මිනිහෙක් කියන්නෙ කතාවක් ! - ප්‍රියන්ත ලියනගේ

මිනිහෙක් කියන්නෙ කතාවක් ! - ප්‍රියන්ත ලියනගේ

10 July 2019 09:51 am

ඇතැම් තුවක්කු පත්තු වන්නේ පරක්කු වී වන්නට පුළුවන. නමුත් සාහිත්‍යමය උණ්ඩවලට ළය පසාරු කරගෙන යන්නට එය බාධාවක් නොවේ. ප්‍රියන්ත ලියනගේ ගේ 'කොට තුවක්කු' නවකතාව එබන්ඳකි. මතු දැක්වෙන්නේ 'කොට තුවක්කු' සහෘදගත කිරීම අරභයා අප ප්‍රියන්ත ලියනගේ සමඟ කළ සංවාදයකි. 

#. ප‍්‍රියන්ත ලියනගේ ජනතා විමුක්ති පෙරමුණට මුලින්ම සම්බන්ධ වෙන්නෙ සහ පසුව එහි පූර්කාලීන සාමාජිකයෙක් වෙන්නෙ කොහොමද?

මගේ තාත්ත ලියනගේ දනෝරිස්. ඒ කාලෙ තාත්ත වැඩ කළේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ. ඔහු ඒකෙ තිබුණු ලංකා සමසමාජ පක්ෂෙ වෘත්තීය සමිතියේ සභාපතිවරයා. ඔහු එහි සභාපතිවරය වෙලා තිබුණෙ නිතරගයෙන්. පස්සෙ සමසමාජ පක්ෂෙ සභාග දේශපාලනය ඇතුළෙ දියවෙලා යද්දි ඒ වෙද්දි අලූතෙන් කරළියට එමින් හිටිය ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර සහෝදරයව සාකච්ඡාවකදී තාත්තට හමුවෙලා. එහි ප‍්‍රතිඵලය වුණේ තාත්ත ලංකා සමසමාජ පක්ෂයෙන් වෙන් වෙලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වීම. 1971 මාර්තු මාසේ 30 වැනිදා හයිඞ්පාක් පිටියෙ තිබ්බ රැස්වීමෙ මූලාසනයෙ  හිටියෙ ඔහු. ජනතා විමුක්ති පෙරමුණේ පළමුවෙනි කම්කරු නායකය වෙන්නෙත් ඔහු. මේ නිසා අපේ ගෙදර කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණට බොහොම සමීප තැනක් වුණා. ඔය කාලෙ වෙද්දි මං පොඩියි. මේ අතරෙ තමයි තාත්තව අත්අඩංගුවට ගන්නෙ. හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලත් තාත්ත දිගටම ජවිපෙ දේශපාලනයේ නිරත වෙනවා. රෝහණ සහොදරය පවා අපේ ගෙදරට ඇවිත් තියෙනව. ඒ කාලෙ අපේ ගෙදර කියන්නෙ ජවිපෙ දේශපාලනයේ බොහෝම සක‍්‍රීය තැනක්. ඔය ඇසුර තමයි මාව ජවිපෙ වෙතට සමීප කරන්නෙ. ඒත් මම ජවිපෙ පූර්ණකාලීනයෙක් වෙන්නෙ ඒ කාලෙ තාත්තගෙ සම්බන්ධයට අපේ ගෙදරට ආව හොරණ හල්තොටියත්ත ප‍්‍රදේශයේ හිටපු කළු ජයවර්ධන සහෝදරය හින්ද. ඔහු හරිම ක‍්‍රියාශීලී, හරිම උපක‍්‍රමශීලි, කරුණාවන්ත සහෝදරයෙක්. ඔහුගෙ ඇසුර මටත් හොරා මාව ජවිපෙ පූර්ණකාලීන දේශපාලනය වෙතට ඇද ගත්ත. ඒ නිසා අදටත් මගෙ දේශපාලන ගුරුවරය හැටියට මං සලකන්නෙ ඒ ජයවර්ධන සහෝදරයව. ඒ සහෝදරය 89 රාජ්‍ය මර්දනයට ගොදුරු වෙනවා. ඒක මට අදටත් වේදනාත්මක මතකයක්.

#. අවුරුදු 23-30 කියන්නෙ තාරුණ්‍යයේ උච්ඡතම කාලය. මේ කාලයේ ඔබට සිද්ධ වෙනවා දේශපාලනය කළ වරදට සිරගත වෙන්න. ආපසු හැරිල බලද්දි ඒ ගැන සහ ඒ කාලය ගැන මොකද හිතෙන්නෙ? 

