සමාජ මාධ්‍ය නොතිබුණා නම් අපිට ඇපත් නෑ - රංජිත් කෝරළේ

සමාජ මාධ්‍ය නොතිබුණා නම් අපිට ඇපත් නෑ - රංජිත් කෝරළේ

20 August 2019 11:50 am

රංජිත් කෝරළේ 'මට අහිමි මං' නමින් සිය නවතම කාව්‍ය සංග්‍රහය සහෘදගත කරන්නට සැරසෙයි. මේ එය නිමිති කර ගෙන අප ඔහු සමඟ කළ කෙටි සංවාදයකි.

#. අපට අපි අහිමි වුණ සමාජයකට 'මට අහිමි මං' නමින් කාව්‍ය සංග්‍රහයක් ප්‍රදානය කරන්න ඔබ සූදානම් වෙනවා. ඇත්තට ම ඔබට ඔබ අහිමි වෙලාද?

නිර්වින්දනයට පත්කරල තියෙන මේ සමාජය ඇතුළේ අපිට අපි අහිමි වෙන්න කලින් තමන්ට තමන් අහිමි වෙනවා කියන්නේ අමුතු යමක් නෙමෙයි .ඇස් කන් පියාගෙන හැල්මේ දුවන අපි තමන්ගෙ අරමුණු වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම ජඩ වැඩක් ,පාහර වැඩක් කරන තත්ත්වයට පත්වෙලා .ඉතින් තව කෙනෙකුගේ සිතුම් පැතුම් වටහා නොගෙන ,හැඟීම් තේරුම් නොගෙන අධිවේගයෙන් පෞද්ගලික ආශාවන් සඵල කරගැනීමට වෙර දරන පුරවැසියන් එක්ක ගනුදෙනු කරද්දි තමන්ට තමනුත් ,අපිට අපිත් අහිමි වෙලා ඉවරයි .මට කැමති විදිහට හැම දෙයක්ම සිදු නොවන සමාජයක් ඇතුළේ මට මං අහිමි නොවී තියේවිද ...?

#. අපේ රටේ මේ මොහොත ගැන මොකද හිතෙන්නේ?

මේ පවතින තත්ත්වය රටට ඉතා තීරණාත්මකයි.සමාජය ගිලී සිටින කුම්භකරණ නින්ද්‍රාවෙන් ඇහැරවාගන්න ඕන වාතාවරණයක් මේ උදාවෙලා තියෙන්නේ .හොඳ මිනිස්සු නිදාගෙන ඉන්නකොට නරක මිනිස්සු කරන්නෙ උන් කැමති විදියට සෙල්ලම් කරන එක.දැන් වෙලා තියෙන්නෙත් ඒක .හොඳ මිනිස්සු නිදාගෙන හිටියොත් අනාගතය පරපුර ශාප කරනවා අනිවාර්යයෙන් ම අපි හැමෝටම කවදහරි .ආත්මාර්ථකාමී නොවී රටේ හෙට දවස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සුජාත තීරණ එක්ක ගනුදෙනු කරන්න ඕන වෙලාවෙක් මේක .

#. සාහිත්‍යය ක්ෂේත්‍රයේ ඔබ මෙතෙක් පැමිණි ගමන ගැන තොරතුරු දැනගන්න සතුටුයි?

මම ගාල්ලේ තවලම කියන අති දුෂ්කර ගමේ ඉඳගෙන කලාවේ යෙදෙන කෙනෙක් .මම ඉගෙනුම ලැබුවේ තවලම විද්‍යාරාජ විදුහලෙන් සහ මාතර රුහුණු සරසවියෙන්.පාසල් කාලේ සිටම මම කවි,කෙටි කතා ලිව්වා .සාහිත්‍ය තරගවලට ඉදිපත්වෙලා ජාතික මට්ටමෙන් ජයග්‍රහණ ලැබුවා.රත්නශ්‍රි විජේසිංහ සහ ධර්මසිරි ගමගේ කියන ගුරුවරු දෙන්නා මට ආලෝකයක් වුණා මේ ගමන එන්න .මගේ පළවෙනි කවි පොත 2003 ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළියට ආවා.ඒක ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ නිර්දේශිත කාව්‍ය කෘතියක් දක්වා ගමන් කළා.මම ගමේ ජීවත්වූ නිසා නිර්මාණ කටයුතු මගහැරුණා.මං රැකියාව ලෙස සංස්කෘතික නිලධාරී තනතුරක වැඩ කරන අතරතුර තමයි නිර්මාණකරණයේ නිරත වෙන්නේ.

#. පසුගිය කාලයේ ඔබ වඩාත් කැපී පෙනෙන්නෙ ගීත රචකයෙක් විදියට. ඒ ගැන යමක් කිව්වොත්?

