මම ලියන්නේ වඩා යහපත් සමාජයක් වෙනුවෙන් දකින හීනයට! - කපිල එම්. ගමගේ

මම ලියන්නේ වඩා යහපත් සමාජයක් වෙනුවෙන් දකින හීනයට! - කපිල එම්. ගමගේ

22 July 2019 11:00 am

'අපරාදෙ, ඒ නොවැම්බර්' ඔබේ නවතම කෙටි කතා සංග්‍රහය. මේ වචන කීපය ඇතුළෙ තියෙන්නෙ ඔබේ පුද්ගලික පශ්චාත්තාපයක්ද, නැත්නම් පරපුරක පොදු මිනිස් පසුතැවීමද?
එක් තීරණාත්මක මොහොතක අපට දැනුන කම්පනයක් තමයි මේ නමින් එන කෙටිකතාවට අනුභූතිය සපයන්නේ. ඒ නිසා මේ වචන තුන ඇතුලේ ඒ කම්පනීය බව ගොනුවෙලා තිබෙන්නට පුලුවන්. එය මගේ පෞද්ගලික කම්පනයක් පසුතැවීමක් පමණක් නෙමේ. එක් පරපුරකට පොදුවුණු කම්පනයක් කියලා මම හිතනවා. මම ලියන්නෙක් ලෙස මා තුල ඇතිවූ කම්පනය කෙටිකතාවක් ඔස්සේ මුදා හැරියත් සමහර අය එය නිහඬව දරා ගන්නට ඇති. තවමත් දරා සිටිනවා වෙන්න ඇති.
 
'මුහුදට මුහුණ ලෑ සොහොනකි' ඔබේ නවතම කාව්‍ය සංග්‍රහය. සොහොනක් ඇතුළෙන් අපි තව දුරටත් මිනිස් හැගීම් පිරුණු සජීවී මිනිසුන් බලාපොරොත්තු විය හැකිද, විය යුතුද?
එක් අතකට ලංකා පොළොව කියන්නේ සොහොනක් බවට පරිවර්ථනය වුණ භූමියක්. ඉතිහාසය පුරා අවස්ථා කිහිපයක එකවර පරපුරු කිහිපයක් ගිනිබත් වුණු, මිහිදන් වුණ භූමියක්. මනුස්සකම් මියගිය භූමියක්. ඔබ කියනවා වගේ අතීතයේ  මනුස්සයින් මිහිදන් වූ සොහොනකින් විතරයි  මනුස්සකම් දකින්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න මරන්න, කපන්න, ගහන්න, ලේ දකින්න මිනිස්සු කොයිතරම් කැමතිද? හැම තැනකම අපි දකින්නේ වෛරය කුළුගන්වන කතා. සිදුවීම්. දර්ශන. මේ මෑත කාලය තුල අපි මිනිස්සු යැයි සිතා සිටි අය කොයි තරම් වේගයෙන් අමනුස්සයන් බවට රූපාන්තරණය වුනාද? 
 
මම විශ්වාස කරණ දේ තමයි සාහිත්‍ය කලාව ඇසුරු කරණ ඒවා නිර්මාණය කරණ මිනිසුන් ලඟ මොන දේ නැතත් තියෙන්න ඕනේ මනුස්ස කම. වපුරන්න ඕනේ මනුස්ස කම. කවියෙන් කෙටිකතාවෙන් නවකතාවෙන් චිත්‍රපටයෙන් මනුස්සකම කතාකරණ අය සැබෑ ජීවිතේ දි තවත් මනුස්සයෙකුට එරෙහිව අවි ඔසවන්නන් උත්කර්ශයට නගන්නට බැහැ. ඒකම පරස්පරයක්. එතකොට ඔවුන්ගේ නිර්මාණ විතරක් නෙමේ ඔවුනුත් බියකරු ව්‍යාජයන් බවට පත් වෙනවා. 
 
සමහරු ලෝකය වෙනස් කරන්න කියා ලියනවා. තව සමහරු පොඩි සිවිල් කෑල්ලක් හදාගන්න ලියනවා. සම්මානවලට ලියනවා. හැගීම් මෝචනයට ලියනවා. ඔහොම අරමුණු ගොඩයි. ඔබ කවි සහ කෙටි කතා ලියන්නෙ ඇයි?
ලෝකය හදන්න ලියනවා කියලා හරිබැරි ගැහිලා සාහිත්‍ය නිර්මාණ කරන්න බෑ. අපේ දෘෂ්ඨිවාදය මානව හිතවාදි නම්, අපේ නිර්මාණ වල එය ප්‍රතිබිම්භනය වෙනවා නම්  එයින් ලෝකයට යම් යහපතක් වේවි. පුද්ගල ජීවිතය වඩාත් යහපත් කරන්න කලාවට හැකි බව මම තවම විශ්වාස කරනවා. අපි ඉදිරිගාමී යහපත් ලොවක් පිළිබඳ සිහිනයක් දකිනවා නම් ඒ සිහිනය කරා ලගාවිය හැක්කේ සාමූහිකව පමණයි. ඒ සාමූහික මිනිස් සමාජය නිර්මාණය කිරීමේ දී කලාවට තීරණාත්මක වැඩ කොටසක් කරන්න පුළුවන්. 
 
