මට සිවුර ලයිසන් එකක් - ගුරුගොඩ සිරිවිමල හිමි

මට සිවුර ලයිසන් එකක් - ගුරුගොඩ සිරිවිමල හිමි

25 June 2019 11:15 am

ගුරුගොඩ සිරිවිමල හිමි ගේ දෙවන කාව්‍යමය ප්‍රයත්නය 'අහස් ඉම සිපගනිමි' නමින් සහෘදගත වන්නට නියමිත ය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප උන්වහන්සේ සමඟ කළ කෙටි සංවාදයකි.

#. 'සුභාෂ්' කියන්නෙ ගිහියෙකුට ගැලපෙන හොඳ නමක්. පොඩි හාමුදුරුවන්ට මහණ වෙන්න හිතුණෙ ඇයි?

සුභාෂ් විමුක්ති වීරසේකර කියන්නෙ මගෙ ගිහි නම. මේ නම තාම මාව අතීතයට අරන් යනව. අපූරු අතීතයකට! මට හරිම ආදරේ කරන සර් කෙනෙක් ඉන්නව පිරිවනේ. සර් ඒ කාලෙ මට මතකයි කියනව 'විමුක්ති කාලෙ තිබ්බ හැකියාවන් සිරිවිමල වුනාට පස්සෙ නැති වුනා, හිස බාද්දි ඔළුවත් බෑවිලා වගේ' කියල.  එහෙම අපූරු හැකියා තිබුන කෙනෙක් තමා සුභාෂ් කියන්නෙ. ඒ නම මට තාම අත්තැරිල නැහැ. නමුත් නම වෙනස් වෙලා තියෙනව. අනිත් එක තමා මගෙ ගිහි කාලයත්, පැවිදි කාලයත් වෙන් වෙන්නෙ සිවුරෙන් විතරයි. මගෙ ගිහි කාලය පැවිදි කාලයට සමගාමීව වන ඇවතුම් පැවතුම්, සිරිත් විරිත් සම්බන්ධයෙන් එකම විදියට ක්‍රියාත්මක වුනා. ඉතිං ඒ සුභාෂ් තමයි මහණ වෙන්නෙ. ඒ පැවිද්දට මොන මොන වගේ කාරණා උදෘත වුනාද කියන්න මටවත් තේරෙන්නෑ. හොඳම එක ඒක අහම්බයක් කියන එක කියල මට හිතෙනව. මේ ලෝකෙ "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත්ථාය" කියල පැවිදි වෙච්ච බොහෝ අය ඒ අර්ථයෙන්ම පැවිදි වුනාද කියන එක ගැන මට තියෙන්නෙ සැකයක්. 

#. 'ගෞතම බුද්ධ' කියන දාර්ශනිකයා ගැන ඔබවහන්සේ ගේ අදහස මොකද්ද?

ගෞතම බුදුන්වහන්සේ කියන්නෙ දාර්ශනිකයෙක්ය කියන තැනට වඩා අවබෝධයක් අවබෝධයෙන් පෙන්වල දුන්න ශාස්තෲවරයෙක් කියනවට මම කැමතියි. ඒ ඇතුලෙ දාර්ශනිකයෙකුත් හිටිය. ඒ දාර්ශනික මිනිසාටත්, ශාස්තෲවරයාටත් මම හරි ආදරෙයි. උන්වහන්සේගේ උත්පත්තියේ සිට පරිනිර්වාණය දක්වා කැප කරපු ජීවිතය සම්බන්ධයෙන් මට ස්තුති පූර්වක හැඟීමක් තියෙන්නෙ. ඒ බුදුහාමුදුරුවො ගාව අපි වගේ පුංචි මිනිස්සුන්ට තිබුන සැනසීම කියල වැඩක් නැහැ. මම උන්වහන්සේට හරි ආදරෙයි.

#. අපේ රටේ දැන් තියෙන 'බුද්ධාගම' ගැන මොකද හිතෙන්නෙ?

ඒ ගැන කියල වැඩක් නැහැ. බැලු බැලූ අත වියවුලක්නෙ අද සමාජය. එහෙම සමාජයක බුද්ධාගම තියෙනවද කියල තමා මට අහන්න තියෙන්නෙ. මිනිස්සු වෛරය වපුරනව, ලේ ඉල්ලනව, මරපියව් කියනව, මැරුණ අයටත් සාප කරනව, වලටත් හෙණ තියනව, අපේ අය විතරක් සුවපත් වෙලා අනිත් වුන් හැදිගෑවිලා යන්න ප්‍රාර්ථනා කරනව. ඒව සාධාරණීකරණය කරන්න බුදු බණම උදාහරණයට අරං පෙන්වනව. මේ සමාජයෙ බුදුන්වහන්සේ හිටියනම් උන්වහන්සේ සමාව ඉල්ලල පරිණිර්වාණයට පත් වෙන්නෙ. මේ තත්වය සෑම බෞද්ධ රටකටම පොදුයි. අපේ රටේ තත්ත්වය ටිකක් වැඩිපුර පේනව. 

