මේ වෙද්දි නූතන කවිය තාරකාකරණයට බඳුන් වෙලා- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

මේ වෙද්දි නූතන කවිය තාරකාකරණයට බඳුන් වෙලා- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

17 September 2019 10:38 am

මේ ඊයෙ පෙරේදා දවසක අපි සෙට් වුණ සැඳෑවක මාතෘකාව වුණේ 'ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න'ගෙ අලුතින් එන්න යන පොත. ඒකෙ නම 'කොළඹට කියන්නෙ බොරැල්ලට'. ඊට පස්සෙ කසුන් සමරතුංග සහ සමීර පෙරේරා කියන හදවත් දෙකෙන් අරක්කු සුවඳැති අවංක යෝජනාවක් ආවා. 'මචං, අපි මිනිහට පුළුවන් විදියට සපෝට් එකක් දෙමු. රහට ලියන එකෙක්නෙ. දුලා උඹත් ඉන්ටවීව් එකක් කරපන් පුළුවන් නම් කියලා. එක පැත්තකින් මං ඒ යෝජනාව ඉතා ම කැමැත්තෙන් වැළඳගන්නවත් එක්ක ම, තව ප්‍රායෝගික ප්‍රශ්නයක් මගේ ළඟ හරහට හිටගත්තා. ඉන්ටර්වීව් කළාට දැන් මං පළ කරන්නෙ කොහෙද?

පත්තරවලින් මීට කලිනුත් මං කරපු ඉන්ටවීව් කිහිපයක් ප්‍රතික්ෂේප වීමත් එක්ක මං තීරණය කළා වෙබ් එකක මේක පළ කරන්න. කසුන් comrade එකට කරන නිසාත්, Roar එකේ ඉන්ටර්වීව් ආර්ටිකල්වලට දැන් ඉඩක් නැති නිසාත්, පස්සෙ මං රුවන් නෙලූට මැසේජ් එකක් දැම්මා. ඉතින් මේ කතා බහ අකුරු කරන්න lankanewsweb එකේ ඉඩක් ලැබුණා.

රහ ම කතාවත් කියලා ම අපි කරපු කතා බහට එන්නම්. මේ ඉන්ටර්වීව් එක කළෙත් අපි කිහිපදෙනෙක් හීනියට සෙට් වුණ වෙලාවක. (එදා හිටිය කිහිපදෙනා සහ හිටිය තැන විවිධ හේතු මත නොකියා ඉන්නම්.) ඇමතුමක් ඔස්සේ තමයි කන්තලේ ඉඳන් ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න ව අපි ළඟට එක්කරගෙන ආවේ. විනාඩි 35ක සංවාදය අකුරු කරද්දි ඇතැම් ප්‍රශ්න අතහරින්න වුණා වචනවලට තියෙන සීමා මායිම් හන්දා. ඉතින් 2010 දී 'සඳක් නැතිවෙන්න ඉඩ ඇත' කියපු ලක්ෂාන් ව මට හමුවෙන්නෙ 2016 දී 'වැඩියෙන් ම වැරදුණේ කවියන්ට' පොතේ දෙවන මුද්‍රණය ඇතුළෙ දී. ශාරිරික ව තාමත් ඇස් දෙකට නොදැක්කට මොකද මිනිහගෙ කවිවලින් මම මිනිහගෙ හැඩේ මවා ගත්තා. මොකද, ඒ මනුස්සකමේ හැඩයෙන් ඔහු ව හඳුනාගැනීමට පහසු යි! එහෙනම් දැන් අපි, අපේ සංවාදයට පිවිසෙමු.

--ඇත්තට ම, 'වැඩියෙන් ම වැරදුණේ කවියන්ට' ද?

මට ඔය මාතෘකාවට අදාළ කවිය ලියන්න පාදක වුණ හේතුව යි, පොතට ඔය නම දාන්න තීරණය කරපු හේතුව යි ⁣දෙකක්! ඒ මොහොත වන විට විවිධ කලා භාවිතාවන් සහ කලා ශානරයන් මේ වාණිජ, ධනේෂ්වර උගුලට හසුවෙමින් තිබුණා. නමුත්, කවිය ඒ උගුලට හසු වුණේ නෑ ඒ මොහොත වෙද්දි. කවිය එහෙම ශුද්ධ තැනක ස්ථානගත වෙලා තිබුණා කියලයි මගේ විශ්වාසය. ඒකම තමයි එක අතකට කවියන්ට කෙළවෙන්න හේතුවත්. ඒක එහෙම නොවුණා නම් සමහර විට කවියන්ටත් මේකෙ ඇතුළෙ අනික් කලා මාධ්‍යයන් වගේ ම රජ වෙන්න තිබුණා. ඒකෙන් මං අදහස් කරන්නෙ 'එහෙම වැරදෙන එක හොඳයි' කියලයි. ඒක තමා මං ඒ පොතට; 'වැඩියෙන් ම වැරදුණේ කවියන්ට' කියලා නම තබන්න හේතුව සරලවම කිව්වොත්.