කොහොම නමුත් ලියන කියන මනුස්සයෙකුට ඒ හරහා කිසියම් සිවිල් බලයක් හැදෙනවා. ඒ සමාජය තුලින් නිර්මාණ වෙන්නක්. නමුත් එය සමාජයේ විශේෂ ආසන පනවා ගැනීමට හේතුවක් කරගත යුතු නෑ. මං දැකලා තියෙනවා. මේ සිවිල් බලය හරහා දැඩි මමංකාරයක් (Ego) ගොඩ නගාගෙන එය සමාජ අවියක් ලෙස භාවිතා කරන කලාකාරයෝ. විශේෂ අවස්ථාවක තමන්ට පෙරපෙළ අසුනක් නැත්නම් නැගිට යන කලාකාරයෝ මම දැකලා තියෙනවා. එහෙම අයට එහෙම යන්න අරින්න ඕනේ. කලාකරුවා ජීවත් විය යුත්තේ සමාජය එක්ක මිසක සමාජයට ඉහළ මතු මහළක නෙමේ.
 
ආධුනිකයෙකු ට සම්මානයක් ලැබුණාම ඒ දිහා මැදහත්ව බලන්න බැරි කලාකාරයෝ කොයිතරම් ඉන්නවද? තමන්ගේ කුලකයේ  අයෙක් නම් දුර්වල නිර්මාණයකට සම්මානයක් ලැබුණාම ඒක වැරදියි කියන්න කටක් නො අරින සමහරු අලුත් කෙනෙකුට සම්මානයක් ලැබුණාම ආවේශ වෙන හැටි පුදුමයි. සම්මාන කියන්නේ එක දෙයක් පමණයි. ඒක සමස්තය නෙමේ. සම්මාන විනිශ්චය පුද්ගල රසිකත්වය හා බද්ධ කාරණයක්. සාමුහික තීරණයක්. ඒ නිසා සම්මාන බලාගෙන ලියන්න අවශ්‍ය නෑ. සමාජය වෙනුවෙන් ලියුවාම ඇති. සම්මානයක් කියන්නේ හුදු උත්තේජනයක් පමණයි.
 
මම කවදත් සම්මාන වෙනුවෙන් ලියලා නෑ. මම ලියන්නේ මට දැනෙන දේ සහ මම විශ්වාස කරණ දේ. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව මම පෙනී සිටිනවා. ඒ වගේම සම්මානයක් එපා කියලා ප්‍රතික්ෂේප කරන විලාසිතාවෙත් මම නෑ. ලැබුණොත් ගන්නවා. නැතත් ලියනවා. ඒ වෙනුවෙන් මැරෙන්නේ නෑ. ඒ නිසා මම ලියන්නේ වඩා යහපත් සමාජයක් වෙනුවෙන් දකින හීනයට. එය මගේ ජීවිත කාලයේ දී ඉටු නොවේවි. එහෙත් ඒ වෙනුවෙන් පුංචි යමක් හරි කලා කියන සතුට තියේවි.
 
මීට අවුරුදු කීපයකට කලින් ඔබේ 'තෙරියුම් කෝකිලා' කවි පොත නිකුත්වීම නිමිති කරගෙන අපි ඔබත් එක්ක කරපු සංවාදයකදී ඇහුවා ඇතැමුන් දෙමළා වෙනුවෙන් පෙනී සිටීම විලාසිතාවක් පමණක් කරගෙන බව. පසුගිය කාලෙ සිදුවුණ සිදුවීම් එක්ක මානවවාදීයැයි කියපු අය පසු බැහැපු තැන් අපි දැක්කා. දැන් අපි මෙහෙම අහනවා. දෙමළා, මුසල්මානුවා වෙනුවෙන් පමණක් නෙවෙයි මානවයා වෙනුවෙන් පෙනී සිටීම පවා දැන් විලාසිතාවක් පමණද?
තෙරියුම් කෝකිලා ලියුවාම ඇතැමුන් මටත් එහෙම කිව්වා. ඒක විලාසිතාවක් වෙනුවෙන් ලියුව දෙකක් කියලා. මම ඒක ලියුවේ මට දැනුන නිසා. බලහත්කාරයෙන් ලියන්න මට අවශ්‍ය නෑ. මොකද මගේ ළමා කාලයේ ඉඳලාම මම දෙමළ ජනවර්ගයත් එක්ක මුහුවුණ කෙනෙක්. ඒ නිසා ඒ අයට වෙනස් විදියට සලකන්න ඕනේ කියලා මට කවදත් හිතිලා නෑ. මුසල්මානුවාත් එහෙමයි. අපි සියලුම දෙනා මනුස්සයෝ. ජාතිය ආගම කියන කාරණා පෞද්ගලිකයි. පුළුල් පොදු කාරණය තමයි අපි සියල්ලෝම මනුස්සයෝ කියන එක. මම ඉන්නේ එතැන. නමුත් ඔබ කියනවා වගේ අපි පසු ගිය දවස් වල දැක්ක ඛේදනීයම කාරණය තමයි බොහෝ කලාකාරයෝ මානවවාදී නෑ කියන එක. සමහර වෙලාවට මේ අය කළ ප්‍රකාශ ඇතුලේ තිබුණේ මානවවාදය කියන්නේ විලාසිතාවක් වගේ අදහසක්. මානවවාදය වෙනුවෙන් පෙනී සිටින අයට ඒ අය බැන වැදුනේ එහෙම. නමුත් මනුස්සයෙක් කියන්නේ පුළුල් නිවැරදි දැක්මක් ඇති කෙනෙකුට. අම්මා ගැන මවු සෙනෙහස ගැන කඳුළු උනන නිර්මාණ කරමින් අනෙකාගේ අම්මාට කුණුහරුපෙන් බනින කලාකරුවන් මං දකින්නේ දෙබිඩ්ඩන් හැටියට. නිවැරදි මනුස්සකම ඉදිරියේ අනෙක් සමාජ කොන්දේසි ද්වීතියකයි.
 