මං කළ කිසිම දෙයක් ගැන පුසුතැවිලි වෙන කෙනෙක් නෙමෙයි. මං කවුරුවත් කිව්ව පලියට කිසි දෙයක් කරල නෑ. මං හැමදාම තීරණ අරං තියෙන්නෙ මං ඒ වෙද්දි හිටපු ස්ථාවරයට සාපේක්ෂව නිවැරදියි කියල හිතපු තීන්දු. ඒවායේ ප‍්‍රතිඵලය කොතෙක් කටුක වුණත් මං හැමදාම ඒවා දරාගත්තෙ කිසිදු හිතේ කහටකින් තොරව. ඒ සියලූ සිදුවීම් මාව අත්දැකීම්වලින් පොහොසත් කරල තියෙනව. මං ධනයෙන් පොහොසත් නැති වුණත් මාව අත්දැකීම්වලින් පොහොසත් කළේ මං පසුකර පැමිණි ඒ ඉතිහාසය.

#. පස්සෙ කාලෙක ජවිපෙ බරපතළම අභ්‍යන්තර ඛණ්ඩනය සලකුණු කරමින් විශාල පිරිසක් පක්ෂයෙන් ඉවත් වෙලා අලූත් පක්ෂයක් පිහිටුවා ගන්නවා. ඔබත් ඒ ඉවත් වූ පිරිසෙන් කෙනෙක්. නමුත් දැන් ඔබ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමගත් නෑ. වර්තමානයේ ඔබේ දේශපාලන ආස්ථානය මොකක්ද?

ජවිපෙ අභ්‍යන්තරයේ සිදු වෙමින් පැවැති මතවාදී අරගලයක් මුහුකුරා යාමේ ප‍්‍රතිඵයක් විසින් තමයි ඒ ඛණ්ඩනය සිදු වෙන්නෙ. ඇත්තටම සිදු වෙන්නෙ ඒ අභ්‍යන්තර අරගලයෙ නියැළිලා හිටපු කාඩරයෙන් කීපදෙනෙක්ව නිල ජවිපෙ විසින් එළියට දැමීම. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඊට දක්වපු විරෝධයේ ප‍්‍රතිඵලය තමයි ඔබ කිව්වෙ. හැබැයි ජවිපෙ නිවැරදි පීල්ලට ගන්න දියත් වුණු ඒ අරගලයත්, එයින් එළියට විසිවුණු කණ්ඩායමත් නිවැරදි දිසාවකට ස්ථානගත වුණේ නෑ. මොකද එතැන තිබුණෙ හුදු සන්ධාන විරෝධයක් නෙමෙයි. ලෝක ව්‍යාපාරයේ පරාජය දක්වා ඒ සාකච්ඡාව ස්ථානගතගත වෙමින් තිබුණත් එහි මුල් පෙළේ ක‍්‍රියාකාරිකයන්ගෙන් ඇතැමුන්ට නැවැතත් කුඩා පරිමානයේ ජවිපෙ ආකෘතියකම වැඩ කිරීමේ කැමැත්තක් තිබුණා. ඒක තේරෙද්දි ඒ කණ්ඩායමෙත් ඇතැම් ප‍්‍රබලයො ඒකෙන් ගැලවිලා ගියා. මේ විදියට ඒකත් පතුරු ගැලවිලා යද්දි මාත් එක පතුරක් ලෙස ගැලවිලා ගියා. දැන් මම ඒ කිසි පතුරකට සම්බන්ධ නෑ. විවෘත මනසින් ලෝකෙ දිහා බලා ඉන්නව. එහෙම බලද්දි මට එක දෙයක් පේනව. සිස්ටම් එකට විරුද්ධ අරගලයත් සිස්ටම් එක විසින්ම ගොදුරු කරගනිමින් තියෙනවා. අපි වෙළඳ භාණ්ඩ විසින් ගිලගත්තු ලෝකෙක අතරමං වෙලා. ධනේශ්වර මර්දන යන්ත‍්‍රයට වඩා අපේ කකුලෙන් අදින්නෙ පාරිභෝගික අර්චනකාමය විසින් අපිව හිර කරපු උගුල්. මුළු ලෝකෙම වාමාංශය එකතුවෙලා පිළිතුරු සෙවිය යුතු ගැටලූවක් හැටියටයි ඒක මං දකින්නෙ.

