පායිම්පත්වරය මට කාව්‍ය මංගල්‍යයක්! - දමයන්ති ගල්පායගේ

පායිම්පත්වරය මට කාව්‍ය මංගල්‍යයක්! - දමයන්ති ගල්පායගේ

22 August 2019 10:43 am

දමයන්ති ගල්පායගේ රචනා කළ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය 'පායිම්පත්වරය' නමින් සහෘදගත වන්නට නියමිත ය. මතු දැක්වෙන්නේ එය නිමිති කර ගෙන අප ඇය සමඟ කළ කෙටි සංවාදයකි.

#. ඔබ කවිය හඳුන්වන්න කැමති කොහොමද?

මම හිතන්නෙ කවිය නිර්මාණය වෙන්නෙ රසය ආත්මය කොටගෙන.කවිය ඉවසීමෙන් හැදෑරීම කළ යුතුයි.කවිය ගැඹුරු ,සරල කියල බෙදන්න මම කැමති නෑ. ඒවගේම කවිය මෙහෙමයි කියල රාමුවක් දාන්නත් බෑ.කවිය කියන්නෙ රසාලිප්ත හරවත් රිද්මයානුකූලව ගලායන සිතුවිලි වාක්‍යය බවට පත්කිරීමක් වගේම. තමන්ට දැනෙන දේ කුරුටුගා එය හරවත් සේම  රසවත්  කොට නිමැවීමක් .

#. ඇයි ඔබ කවි ලියන්නේ?

මම කවි ,කතා ලියන්නෙ පොඩි කාලෙ ඉඳන් හැබැයි ඒ කවිය හඳුනා ගෙන නෙවෙයි. දැනෙන දේ ලියන්න හුරු වෙලා උන්න. මගේ සතුට ලියන දේ කියවා තෘප්තිමත් වීම. මම මුලින්ම කවි ලියන්නෙ මට. ඉන්පසු එය මුදා හැරීමක් කළා කිව්වොත් හරි.

#. මොකද්ද මේ පායිම්පත්වරය?

පායිම්පත්වරය කියන්නෙ නර්තන කාලාවෙදි නියමිත අභ්‍යාස නිමැවීමෙන් පසු පිරිමි දරුවෙකු වෙස් බඳින්නා සේම ගැහැණු දරුවෙකු ලබන්නෙ පායිම්පත් තැබීමක්.එය මංගල්‍යයක්. මේ මගේ පළමු පොත ඇත්තටම ඒක මට කාව්‍ය මංගල්‍යයක් . මගේ සිහිනයක් .අවුරුදු කිහිපයක වෙහෙස ,කවි අතරෙ පායිම්පත්වරය නමින් පද පෙලකුත් පොතට ඇතුලත්කර තියෙනව.

#. පොත එළිදක්වන වැඩේ වෙන්නෙ කොහොමද?

අගෝස්තු 24,සක්නද සංවත්සරය. එදින උදෑසන 10, වැඩසටහනත් සමග පොත කරලියට එනව  ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ මුලසුන දරන අතර අප ආදරණීය ප්‍රවීනයන් බොහොමයකගෙ හරවත් දෙසුම් ,ගී රසවින්දනයක් ,සාකච්ඡා  ඇතුලත්, දවස පුරා පැවැත්වෙන වැඩසටහනේ පොත එළිදැක්වීම උදෑසන 10, සිදුවෙනව.

#. මොකද්ද මේ සක්නද?

සක්නද , සාහිත්‍යය උදෙසාම වැඩසටහන් කරන කුඩා සංවිධානය ක්, අපි හතරදෙනෙක් මූලියව තවත් සාමාජිකයන් කිහිපදෙනක් සමග  මනුදමින් පිරි පරපුරක් උදෙසා ,සත්සිතින් මැයෙන් සාහිත්‍යය දේශන ගී රසවින්දනාත්මක වැඩසටහන් ,කියවීමේ වැඩසටහන් , දරුවන් සඳහා කතන්දර පොත් සුදු ඇඳුම් බෙදා දීම් සිදුකරමින් වසරක් ගතවුණා.ඉදිරියෙ වෙනස් වූ හරවත් වැඩසටහන් කිහිපයකට සූදානමින් අපි ,සක්නද කන්ඩායම  මෙහිදී කියන්න ඕන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් ඇතුළු ප්‍රවීනයන්  බොහොමයක් අපට ලොකු සවියක් දෙනව දුෂ්කර පලාත්වල වැඩසටහන් සඳහා අප හා සහභාගිවෙමින්.ආදරණීය ගායන ,වාදන ශිල්පීන් පිරිසක් ඉන්නව අපට සම්පතක් ව අපේ වැඩසටහන් සඳහා හිත මිතුරන්ගෙන් ලැබෙන පොඩි උදව්වක් හැර අනුග්‍රහයන් නොමැතිවයි අප අදත්  වැඩසටහන් කරමින් යන්නෙ එය විශේෂයි.

#. කොළඹ කේන්ද්‍රයෙන් පිට ඉඳන් සාහිත්‍ය කටයුතු කරන එක අභියෝගයක්ද?

ඔව් යම් අභියෝගයක් නැතිවම නොවෙයි .ඒත් අපිට ඒ සඳහා විශාල ගැටුළුවක් ඇතිව නැහෑ. මම හිතන්නෙ යහපත් යමක් කරන්න හොඳ විශ්වාසයක් සහ කැපවීම තුල ඕනෑම අභියෝගයකට සාර්තකව මුහුණදෙන්න පුළුවන්.සාහිත්‍යය ඈත ගම් අතරට ගෙනයෑම පහසු නෑ අපේ කන්ඩායම එකමුතුව කැපවීමෙන් ඊට මුහුණ දෙනව සාර්තකව.

#. ඔබ කැමති ඕනෙම විදියකට අපේ සංවාදය අවසන් කරන්න පුළුවන්?

මම ආරාධනා කරනව සෙනෙහසින් අප ආදරණීයන් සැමට අගෝස්තු 24,උදෑසන 10,ට පායිම්පත්වරය ,කරලියට එන මොහොතට එන්න නිල්වලා මිටියාවතට ආදරෙන් කවියකට.

සංවාදය - කසුන් සමරතුංග