අර ඉස්සර හිටපු ගුවන් විදුලි සන්නිවේදකයා යටපත් වුණාද ලේඛකයාට?
එහෙම යටපත්වීමක් වෙලා නෑ. නමුත් ඒ වෘත්තිය දැන් මට දුරස්. ලංකාවේ ගුවන් විදුලිය ගැන විතරක් නෙමේ සමස්ත බහුජන මාධ්‍ය ගැනම පෞද්ගලිකව තියෙන්නේ විවේචනයක්. ලංකාවේ විද්‍යුත් මාධ්‍ය මොඩලයන් දෙකම ජනහිතකාමී නෑ. ඒ නිසා මම හිතන්නේ බොහෝ රටවල වගේ ප්‍රජා පාදක විද්‍යුත් මාධ්‍ය මොඩලයක් ඇති විය යුතුයි කියන තැනයි මම ඉන්නේ. 
 
නමුත් දැන් මට තියෙන නිදහස් අවකාශය වෙන්නේ ලිවීම. එය වඩාත් සමාජ හිතකාමී ආකාරයෙන් කරන්න මම උත්සාහ ගන්නවා.  
 
රටේ මේ මොහොත සහ අනාගතය ගැන ඔබට දෙන්න පුළුවන් සරල ම සහ කෙටි ම අර්ථකථනය මොකද්ද?
ඒක හරියට බිඳුණු වීදුරු බඳුනක්. ආයෙත් හදන එක ලේසි නෑ. නමුත් අතාරින්න සූදානමක් ද නෑ. සමස්තය එපා වුණු මිනිසුන් සමග වැඩ කරන්නයි අදහස.
 
අවසාන වශයෙන්, පොත් දෙක උත්සවාකාරයෙන් නිල ලෙස දොරට වඩින්නට නියමිතද, නැත්නම් සහෘදයා පොත් ලබාගත යුත්තේ කොහොමද?
ඔව්. ජූලි මාසේ 27 දා, සෙනසුරාදා සවස 03.00 ට මහවැලි කේන්ද්‍රයේ දි පොත් දෙක ජනගත කෙරෙනවා. පොත් දෙක ගැන විතරක් කතාකරන කතා දෙකක් තියෙනවා. "පොත් ගැහුවට කවි ලියන්න පුලුවන් ද?" කියලා සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය හආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහෝදරයා අදහස් පළකරනවා. "මේවා කෙටිකතා ද?" කියලා අදහස් දැක්විමක් කරණවා ප්‍රවීන ලේඛක වගේම පරිවර්ථක චූලානන්ද සමරනායක සහෝදරයා. 
 
පොත් දොරට වැඩීමක් කියන්නේ පොත රසිකයා අතරට ගෙනයාමේ ක්‍රමෝපායක්. ඒක සමහරු අලෙවි උපක්‍රමයක් කියලත් කියනවා. ඔව්, පොත් අලෙවි වෙනවා කියන්නේ එය රසිකයා අතපත් වෙනවා කියන එක. අනෙක ප්‍රකාශයා පවතින්නෙ පොත් අලෙවි වුනොත්. ඒ නිසා ලේඛකයාටත් සිදුවෙනවා තමන්ගේ පොත අලෙවි කිරීමේ යාන්ත්‍රණයක දැතිරෝදයක් වෙන්න. ඒක අහිතකර දෙයක් නෙමේ කියලයි මම හිතන්නේ. මේ දොරට වැඩීමේ අවස්ථාව එක්කම පොත් දෙකම පොත්සැල්වලදිත් මිලදීගන්න පුළුවන් වෙනවා.