ගැහැනියට සංස්කෘතික රාමුවෙන් ගැලවෙන්න අමාරුයි - ඉරේෂා හේමමාලී

ගැහැනියට සංස්කෘතික රාමුවෙන් ගැලවෙන්න අමාරුයි - ඉරේෂා හේමමාලී

30 June 2019 09:15 am

ඉරේෂා හේමමාලී ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන 'හමාර බණවර' කෘතිය නොබෝ දිනකින් සහෘදගත වන්නට නියමිත ය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප කිවිඳිය සමඟ කළ කෙටි සංවාදයකි.

#. කවි ලියන ගැහැනියක් අපි හඳුන්වන්නෙ කිවිඳියක් කියල. ඒ අර්ථයෙන් ගත්තාම ඉරේෂා හේමමාලී කියන්නෙත් කිවිඳියක්. නමුත් ඒ කිවිඳිය ළඟට එන්න කලින් මම කැමතියි ඔබ තුළ ජීවත්වන තවත් චරිත කීපයක් අඳුනාගන්න. අපි එකින් එක ගමු. මට මුලින් ම කියන්න ඉරේෂා හේමමාලී කියන ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පිණිය ගැන?

ඇත්තට ම ගෘහ නිර්මාණකරණය මම වෘත්තීයව කරන දෙයක් නෙවේ. ඒකෙ වාණිජමය අරමුණක් මට ආරම්භයේ දී තිබ්බේ නැහැ. ඒක විනෝදාංශයක් විදියට මම ආරම්භ කරපු දෙයක්. එතනත් තියෙන්නෙ කලාවක්ම තමා. ⁣කුඩා කාලේ ඉඳන්ම හැම දේකම ලස්සනක් දකින්න මම පුරුදු වෙලා හිටියා. සැලසුම් කරපු ගෙයක් හෝ මොන යම් ගොඩනැගිල්ලක් ඉදිවෙලා අවසානය දකිද්දි ලොකු තෘප්තිමත්වීමක් තියනව. ඒකත් කවියක්, චිත්‍රයක් අවසානයේ එන හැඟීම වගේ ම තමයි.

#. එහෙම නම් දැන් කියන්න ඉරේෂා හේමමාලී කියන චිත්‍ර ශිල්පිණිය ගැන?

චිත්‍රය කියන්නෙත් මගෙ අදහස් ප්‍රකාශ කිරීමේ එක් මාධ්‍යයක්. මම පොඩි කාලෙ ඉඳන්ම චිත්‍ර ඇන්ඳා. සමාජයේ ගැටෙද්දි, අත්දැකීම් ලැබෙද්දි, සිතුවිලි එක එක දිශාවලින් චලනය වෙද්දි ඒ චිත්‍රය කියන දේට පාටක් එකතු වෙලා ඒ අදහස් සමාජගත කරන එක් මාධ්‍යයක් විදියට මං තුළ වැඩුනා. වෙනස්ම ආරකට චිත්‍රය තුළින් යම් අදහසක් මවන්න මම උත්සහ කරමින් ඉන්නවා. ඒ නිසා මගේ චිත්‍ර වෙනස්ම හැඩතලයකින් මම නිර්මාණය කරනව. 

#. ඊළඟට කැමරාව අත දරන ඡායාරූප ශිල්පිණිය ගැන යමක්?