--මේ වෙද්දි මුද්‍රණය වෙන ඇතැම් කවි පොත්වල අපි දැකලා තියෙනවා හිට් වෙන්න කවිය ඇතුළට 'කුණුහරුප' බලෙන් ඔබ්බවපු ගතියක්. කවිය විසින් අතිශයින් ම අපේක්ෂා කරන්නේ නම් පමණක් නෙවෙයි ද එහෙම වචන අපි නිර්මාණයකට යොදාගන්න ඕනි?

ඉතා ම හොඳ ප්‍රශ්නයක්! ඔබ කියන විදියට ඇත්තට ම යම්කිසි කවියකට නිශ්චිත අර්ථය ගන්න කුණුහරුපයක් භාවිතා කළ යුතු ම නම්, කුණුහරුපයක් භාවිත කරන එකේ කිසිසේත් ම වරදක් මම දකින්නෙ නෑ. හැබැයි, ඒ ඇත්තට ම ඕනි නම් විතරයි. එතකොට, සමහර විට ඒක තමා කවියේ අලංකාරය වෙන්නෙත්. නමුත් අපි හරියට අවබෝධ කරගන්න ඕනි ඒ කුණුහරුපය ම එතනට ඕනි ද? ඒක වෙන විදියකටත් කියන්න පුළුවන් ද කියන දේ. මේ වෙද්දි නූතන කවිය 'තාරකාකරණය'ට බඳුන් වෙමින් තිබෙනවා. 

--සයිබර් අවකාශයේ විවිධ අපේක්ෂාවන් වෙනුවෙන් කවිය භාවිත වෙද්දි 'කවිය' මියැදෙනවා කියලා හිතෙනවද?

මට හිතෙන්නෙ නම් මෙහෙමයි. සයිබර් අවකාශයේ හෝ කුමන අවකාශයක ලියන පදවලින් එහෙම කවිය විනාශ වෙන්නෙ නම් නැහැ. නමුත් ප්‍රශ්නය තමයි; ඉතාම දක්ෂ, ඉතාම නිර්මාණශීලි විභවයන් සහිත පිරිසක් විනාශ වෙමින් යනවා මේ ක්‍රියාවලිය තුළ දී. අන්න ඒක තමයි වේදනාව. මොකද, එ් අය හිතුවට ඒ අය එක්කෙනෙක් විතරයි කියලා, මේ සමාජයට යම් බලපෑමක් කරන්න පුළුවන් පිරිස් තමයි එහෙම විනාශ වෙමින් යන්නෙ. අන්න එතනයි අර්බුදය තියෙන්නෙ මං දකින විදිහට.

--කවියට එදා ඉඳන් අද වෙනකං විවිධ නිර්වචන පවතිනවානෙ. ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නට අනුව 'කවිය' කියන්නෙ මොකද්ද?

පරාක්‍රම කොඩිතුවක්කු, ලාල් හෑගොඩගෙ කවි පොතක පසුවදනෙ මෙන්න මෙහෙම ලියලා තියෙනවා; "කවියට රෝස මල විය යුතු ය. එහි හංස ගීතය විය යුතු ය. ඒ වගේ ම, හදවත හපා කන නර රකුසන්ගේ කන් අඩි පුපුරු ගසන මේ ගිගුම ද එහි තිබිය යුතු ය." කියලා. අන්න ඒ නිර්වචනය තමයි මට පොදුවේ කවිය සම්බන්ධ ව තියෙන්නෙ.

--කොළඹ BMICH එකේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන හැම වසරක ම සැප්තැම්බරයේ පොත් හෝ ගාලා මුද්‍රණය වෙනවනෙ. 'කොළඹට කියන්නෙ බොරැල්ලට' කියලා එන්නෙත් ඒ පැත්තට ද?

