පාර අයිනෙ බුදු පිළිමයක් තියෙනවා! කාබන් දූවිලි ඒ පිළිමයෙ වදිනවා!! කළු කඳුළු ගලනවා!!! - තුසිත පතිරණ

පාර අයිනෙ බුදු පිළිමයක් තියෙනවා! කාබන් දූවිලි ඒ පිළිමයෙ වදිනවා!! කළු කඳුළු ගලනවා!!! - තුසිත පතිරණ

14 September 2019 10:09 am

තුසිත පතිරණ ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය 'කළු කඳුළ' නමින් සහෘදගත වන්නට නියමිත ය. මතු දැක්වෙන්නේ අප එය නිමිති කරගෙන ඔහු සමඟ කළ සංවාදයකි.

#. කවිය ළඟට එන්න කලින් මම කැමතියි තුසිත පතිරණ කියන දේශපාලන සත්ත්වයා ගැන යමක් දැනගන්න?

අපි හැමෝම මොනම හරි ක්‍රමයකින් දේශපාලනික සත්ත්වයන්. ඒ දේශපාලනික බැඳියාව මේ ලෝකේ කිසිම මිනිසෙකුට වෙන් කරන්න බැරි දෙයක්. මට විශේෂයක් වෙන්නේ සක්‍රීය මට්ටමේ දේශපාලන දහරාවකට සම්බන්ධව කටයුතු කිරීම විතරයි. වාම දේශපාලනික සන්දර්භයක් මත ඒ තුළින් සමාජවාදය සදහා වන ගමනක් ලංකාව තුළ නිර්මාණය කිරීමේ සිහිනයක තවමත් මේ සත්ත්වයා ඉන්නවා. හැමදාමත් විශ්වාස කරන එකම සත්‍යය තමයි මේ මජර සමාජ රටාවට විසඳුම ලැබෙන්නේ සමාජවාදය තුළින් පමණක්ම කියන කාරණාව. එහෙත් මේ රටේ වාම ව්‍යාපාරය ඒ සදහා කොතරම් තම දායකත්වය දක්වනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් කොහොමද ඔය කියන දේශපාලන පක්ෂවල වැඩ නොකර ඒක කරන්නේ කියල. අනෙක් පැත්තට අහන්න තියෙන්නේ ඒ දේශපාලන පක්ෂ මේ වන විට කොතරම් දුරට සමාජවාදය කියන කරුණ සමාජගත කිරීමට වැඩපිළිවෙලවල් සකසා තිබෙනවාද කියන කාරණාව. ඉතිං අපි ධනේෂ්වර පරිසරයක එක එක සුකුරුත්තන් කතා කිය කියා ලිය ලියා හිටියත්, ඒවායේ වහලුන් වුවත් කවදාක හෝ මේකෙන් මිදීමේ පොටක් සොයනවා. එතැන ඉතිං මැරෙනකන් ඉදීවි!

#. දේශපාලන ලෝකෙ අහිමීවීම්, ඛණ්ඩනයන්, මතවාදී ගැටුම්, අතින් පයින් වුණ රණ්ඩු මේ හැමදේකට ම පස්සෙ ආපහු හැරිලා බලද්දී දැන් මොකද හිතෙන්නේ?

ලංකාවේ මෙන්ම ලෝක දේශපාලනික වාමවාදී ව්‍යාපාරයන් ගත්තත් ඉතිහාසයේ සිට මේ මේ මතවාදී ගැටුම් හා ඛණ්ඩනයන් සිදුවුනා. හැබැයි ඒ හැම තැනකදීම ඊට වඩා බලවත් දෙයක් නිර්මාණය කර ගැනීමට ඒ ඒ සංවිදාන හා ව්‍යාපාර සමත් වුණා. බොහෝ තැන්වල ඒවායින් ගිහිලී ගිහින් ඔවුන් ධනවාදී ගොහොරුවේම නිධන් ගත වුනා. ලංකාවේ මේ තත්ත්වය සිදු වුනා හා සිදුවෙමින් පවතිනවා. එහෙත් කවර ගැටුමක් පැවැතියත් සමාජය තුළ මතුවන පොදු සතුරාට එරෙහිව ඒකාත්මික නැගී සිටිමක් අවශ්‍යයි. එතැනට පාර කැපීමට මේ සමාජවාදී ව්‍යාපාර කැපකිරීම් කළ යුතුමයි. ගෝත්‍රික හුදු සංස්කෘතික සාධකයන්ගෙන් මිදීම එයට පදනම සකසනවා.. පක්ෂයක වැඩ කරපු එකෙක් දැක්කම කෙළ ගැසීම්, කඩු කිනිසි එසවීම් හා ප්‍රහාරයන් දියත් කිරීමෙන් එවැනි තැනක් නිර්මාණය කළ නොහැකියි. වමේ සමගිය මේ ජරා සමාජයෙන් මිදීම සදහා පාරක් හදාවි! එතැනට එන තෙක් මේ කවර හෝ ව්‍යාපාරයක් නියෝජනය කරන්නේ මේ මජර ක්‍රමයම හැර අන් යමක් නොවේ.

#. කවි ලියන්න ගත්තෙ ඇරියස් එකක් කවර් කරගන්නද?