මට මුලින් අවශ්‍ය වෙලා තිබුනේ සිනමාකරණයට පිවිසෙන්න. ඒ තැනට මට යන්න පුලුවන් මාර්ගයක් හදාගන්න තමා මම මුලින්ම ඡායාරූපකරණයට පිවිසෙන්නෙ. මම ඡායාරූප ශිල්පය ඉගෙන ගන්න කාලෙ තමයි මට මගෙ ජීවිතයේ විශාල පෙරළියක් කරපු ගුරු දෙපොළ හමුවෙන්නෙත්. ඒ සුසන්ත කන්දද්දරගේ සහ විජිත වික්‍රමරත්න දෙදෙනා. ජීවිතේ කලමණාකරණය මම ඉගෙනගත්තේ ඔවුන්ගෙන්. මේ වැඩ ඔක්කොම අදටත් කිසිම ඝට්ටනයක් නැතිව කරගෙන යන්නෙ ඔවුන් දෙදෙනාගෙන් ඉගෙනගත් දේ නිසා. ඡායාරූපකරණය කියන්නෙ අඳුර, එළිය එක්ක කරන ගණුදෙනුවක්. ඉතින් තුන් වෙනි ඇහැ තමා සාර්ථක ඡායාරූපයක් ගන්න අවශ්‍ය වෙන්නෙ. කලාත්මක ඡායාරූපකරණයේදී සිදුවීමක් ග්‍රහණය කරගැනීම කියන දේ එතරම්ම සරල ලෙස ගන්න පුලුවන් දෙයක් නෙවෙයි මට නම්. පරිකල්පනයත් තදින්ම අවශ්‍ය වෙනවා. ඉතින් සිනමාකරණයට පිවිසීමේ උවමනාව එක්ක කැමරාව මට බොහොම සමීප දෙයක් බවට පත්වුනා. 1998 කඳුරට ඡායාරූප සංගමයේ හොදම ඡායාරූප ශිල්පිණිය විදිහට නම් කෙරෙන තැනට එනකම්ම ඒ ගමන සමීපව ආව. විවිධ ඡායාරෑප තරඟ වලින් ජයග්‍රහන ලැබුවා. දැනටත් විනෝදාංශයක් විදිහට මම ඡායාරූපකරණයේ නියැලෙනව. 

#. ඔන්න දැන් අපි එමු කිවිඳිය ළඟට. අටෝරාසියක් වැඩ කරන අතරෙ කවි ලියන්න හිතුණෙ ඇයි?

මේ හැමදේකින්ම මම තෘප්තියක් ලබනවා. ඒ නිසා මට කවියට කියල අමතරයෙන් වෙලාවක් වෙන්කරගන්න ඕන වෙන්නෙ නෑ. මේ හැමදේම අස්සෙ හැම මොහොතෙම කවිය මං එක්කම රැඳුනා. චිත්‍රය, ඡායාරූපය වගේම කවිය මගේ භාව ප්‍රකාශන මාධ්‍යයක්. අත්දැකීම්, විඳීම්, විඳවීම් හැමවෙලාවෙම කවියෙන් ප්‍රකාශ වුණා. අනික මම හැමවෙලාවෙම විශ්වාස කරන දෙයක් තමයි හැමදේටම කාලය හදාගන්න අපිට උවමනාව තිබේ පුලුවන් කියන එක. කොච්චර කාර්‍යබහුල වුනත් කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතාවයන්වලට කාලය වෙන් කරන්න පුලුවන්. අවශ්‍යනම් තවත් විවේකයක් ඉතුරුයි මට වෙනයම් දේකට කැපකරන්න තරම්. ඉතින් චිත්‍රයෙන් ස්පර්ශ කරන සමාජය වෙනයි. කවියෙන් වෙනයි. ඒ වගේම භාවයන් ප්‍රකාශනය වෙන විදියත් වෙනයි. චිත්‍රයට ලඝු වෙන හැඟීමම කවියක වචන කරන්න පුලුවන්. නමුත් සමාජගතවෙන විදිය එකිනෙකට වෙනස්. කවි අස්සෙත් අරගලය, ප්‍රේමය, සමාජයීය තත්ත්වයන් කියන හැමදේම තියෙනවා. කවියත් හිතේ ඇදෙන චිත්‍රයක්ම තමයි ඒ අතින් බලද්දි. ඒ නිසා කවියත් අනෙක් හැමදේම වගේ මට සමීපයි.

#. කවිය ඔබට දැනෙන්නෙ කොහොමද?

කවිය මට ඉතාම සංවේදී සීමාවක පවතින දෙයක්. කවියක් ලියවෙන්නේ මම උපරිම සංවේදී වෙන වෙලාවක. කවියට විෂයය වෙන සජීවි සිදුවීමක් හෝ හුදකලා පරිකල්පනයකින් බිහිවෙන අභ්‍යන්තරික චෛතසිකයක් හෝ ඉතාම තදින් දැනුනේ නැතිනම් ඒක අනික් අයටද දැනෙන නිර්මාණයක් ලෙස සාර්ථක මට්ටමට ගෙන ඒම අපහසුයි. කවියක් ලියනවා කියන එක නැතුව හිතට එන සිතුවිලි කවියකින් ප්‍රකශනය වෙනවා කියන තැනට මම කැමතියි. කවිය ප්‍රබලව දැනෙන්න නම් කවියේ ප්‍රස්තූතයන් අපි තදින්ම විඳින්න, විඳවන්න ඕන. කවිය කියවීමත් ඒ වගේම දෙයක්. වචන වලට පෙරලිලා එන්නෙ හිත්වල ප්‍රමෝදයන්, අභ්‍යන්තරික කැකෑරීම් වගේම ජීවත්වන පරිසරයේ සජීව සම්බන්ධතාවලට කවියන්ගේ සංවේදීවීම්. ඉතින් ඒ තැන ඉඳන් මම කවිය විඳිනවා. කවිය ලියනවා. 