#. ප‍්‍රියන්ත ලියනගේ කියන පත්තරකාරයා බිහිවෙන්නෙ කොහොමද?

මගේ පත්තරකාරකම කියන්නෙත් මගේ දේශපාලනයේම දිගුවක්. ඒ කියන්නෙ මං දේශපාලනික පත්තරකාරයෙක්. මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ වෙන්නෙ 'සිතිජය' සඟරාවෙන්. ඒක දේශපාලනික වැඩක්. ඊට පස්සෙ 'ලංකා' පත්තරය. ඒකත් දේශපාලනික පසුබිමක් සහිත පුවත්පතක්. 'ජනරළ'ත් එහෙමයි. ඊට වෙනස් වුණා නං වෙනස් වුණේ 'සත්හඬ' පත්තරේ විතරයි. දැන් 'අද' පුවත්පතේ මං වැඩ කරන්නෙ මාධ්‍යවේදියෙකු ලෙස නොව සෝදුපත් කියවන්නෙකු ලෙසයි.

#. මේ මොහොතෙ රට හා වම ගැන ඔබේ කෙටි අදහසක් ගැන දැන ගන්න කැමතියි?

වම පමණක් නොවෙයි සියලූ දේශපාලන පක්ෂ සහ සංවිධාන අසමත් වුණු සිවුරු, ලෝගු සහ නිකාබ විසින් පාලනය වෙන පිපිරෙන අරාජිකත්වයක් තුළ මිනිසුන් දිවිගෙවනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එල්ලිලා ඇවිත් එල්ලා හරි බලය රැකගන්න වලිකන මිනිසුන් පාලකයො වුණු රටක තවත් එවැනිම මිනිසුන් බලය වෙනුවෙන් ඕසෙට ජාතිවාදය විකුණන රටක අපි ජීවත් වෙනවා. ඒක ඔබත් මමත් දිවි ගෙවන ලංකාව. මට කියන්න තියෙන්නෙ මට නම් ජාතියක් හා ආගමක් දිවිහිමියෙන්ම එපා කියල විතරයි.

#. අර ඉස්සර ඉඳල හිටල ලියපු කවි දැන් ලියැවෙන්නෙ නැද්ද?

නෑ! මට කවි ලියන්න බෑ කියල මං ඒවයින්ම තේරුම් ගත්තා. 'බැරි වැඩ නොකරන් අබරෝ' කියල කතාවකුත් තියෙනවනේ!

#. ලංකා, ජනරළ, සත්හඬ, අද! මේ පත්තර ඇතුළෙ ඔබ බලාපොරොත්තු වුණ පත්තර කලාව කරන්න පුළුවන් වුණාද?

'ලංකා' සහ 'ජනරළ' පුවත්පත් වාමාංශික දේශපාලන අරමුණක් සහිතව වැඩ කරපු විකල්ප ධාරාවට ගැනෙන පුවත්පත්. ඒවායේ ජනමාධ්‍ය කලාව ඒ පුවත්පත් දරණ දේශපාලනය විසින් ඍජුවම තීරණය කරන්නක්. 'සත්හඬ' තරමක් දුරට මං කැමැති විදිහෙ පුවත්පත් කලාවක හැඩය ගත්ත. විශේෂයෙන් එහි කලා සංස්කෘතික අතිරේකය වූ 'සිහිනය' විශේෂාංගය. 'අද' පුවත්පතේ මං සෝදුපත් කියවන්නෙක් පමණයි. එය ක‍්‍රමවේද කලින් නිශ්චය වුණු විශාල ආයතනයක්.

#. දීර්ඝ සමාජ - දේශපාලන - සංස්කෘතික අභ්‍යාසයකින් පසුව ඔබ 'කොට තුවක්කු' නමින් ඔබේ කුළුඳුල් නවකතාව සහෘදගත කරන්න සූදානම් වෙනවා. පොතට එන්න කලින් මේ මොහොතේ අපේ රටේ සාහිත්‍ය ඇතුළෙ නවකතාව ස්ථානගත වීම කෙබඳුද කියල ඔබේ අදහස දැනගන්න කැමතියි?