අපොයි නැහැ! කවදාවත් සෞන්දර්යාත්මක දෙයකින් ඇරියස් කවර් කරන්න බැහැ. කවියකින් කෙනෙකුගේ ඥානය හෝ සතුට මෙන්ම සෞන්දර්යාත්මක නැමියාව හදනවා මිස එයින් කවර් කළ හැති ඇරියස් එකක් නෑ.

#. උණු කඳුළු, සීතල කඳුළු ගැන අපි අහල තියෙනවා. කඳුළු ලුණු රස වග දැනිල තියෙනවා. මොකද්ද මේ 'කළු කඳුළ'?

කඳුළු කළු වෙන්නේ ඇයි? ඒ කදුළට ඒ වර්ණය ලැබෙන්නේ පරිසරය විසින් කදුළ මත වන කළු වර්ණකයන් ගැන්වීම මගින්. කළු කදුළු නමින් පොතේ කවියක් එනවා. පාර අයිනේ ඉන්න බුදු පිළිමයකින් කදුළු වැගිරීමක් ගැන. වැල්ලවත්තේ පාර අයිනේ තිබෙන හිටි පිළිමයක් පාදක කරගෙන තමයි මේ කවි සිතුවිල්ල ගොඩ නගන්නේ. පාරේ ජනතාව රථ වාහන ගම්න කරනවා කාබන් දුම් වළාවන් නිකුත් කරගෙන. මේ කාබන් දූවිලි අර බුදු පිළිමයේ වදිනවා.  ඒ බුදු පිළිමයට පණ එනවා. ඇවිත් ආනන්ද හිමිට කියනවා මට මෙතැන ඉදල දැන් ඇති වෙලා මෙහෙම හිතල බුදු හාමුදුරුවෝ කියනවා මේ කැටය පිරිල ඉවර නම් ඒ කැටය පන්සලේ හාමුදුරුවන්ට දීල අපි පාරලෙයිය වනයට වඩිමු කියල. මේ කවිය තුළ වන දේ පාඨකයා විදින් කිරා මැන බැලිය යුතුයි. ඉතිං සමාජයේ බොහෝ තැන්වල මේ කළු කදුළ තියෙනවා. අපි උත්සුක විය යුත්තේ කවරක් උදෙසාද යන්න සම්බන්ධයෙන් ඉගියක් මෙමගින් පවසනවා කියල මට හිතෙනවා.

#. පොත එළිදක්වන වැඩේ වෙන්න නියමිත කොහොමද?

කලින් අදහස් කරගෙන හිටියේ මේක එච්චර ප්‍රසිද්ධ නොකර හෙමින් මගේ විශ්ව විද්‍යාලයේ යාලුවන්ගේ එකතුවක් තියෙනවා එතැනට පොත දාලා වැඩෙන් ෂේප් වෙන්න. ඒත් කොළඹ ඉන්න මගේ හිතවත්ම යාලුවන් එක්ක ඒ සැඟවිල්ලට ඉඩක් ලැබුනේ නෑ. ඉතිං සජිත් සාරංග, අසංක සායක්කාර, විමල් කැටිපෙආරච්චි වගේ මිතුරන් මේ වැඩේට මූලික වෙලා කොළඹ සුදර්ශියේ නුග ගහ යට පොත එළිදැක්ම සිදු කරන තැනට වැඩේ හැදුනා. ඉතිං සැප්තැම්බර් මස 18 වන දින කොළඹ 07, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරි පිට ඇති සුදර්ශි ආයතනයේදී පොත එළි දක්වීම සිදුවෙනවා. එතැනදී නවමු සංවාද සභාවක් අපි ගොඩ නගල තියෙනවා. සදුන් ප්‍රියංකර විතානගේ ප්‍රධාන දේශනය පවත්වන අතර තුරු කළු කදුළ කවි පොතේ කව10ක් තෝරාගත් විද්වත් පිරිසක් මගින් විචාරයට ලක් වෙනවා. ඉතිං මේ අවස්ථාවට සම්බන්ධ වන ලෙස ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිනවා හැමදෙනාගෙන්ම.

#. කවි ලියල වෙනස් කරන්න පුළුවන් දෙයක් තියෙනවද?

අපි හිතනවා බොහෝ දේවල් වෙනස් නොකළ හැකි සමාජයේ මේ කවියකින් මොන මගුලක් කරන්න පුළුවන්ද කියල. ඒත් රසඥතාවයක් සහිත කියවන්නෙකුට කවියක් රස විදීම තුළින් හෝ එමගින් වන දෘෂ්ටිමය මග පෙන්වීමක් සිදු කරනවා. ඉතිං ඒ රහ දන්න කෙනෙකුට කවියකුත් ඇති සමාජයක් වෙනස් කිරීම දක්වා යම් සිතුවිල්ලක් හදාගන්න.

#. ඔබ කැමති ඕනෙම විදියකට අපේ සංවාදය ඉවර කරන්න මං ඔබට අවස්ථාවක් දෙනවා?

ඔව්! ගොඩක් දේවල් සම්බන්ධයෙන් අලුත් කියවීමක් සිදු කර ගනිමු. ඒ කියවීම මගින් පමණයි සමාජයට යම් නැවුම් දෙයක් දායාද කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසාම ඒ සදහා ලියන්නන්, කවි පබදින්නන්, ගීත නිර්මාණය කරන්නන්, පත පොත ලියන්නන් වඩා වැඩියෙන් බිහිව මේ කියන පරිවර්තනයට දායක වෙමු.

සංවාදය - කසුන් සමරතුංග