#. ඉතිහාසයේ අපිට හමුවෙන පරමාදර්ශී කිවිඳිය තමයි ගජමන් නෝනා. ඊට පස්සෙ රංචාගොඩ ළමයා. මෑත ඉතිහාසය අරන් බැලුවොත් කිසිම තර්කයක් නැහැ ඒ තැන හිමිවෙන්නෙ මොනිකා රුවන්පතිරණට. අදටත් බොහෝ 'ගැහැනු' කවි ලියන බව පේනවා. කවිය එහෙම නැත්නම් සමස්තයක් විදියට ගත්තොත් සාහිත්‍යය කියන විෂය ඇතුළෙ කාන්තාමය අවකාශය ගැන ඔබ යමක් කියන්න කැමතිද?

කවිය, සාහිත්‍ය කියන සීමාවට කලින් සමස්ත සමාජයෙ හැම පැතිකඩකම කාන්තා නියෝජනය අල්පයි. පුරුෂ මූලික සමාජයක කාන්තාවන්ට ලැබෙන නියෝජනය අල්පයි. ඒක ලංකාවෙ වගේම බහුතරයක් සමාජවල තියන තත්ත්වයක්. සාහිත්‍ය කියන විෂයය ඇතුලෙත් එහෙමමයි. කාන්තාවන්ගේ නියෝජනය සමාජයේ ප්‍රබල චලනයක් බවට පත්කරගන්න අසීරු කාරණා කිහිපයක්ම තියනව. කාන්තාව ගොඩක් වෙලාවට සමාජය විසින් රාමු කරලා ඉවරයි. ඒක අද ඊයෙ වුණ දෙයක් නෙවේ. සංස්කෘතිකමය සමාජ ගොඩනැංවීමත් එක්කම වුණ දෙයක්. අන්න ඒ රාමුවෙන් ගැලවෙන්න කාන්තාවට අමාරුයි. කාන්තාව මෙලෙස විය යුතුයි කියන සමාජ මතය එක්ක අන්න ඒ රාමුවෙන් පිට පනින්න උත්සහ කරන ගැහැණියට ඉස්සරෝම පහර ගහන්නෙත් ගැහැණියමයි. කාන්තාව ඔවුන්ටත් නොදැනීම රාමුවෙලා ඉවරයි. මේ තත්ත්වය නිර්මාණය වෙන්න මූලික වශයෙන්ම පුරුෂ මූලික සමාජය තුල කාන්තාවන්ට සම අයිතිය ලබාදීමට ඇති අකමැත්ත සහ කාන්තාවකට තත්ත්වයන්ට අනුරූපව ඒවා හසුරවාගන්න බෑ යන පුරුෂ මත හේතු වෙලා තියනව. ඉතින් සාහිත්‍ය කියන භූමියෙත් අපි බොහෝවිට දකින්නෙ රාමු වුන ගැහැණියම තමයි. සීමාවක ඉදන් ලියන කෙනෙක්. නමුත් දැන් බොහෝ කාන්තාවන් එම රාමුවෙන් මිදෙන්න උත්සහ කරනව. මිදිලා තමන්ගෙ අදහස නිර්භයව ඉදිරිපත් කරනව. ඒක ප්‍රගමනාත්මක ලක්ෂණයක් . 

#. 'හමාර බණවර' කියන්නෙ එහෙම රාමුවෙන් මිදෙන්න උත්සහ කරන ඔබේ මුල්ම කාව්‍ය සංග්‍රහය?