ලෝකෙට සාපේක්ෂව ලංකාව ඉතා කුඩා සාහිත්‍ය වෙළෙඳපොළක් තියෙන රටක්. ඒ කුඩා වෙළෙඳ පොළ ඇතුළෙ සාහිත්‍යයට සාපේක්ෂව ගත්තොත් ළමා කතන්දර පොත් මුල් තැනට එනවා. වැඩිහිටි සාහිත්‍ය ගත්තොත් මං හිතන්නෙ නවකතාව ප‍්‍රමාණාත්මකව වැඩියි. ඒ ප‍්‍රමාණාත්මකව. ඒත් ගුණාත්මකකව නම් ලෝක සාහිත්‍යට සාපේක්ෂව අපි සෑහෙහ පසුපසින් ඉන්නෙ කියලයි මට හිතෙන්න. ඒකට හේතුව අපේ ලොකු හැදෑරීමක් නෑ. අපේ කියවීම හොරයි. සමහර මුද්‍රණයෙන් එළි දකින පොතපත දෙස බැලූවම අපි කියවන්නෙ නැතුවම ලියන ජාතියක්ද කියලත් හිතෙනවා. හැබැයි ඒ අතර ඉතා මහන්සියෙන් හැදෑරීමක් සහිතව ලියන කියවන ඉතා අතොලොස්සක් හරි සිටීමත් සතුට දනවන තත්ත්වයක්. අපි පොදුවේ කියවීම පහත වැටුණු ජන සමාජයක්. එය වර්ධනය කිරීම නවකතාවට, කෙටිකතාවට පමණක් නොව පොදුවේ මුළු මහත් සමාජයටම වැඩදායක කටයුත්තක්. පුපුරුවාගෙන මියයන්නාට දෙවියන් හෝ ලබ්ධියක් කිට්ටු කරනු වෙනුවට පොතක් කිට්ටු කරන්න පුළුවන් නම් ලෝකයට සහ අනෙකාට ආදරය කරනා මිනිසා තැනීමේ මුල් පියවර එය බවට පත්වේවි!

#. 'කොට තුවක්කු' නාමකරණය ක්ෂණිකව ම 88-89 යුගය සිහිපත් කරවනසුළුයි. ඔබ මේ ලියල තියෙන්නෙ ඔබේ කතාවද?  

'කොට තුවක්කු' නවකතාවට පදනම් වෙන්නෙ 71 පසුබිම් කරගත්තු 87- 2010 කාලපරාසයේ දිවෙන කතාවක්. ඇත්තටම මේක ප‍්‍රබන්ධයක්. ඔබ දන්නව  ඕනෑම ප‍්‍රබන්ධයක් එහි කතුවරයාගෙන් සම්පූර්ණයෙන් විනිර්මුක්ත වෙන්නෙ නැති බව. එක් පැත්තකින් මේක ගැහැනියකගේ ජීවිතයේ ඉරණම්සහගතභාවය පිළිබඳ  කතාවක්. තව පැත්තකින් ඒක ජාතිය බොඳ වූ තරුණයෙකුගේ කතාවක්. තවත් පැත්තකින් ඒක දේශපාලන අරගල භූමියක් පසුබිමේ දිවෙන කතාවක්. තව පැත්තකින් එය වෛරයේ දේශපාලනය ක‍්‍රියාත්මක වෙන රටක ආදර දේශපාලනයක් පිළිබඳ කතාවක්. ඒ නිසා මේ මොන පැත්තෙන් හරි 'කොට තුවක්කු' ඔබට සමීප විය හැකි කතාවක් වේවි!

#. පොත එළිදැක්වෙන වැඩේ වෙන්න නියමිත කොහොමද?

ජූලි ඒ කියන්නෙ මේ මාසේ 15 වෙනිදා සවස 3.00ට මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී පොත පාඨක සහෘදයන්ට එළිදැක්වෙනවා. එදිනට උපුල් ශාන්ත සන්නස්ගල සහ සුදර්සන සමරවීර සහෘදයන් පොත ගැන අදහස් දක්වනව. ඊට අමතරව මේක දේශපාලන අරගල පසුබිමක දිවෙන කතාවක් නිසා 71 සහ 88/89 අරගලයේ නියුතු සහෝදරවරුන් සිහිපත් කරමින් පොත් දෙකක් පිළිගැන්වෙනවා. එය '9' පබ්ලිෂින් ප‍්‍රකාශනයක්. ඉතිහාසයේ දේශපාලන අරගල තුනක් ඇසුරේ දිවෙන මේ කතාවේ කතාන්දරය ගැන කතාබහට එකතුවෙන්න ඒ අරගලවලට සංවේදී ඔබ සැමට සහෝදරාත්මකව, විවෘතව ආරාධනා කරනව. එන්න! අමතක කරන්න එපා, මිනිහෙක් කියන්නෙ කතාවක්. 

සංවාදය - කසුන් සමරතුංග