කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල අගෝස්තු මාසයේදී

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල අගෝස්තු මාසයේදී

15 July 2019 02:51 pm

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල 08 වැනි වරටත් ලබන අගෝස්තු මස 03 වැනිදා සිට 09 වැනිදා දක්වා කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. මෙවර එය නම්කර ඇත්තේ ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උළෙල ලෙසයි.

නාට්‍යවේදී එම් සෆීර් ප්‍රමුඛ 'ඉන්ටර් ඇක්ට් ආර්ට්' මෙම නාට්‍ය උළෙල වාර්ෂිකව සංවිධානය කරයි.

මෙවර නාට්‍ය උළෙල සඳහා ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, පකිස්තානය, ඉන්දියාව යන රටවල නාට්‍ය කණ්ඩායම් සහභාගිවීමට නියමිත වේ.

නාට්‍ය උළෙලේ සමාරම්භක උත්සවය අගෝස්තු 03 වැනිදා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. නාට්‍ය දර්ශන අගෝස්තු 04 වැනිදා සිට 09 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වෙන අතර එහිදී දෙස් විදෙස් නාට්‍ය නිර්මාණ 13 ක් වේදිකාගත වීමට නියමිතය.

මීට අමතරව “කොළඹ නාට්‍ය කතිකාව” 05 වැනිදා සිට 07 වැනිදා දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, නූතන රංග කලා වැඩමුළු 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වේ.