ඔව්! ඇත්තටම පොතකට එන එක දක්වා නිශ්චිත ගමන් මගක් මට තිබුනේ නෑ.. මම කුඩා කල ඉදන්ම කවි ලීව. විද්‍යුත් මාධ්‍යන් පන්ති මෙවලමක් වෙලා තිබ්බ කාලෙ ඉදන්ම ලීවා. පත්තරවලට ඒ කාලෙ ඉදන්ම ලීව කවි කාලෙත් එක්ක අත්දැකීම් එක්ක වෙනස් වෙවී ඉස්සරහට ආවා. ඒ පොතක් කරනවා කියන හැඟීමෙන් නම් නෙවෙයි. නමුත් කාලයත් එක්ක පොතකට අවශ්‍ය අවකාශයන් නිර්මාණය වෙද්දි අවසානයේ 'හමාර බණවර' කියන පොතට ඒ තැන් තැන්වල තිබ්බ මගේ රිදීම්, විඳවීම්, හෘදසාක්ෂයන් එකතු වුණා. ඒ වගේම මෙන්න මේ කාරණාවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ. සමස්තයක් විදිහට කලාවේම වාණිජමය පැත්ත අපේ සමාජයේ ගොඩක් අඩුයි. කලාව විඳින්න කැමති උනත් මිනිස්සුන්ට ඒ වෙනුවෙන් වැයකරන මිල ඊට වඩා මූලිකතාවයන්ට යොදවන්න වෙලා තියනව. මේ සමාජයේ තියන ඛේදනීය ආර්ථික පැතිකඩක් ඒක. ඒ අස්සෙන් කවිය කොහොමත්ම මාකට් එකක් නැතිම තත්ත්වයක, ඉතාම අසීරු අඩියක තියන දෙයක්. ඉතින් ඒ කවිය මාකට් කරන්න හදන එකම අභියෝගයක්. එ අභියෝගය බාරගත්තෙ කවීශ කග්ගොඩආරච්චි ප්‍රමුඛ 'මියුසස් පබ්ලිෂින් හවුස්' ආයතනය. මේ ඔවුන්ගේත් පළමු කවි පොත. මගෙත් පළමු පොත. මං ගැන තිබ්බ මේ විශ්වාසයට සහ කවිය මේ තියන ඛේදනීය ඉරණමෙන් ගලවාගන්න ඔවුන් දරණ උත්සහයට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

#. කවි පොත එළිදක්වන උත්සවය එක්ක තවත් වැඩක් වෙන්න නියමිතයි?

මූලිකව ම කවි පොත එළි දැක්වීම තමයි මෙතන තියෙන්නෙ. ඊට අමතරව විශේෂයක් නැතිව මම ඇඳපු චිත්‍ර කිහිපයකුත් එදා ප්‍රදර්ශනයට එක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් පොඩි මට්ටමේ චිත්‍ර ප්‍රදර්ශනයක් කවි පොතට සමගාමීව තියනව. 

#. සම්පූර්ණ වැඩසටහන ම වෙන්න නියමිත කොහොමද?

‎ජූලි 7 වෙනිද හවස 2.30 ට මහනුවර කැන්ඩියන් ආට් හිදි තමයි මගෙ 'හමාර බණවර' එළිදක්වන්නෙ. ඒ වගේම ඊට සමගාමීව කෙරෙන චිත්‍ර ප්‍රදර්ශනයත් එම ස්ථානයේම ඒ වෙලාවේම පැවැත්වෙනවා. සම්මානලාභී ප්‍රවීන ගේය පද රචක රවී සිරිවර්ධන, ලේඛක ඩිල්ෂාන් පතිරත්න වගේම ප්‍රවීණ රංගධර සනත් විමලසිරි යන ත්‍රිත්වය එදිනට අපි සමඟ එක්වෙනවා. 

#. ඉදිරි වැඩ කටයුතු කොහොමද?

මේ හැමදේම අහඹු සිදුවීම්. මේ පොතින් පස්සෙ තව පොතකට යනවද , නැතිනම් වෙනත්ම දෙයක් කරනවද කියන එක ඇත්තටම අවිනිශ්චිතයි. කුමන හෝ මට්ටමින් කලාව මඟ හැර නොගෙන ඉස්සරහට යනවා කියන එක කියන්න පුලුවන්. ඒ ඇරුනම නිශ්චිතවම මගේ ඊළඟ පියවර ගැන අදහසක් දැන් ම කියන්න අමාරුයි.

සංවාදය - කසුන් සමරතුංග