මගේ ආත්ම ප්‍රකාශනය කවිය .ඒත් මම පසුගිය කාලේ කවියෙන් ගීතයට මාරුවෙලා  ලිව්වා.ගීත ලියන්න පටන් ගත්තා .කවියෙකුට වඩා ගීත රචකයෙකුට මේ ක්‍රමය ඇතුළේ පැවත්මක් තියෙනවා .පසුගිය කාලේ කවි පොත් කරන්න ප්‍රකාශකයො ඉදිරිපත් වුණේ නෑ .කවි පොත් අලෙවි වුණේ නෑ. පත්තරවල පවා කවි පිටු ගැලෙව්වා.ඒත් අන්තර්ජාලය නිසා කවිය තුළ පිබිදීමක් ඇතිවෙලා තියෙනවා .ඉතින් මටත් ඒ තුළින් යම් උත්තේජනයක් ලැබුණා ආපසු කවියට ළං වෙන්න .ගීත රචකයෙක් ලෙස බොහොම සීරුවෙන් පැමිණි ගමන් මගේ ප්‍රතිඵලයක් ලෙස මම පසුගිය වසරේ රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම ගී පද රචකයා ලෙස රාජ්‍ය සම්මානය ගත්තා .සමන් ලෙනින් සොයුරා ගයන ,දර්ශන වික්‍රමතුංග සොයුරා සංගීතවත් කළ "සාමසර කන්ද .."ගීතයට තමයි ඒ සම්මානය ලැබුණේ .මගේ ගීත ගායනා කරමින් අමරසිරි පීරිස් ,ඉන්ද්‍රානි බෝගොඩ ,මොරිස් විජේසිංහ ,සමන් ලෙනින් ,හර්ෂණ දිසානායක ,දුමාල් වර්ණකුලසූරිය වගේ සම්මානනීය ප්‍රවීණයන් සහ නව පරපුරේ විශිෂ්ටයන් මට අත දුන්නා .මම ගීත ලියන්නෙ,කවි ලියන්නෙ මගේ ආත්මතෘප්තිය වෙනුවෙන් .මා ලද කම්පනයන් සමාජය එක්ක බෙදා ගන්න ඕන උනාම මා අතින් කවියක් ,ගීතයක් ලියවෙනවා .අනුභූතීය විසින් ඉල්ලා සිටින ආකෘතිය අනුව ලියවෙන්නේ කවියක්ද ගීතයක්ද යන්න තීරණය වෙනවා.ගීත රචකයෙක් ලෙසත් ඉදිරියට මං ඉඳීවි.මගේ ක්‍රමයට ගීත ලියාවි.සල්ලි බලාගෙන , ජනප්‍රියත්වය සොයාගෙන නිර්මාණ  කරන්න මං යන්නෙ නෑ .අපි කොපමණ හොඳ නිර්මාණ කළත් ඒව සමාජගත කරන්න මාධ්‍ය අනුග්‍රහය ඕන .ඉතින් අපිට ඒ සහය නෑ .මාධ්‍ය අත දෙන්නෙත් සල්ලිවලට හෝ හිතමිතුරුකම්වලට.සමාජ මාධ්‍ය නොතිබුණා නම් අපිට ඇපත් නෑ.

#. අලුත් කවි පොතේ අන්තර්ගතය සහ හැඩය කෙබඳුද?

අලුත් කවි පොත " මට අහිමි මං " එළියට එන්නේ සරසවි ප්‍රකාශන ආයතනයට පින් සිදුවෙන්න.මේ පොතේ තියෙන හැම කවියක්ම ස්වයංව ලියවුණු නිර්මාණ.පසුගිය කාලය තිස්සේ රටේ තොටේ නොයෙක් තැන මං අහපු,දැකපු විවිධ සංසිද්ධීන් මා තුළ දැඩි කම්පනයන් ඇතිකළා.මගේ පපුව පාසාරු කරපු බොහෝ අනුභූතීන් මගේ හෘදභාෂණයෙන් මෝචනය වුණේ කවියක් හෝ ගීතයක් හැටියට .ඉතින් ඒ කවි අතරින් තෝරා ගත් නිර්මාණ හතලිස් පහක් මෙහි අන්තර්ගත කළා.සඳැස්,නිසඳැස්,කෙටි ආකෘති මෙහි දකින්න පුළුවන් .ඉරි ඇඳල ,රවුම් ඇඳල,කොටු ඇඳල කවිය නිශ්චිත තැනකට කොටු කරන්න මං සූදානම් නෑ .මගේ ක්‍රමයට නිර්මාණය කළ කවි එකතුවක් මේක .මේ නිර්මාණ ඇතුළේ ඔබට අයිති එක කවියක් හරි තියේවි.මොකද මේ අනුභූතීන් මග වැටිල තිබිල ඇහිඳගත් ඒවා නිසා .

#. පොත එළිදක්වන වැඩේ වෙන්නෙ කොහොමද?

පොත එළිදක්වන්නෙ අගෝස්තු 22 බ්‍රහස්පතින්දා .සවස 3.00 ට කොළඹ ග්‍රහලෝකාගාරය අසල තියෙන බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දි.එදාට මගේ කවි ගැන කතා කරන්නේ ප්‍රවීණ සාහිත්‍යවේදී අචාර්ය ඩබ්ලියු .ඒ අබේසිංහ මහත්මයා සහ සබරගමුව සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහත්මයා .උත්සවයේ සහෘද ආමන්ත්‍රණය භාර දීල තියෙන්නේ කෝසල පතිරණ සහෝදරයාට .මේ අවස්ථාව වර්ණවත් කිරීම උදෙසා අමරසිරි පීරිස් ,ඉන්ද්‍රානි බෝගොඩ ,සමන් ලෙනින් ,හර්ශන දිසානායක යන කලාකරුවන් මවිසින් රචිත ඔවුන්ගේ ගීත ගායනා කරනවා.ප්‍රවීණ සාහිත්‍යවේදීන් ,කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එදින සහභාගි වේවි.මුහුණ පොත හරහා හඳුනාගත් මිතුරු පිරිවරකුත් එදාට මං වෙනුවෙන් එනවා .ඉතින් මගේ කවි ,ගීත රසවිඳපු හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා 22 එන්න කියල ..."මට අහිමි මං" දොරට වඩින දවසේ ආදරය බෙදාගන්න.

සංවාදය - කසුන් සමරතුංග