විශ්වාසයක් නැතුව යනවා. මොකද සම්මානය දීලා තියෙන පොතේ තත්ත්වය ඒක නම් අනිත් පොත් ගැන හොඳ හැඟීමක් නැතිවෙන එක පුදුමයක් නෙවෙයි. එහෙම වුනාම හිතෙන්නේ සිංහල සාහිත්‍ය මහ වැඩවසම්වාදී  සාහිත්‍යයක් කියල. විශ්වාසයක් නැහැ. තාමත් බලන්න ලිංගිකත්වය ගැන ලිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක්. විවෘතව සමාජ දේශපාලන ගැන කතාකොළොත් ඒක ප්‍රශ්නයක්. වට කඩොලු දාගන්නේ නැතුව නිදහසේ ලිව්වොත් ඒක ප්‍රශ්නයක්. මෙහෙ නවකාතා කියලා කෝවක් හදාගෙන ඉන්නේ. ඉතින් සම්ප්‍රදායානුකූලව එකෙන් පිටට යන්නෙම නැහැ. පොඩි පොඩි වෙනස්කම් දැකගන්න පුළුවන්. විනිශ්චය මණ්ඩලත්  මහ යල්පැනගියපුවා. එවන් පොතක්  ද්වි භාෂික උගතෙක් කියෙව්වාට පස්සේ සමස්ත සාහිත්‍ය ගැනම හිතන්නේ එහෙම හැඟීමක්. මෙතැනදී මට වගේම මංජුල වෙඩිවර්ධනටත් අසාධාරණයන් වුණා. 

අනික හොඳ විශ්ව සාහිත්‍ය කෘතියක් සිංහලයට පරිවර්තනය වුණාම අපේ සාහිත්‍ය කෘතියක් එක්ක සංසන්දනය කරලා බලන්න. මොනවගේ තැනකද අපි ඉන්නේ කියලා. 

දැනට වසර කිහිපයකට කලින් පොත් ප්‍රකාශයන්ගේ සංගමයෙන් ව්‍යාපෘතියක් හඳුන්වල තිබුණා සම්මාන ගන්න පොත් ඉංග්‍රීසියට දාන්න. නමුත් ඉංග්‍රීසි පොත් 1000ක් වත් අලෙවි වෙන්නේ නැති මට්ටමක් තිබුණේ. මම හිතන්නේ දැන් ඒ ව්‍යාපෘතියත් නැහැ. මොකද ඒක ලේසි වැඩකුත් නෙවෙයි. ඒ නිසා දැන් ස්වර්ණ පුස්තක පොතක්වත් ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ නැහැ. අලෙවියක් නැති නිසා. 

ලෝක සාහිත්‍යයෙන් අපි උගත් දෙයක් නැද්ද? 

අපිට ලෝක සාහිත්‍ය කොපි කරන්නත් බැහැ. මේ හැම දෙයක් ඇතුළෙම අනන්‍යතාව රැකගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි අපට නැත්තේ. මටත් මුල් කාලේ චෝදනාවක්  ආවා සයිමන් නවගත්තේගම කොපි කරනවා කියලා. මම එහෙම දෙයක් කරන්නේ නැහැ. මම මුලින් සයිමන් නවගත්තේගම හොඳට අධ්‍යයනය කළා. මම ඔහුගෙන් ගත්තේ ජනශ්‍රැති භාවිතා කරන්නේ කොහොමද කියන එක. මොකද ඔහු ඉතාම හොඳට ජනශ්‍රැතිය භාවිතා කළ කෙනෙක්. ජනශ්‍රැති සහ ජන විඥානය  ගැන ලංකාවේ ලේඛකයන් අතරින් බැරෑරුම් විදිහටම පරිශීලනය කළ කෙනෙක් ඔහු. ඔහුගෙන් ගත්ත එකම ආභාෂය ඒක. නමුත් ඒ චෝදනාවන්ට මම නිවැරදි උත්තර මගේ ලේඛනය  තුළින්ම දීලා තියෙනවා. ඒ නිසා දැන් මට ඒ චෝදනාව එල්ල වෙන්නේ නැහැ. 

ඇත්තටම එහෙම අනන්‍යතාවක් හදා ගන්න ඕනේ. පවතින්න පුළුවන් එවිටයි. 

අනික මගේ මේ පොත් මුද්‍රණය කරන්න මම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකාශකයෙක් හෙව්වා. මේ දුපතේ පොත් ප්‍රකාශකයෝ කොච්චර නම් ප්‍රමාණයක් ඉන්නවද? මොකද ජාත්‍යන්තරයට පොත අරන් යන්න එයත් වැදගත්. නමුත් අපිට එහෙම තත්ත්වයක්වත් නැහැ. මේ දුපතෙන් එහාට ලෝකයක්  අපිට නැහැ. එකයි තත්ත්වය. අන්තිමට මම ම පොත් මුද්‍රණය කළා. 

අපේ නළු නිලියෝ වෙනත් වෘත්තිකයෝ, විද්‍යාඥයෝ අපේ රටින් එහාට ගිහින් තියෙනවා. ලෝකය දන්නා අය ඉන්නවා. නමුත් අපේ ලේඛකයාට එම තත්ත්වටය යන්න බැරිවෙලා තියෙනවා. රටින් පිට ඉන්න ප්‍රකාශයෝ සිංහල සාහිත්‍යයක් තියෙනවා කියල දන්නේ නැහැ. මම සෑහෙන්න  උත්සහ කළා ජාත්‍යන්තර ප්‍රකාශකයෙක්  හොයා ගන්න . නමුත් ඔවුන්ට සිංහල සාහිත්‍ය ගැන විශ්වාසයක් නැහැ. 

අන්තිමට අපේ අය මේක ඇතුළෙම කරනම් ගගහ ඉන්නවා. හරියට ළිං ගෙම්බෝ වගේ. ලෝකය ගැන අපි  දැනගත්තට අපිව ලෝකය දන්නේ නැහැ. 

සටහන - ආශිකා බ්‍රාහ්මණ 
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න