'වැඩියෙන් ම වැරදුණේ කවියන්ට' කියන මගේ දෙවන පොත පළවෙලා දැනට අවුරුදු හතරක් විතර වෙනවා. මට කොහෙත්ම අදහසක් තිබ්බෙ නෑ මේ මොහොතේ ම මේ පොතට එන්න. මීට කලින් මේ වැඩේ කරන්න වුවමනාවක් තිබුණත් මම සිංහල ටියුෂන් ගුරුවරයෙක් නිසා ඒ වැඩකටයුතු එක්ක මට ඇත්තට ම මේක මීට කලින් කරගන්න වෙලාව පිළිබඳ ගැටලුවක් තිබුණා. ඒ වැඩ එක්ක ඔය පොතේ මූලික වැඩ කටයුතු ටිකක් හිරවුණා. ඊට පස්සෙ මම සායාට (අසංක සායක්කාරට) කතා කරපු වෙලාවක තමා අපි තීරණය කළේ මේ මාසේ පොත කරමු කියලා. ඉතින්, 'කොළඹට කියන්නෙ බොරැල්ලට' පොත අහස ප්‍රකාශනයක් විදියට මේ මාසේ (සැප්තැම්බර්) 19 වෙනිදා හවස 03.30ට මහවැලි කේන්ද්‍රයේ දී ජනගත කෙරෙනවා.

--නිර්මාණ බිහිවීමේ වේගයට සාපේක්ෂ ව ලංකාවේ 'විචාර කලාවේ' අඩුපාඩුවක් තියෙනවා කියලා සමාජයේ මතයක් පවතිනවනෙ. ඒ ගැන මොකද හිතන්නෙ?

ලංකාව කියන භූගෝලීය වපසරිය එක්ක බැලුවා ම මට නම් පෞද්ගලික ව එහෙම විචාර කලාවේ පරිහානියක් පේන්නෙ නෑ. ඔය කතාව දැනට අවුරුදු පහකට හයකට උඩ දී නම් වලංගු යි. අවුල වෙලා තියෙන්නෙ ඕකත් මිනිස්සු අතර දැන් සාම්ප්‍රදායික මතයක් විදියට මුල් ඇදගෙන. නැතුව, විචාරය පිළිබඳ ඒ තරම් අසුබවාදී අදහසක් මගේ තුළ නෑ, අවංකව ම. උදාහරණයක් විදියට ලියනගේ අමරකීර්ති, එරික් ඉලියප්ආරච්චි, හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු ව තව අලුත් පිරිසකුත් යම් වැඩ කොටසක් කරමින් ඉන්නවා. මං කියන්නෙ 100%ක් ඒ වැඩේ ඉතාම සක්‍රීය ව සිද්ධ වෙනවා කියන එක නෙවෙයි. නමුත්, ඉස්සරට වඩා කවිය වගේ ම විචාර කලාව තුළත් යම් පිබිදීමක් තියෙනවා, මගේ නිරීක්ෂණයන්ට අනුව.

--කවිය තුළ මේ වෙද්දි යම් පිබිදීමක් ඇති වෙලා තියෙනවා කියන කාරණාව මතු වුණ නිසා මට මේ දේත් අහන්න හිතුණා. කවි පොත් ජනගත කෙරුණාට, ඒ පොත් සැලකිය යුතු මට්ටමකික් සංවාදයය බඳුන් වෙනවා ද?

ඒක මෙහෙමයි. සංවාදයක් සිදුනොවෙනවා නෙවෙයි. සංවාදයක් සිදුවෙනවා වුණත්, ඒ සංවාදය සිදුවෙන්නෙ සීමිත කණ්ඩායමක්, සීමිත පිරිසක් අතර වීම යි ගැටලුව. මේ වෙද්දි ඔය කියන සංවාදය සිද්ධ වෙන්නෙ කොළඹ කේන්ද්‍රීය ව සහ සීමිත වූ නගර කීපයක පමණ යි. අන්න ඒ නිසා ඒ සංවාදය ප්‍රමාණවත් නෑ. ඒකත් ඉතින් අධ්‍යාපන ක්‍රමය, ප්‍රාග්ධනය, මාධ්‍ය ක්‍රියාකාරිත්වය වගේ ගැටලු ගොඩක ප්‍රතිඵලයක් තමයි. ඒ නිසා සංවාදයක් තිබුණට එම සංවාදය මහපො⁣ළොවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නෙ හරි ම අඩුවෙන්. ඒකයි මූලික ප්‍රශ්නෙ.

--ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න නමැති සිංහල ගුරුවරයාගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමතියි. ලංකාවේ දැනට පවතින සිංහල විෂයය නිර්දේශය ගැන මොකද හිතන්නෙ?

ඔක්කෝම ටික කඩන් වැටිලා තියෙද්දි ලංකාවේ අධ්‍යාපනය විතරක් පාරිශුද්ධ තැනක තියෙයි කියලා අපේක්ෂා කරන්න බෑනෙ. ඒ සමස්ත කඩාවැටීම තමයි මේ හැම අංශයකට ම බලපාලා තියෙන්නෙ. මතකනෙ අර පහුගිය කාලෙ උසස් පෙළ බයෝ ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ව මතු වුණ ගැටලුව. ඊට අමතර ව පෙළ පොත් සම්බන්ධ ගැටලුව. විෂයය නිර්දේශයට ඇතුළත් කරලා තියෙන නිර්මාණ පිළිබඳ ගැටලුව. උදාහරණයක් ගත්තොත් එහෙම; උසස් පෙළ ළමයින්ට සිංහලනෙ මම උගන්වන්නෙ. මේකෙ තියෙනවා සද්ධර්මරත්නාවලිය යි, සද්ධර්මාලංකාරය යි, ජාතක පොතයි පූජාවලිය යි ඔක්කොම. කලින් තිබුණෙ ඔය කිව්ව මුල් තුන විතරයි. දැන් ඒකට පූජාවලියත් රිංගවලා. ළමයින්ට සිංහල විෂයය ආස කරවන්න එපැ යි. දැන් තියෙන තත්ත්වය අපි තේරුම් ගන්න එපැ යි. 

මේ මොහොතෙ ළමයින්ගෙ වින්දන මට්ටම යි, පූජාවලිය යි කොයිතරම් නම් දුර ද? මේ ඔක්කොම ඔබ්බවලා ළමයගේ මුළු අධ්‍යයන කාලය ම නීරස කීරිමක් නෙවෙයි ද මේ කරන්නෙ? මහා අපරාධයක් ඒක. නාට්‍යවලට තියෙන්නෙ රත්නාවලිය. රත්නාවලිය කියන්නෙ මට නම් නාට්‍යයක් නෙමෙයි. සිංහලෙන් පෙන්නුවට ඕක සංස්කෘත නාට්‍යයක්නෙ. කොයි කාලෙ නාට්‍යයක් ද ඔය. මේ වෙද්දි රාජිතලා, කපිල කුමාර කාලිංගලා, ජයලත් මනෝරත්නලා ඇතුළු අලුත් නාට්‍යවේදීන් ඉන්නවානෙ. හැමදාම සරත්චන්ද්‍ර, සරත්චන්ද්‍ර. සුගතපාල ද සිල්වා අමතක කරලා ලංකාවේ ළමයින්ට නාට්‍ය උගන්වන්න පුළුවන් ද මං අහන්නෙ. 

--'කොළඹට කියන්නෙ බොරැල්ලට' කියලා මේ අලුත් පොතට නම දැම්මෙ ඇයි කියලම අපි අදට නවතිමු. යළිත් හැකි හැම විට ම හමුවෙමු.

විවිධ පැතිවලින් කොළඹට ආපු අය ඉන්නවනෙ විවිධ සිහින දැක දැක. සිංදු කියන්න, නටන්න, රඟපාන්න විතරක් නෙමෙයි දේශපාලනය කරන්න කොළඹට කියලා ආවාට එයාලා නතර වුණේ බොරැල්ලෙ. මම මේ කතා කරන්නෙ ශාරීරික මිය යෑම නෙවෙයි. මං කියන්නෙ ඒ ආපු ගොඩක් අය කොළඹ ඇතුළු වුණේ නෑ. ඒ අය සංස්කෘතික හෝ දේශපාලනික වශයෙන් කොළඹ ඇවිත් නෑ. 'අපි ඒ තත්ත්වය වෙනස් කරමු' කියන යෝජනාව කරන්න තමයි මං මේ නම යොදාගන්න හිතුවේ. 

සංවාද සටහන:
දුලාජ් මධුශංක දේවපුර