#. 'අහස් ඉම සිපගනිමි' කියන්නෙ ඔබවහන්සේ ගේ දෙවන කාව්‍යමය ප්‍රයත්නය. එතැනට එන්න කලින් අපට පළමු ප්‍රයත්නය ගැන යමක් කියන්න?

මම කවි ලියන්න ගත්ත කාලයට මහා ඈත ඉතිහාසයක් නෑ. මම කාලාණුරූපියව පරිණාමය වුනා කිව්වොත් නිවැරදියි. 2013 දි වගේ කාලයෙ උසස් පෙළ ලිව්වට පස්සෙ තමා මම කවි ලියන්න පෙළඹෙන්නෙ. ඒව කවි ද කියලත් මට ප්‍රශ්නයක් තියෙනව. නමුත් මම හිතුව ඒ කාලෙට සාපේක්ෂව ඒ කාලෙදි ලිව්වෙ කවි කියල. මොකද මට ඒ කාලෙ තිබ්බ දැනුමට ඒව කවි. ඒ තත්ත්වය මැද මම පොතක් කරනව "පැතුරුණු අඳුරු පතනෙහි" කියල. ඒක කතෘ ප්‍රකාශනයක්. ඒ කවිපොත ඒ කාලෙදිම විකිණිලා ඉවර වුනා. දැන් පිටපත් අතලොස්සක් ඉතිරි වෙලා තියෙනව.

#. දැන් අපට කියන්න 'අහස් ඉම' ගැන?

මම කිව්වනෙ මම ඒ කාලෙ ලිව්ව ඒව කවි ද කියල සැකයක් තිබුනය කියල. ඉතිං පළවෙනි පොත පබ්ලිෂ් කරාට පස්සෙ විවිධ කවියො මුණ ගැහෙනව. ඒ අතරෙදි මම සිහිපත් කළ යුතු ආදරණීය නම් කිහිපයක් තියෙනව. "තිඹිරියාගම බණ්ඩාර, අනුරසිරි හෙට්ටිගේ, විදුර ඩයස්, ලහිරු කිතලගම" වගේ අය. ඒ අය මට කවිය ගැන යම් දැනුමක් ලබා දුන්න. ඒව සෘජුව සහ වක්‍රව මට දායක වුන අවස්ථා.  ඒ අවස්ථාවන් ලබා දීම ඒ විදියට වුනාම මගෙ දැනුම පුළුල් කරගන්න හැකි වුනා. කවිය සම්බන්ධයෙන් විවිධ ලිපි ලේඛණ. වගේම දේශණ, මාව යම් හික්මීමකට ලක් කෙරුව. මිනිස්සුන්ට අනුභූතීන් තිබ්බ පමණින්ම කවි ලියන්න බැහැ. කවි ලිව්ව පමණින්ම කවියෙක් වෙන්නත් බැහැ. කවි ලියන්නත් අමාරුයි, කවියෙක් වෙන්නත් අමාරුයි. 'අහස් ඉම සිපගනිමි' කියන්නෙ ම⁣ගෙ දෙවැනි කවි ව්‍යායාමය. ඒක හිතවත් කාංචනා ප්‍රියකාන්ත අක්කගෙ මැදිහත් වීමෙන් KSP ප්‍රකාශනයක් විදිහට තමයි ජනගත වෙන්නෙ මේ කෘතියෙදි  මම යම් තරමක් සංවර්ධනය වෙලා තියෙනව කියල බොහෝ ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන් මම ඉන්න තැන් වලත් නැති තැන් වලදිත් අගය කරල තියෙනව. ඉතිං මේ පොතේදී පාඨකයාට මගේ කවි විඳින්න හැකියාවක් තියේවි කියල මම විශ්වාස කරනව. මොකද මේ කවි පොතේ විවිධ විෂයන් අරමුණු කරගනිමින් මම මගේ අදහස් පළ කිරීම් කරල තියෙනව. ප්‍රේමය වගේම විරහව, ආගමික මිත්‍යාව, යම් යම් සමාජ දේශපාලනික දේවල් මේ කවි පොතේදි මම පළ කරල තියෙනව. "අහස් ඉම සිපගනිමි" කෘතියෙ තමයි මගෙ හොඳම කවි ටික තියෙන්නෙ. ඒක මගෙ පොත සම්බන්ධයෙන් මට තියෙන කියැවීම. 

#. සිවුරක් දරාගෙන කවි ලියන එක මොන තරම් අභියෝගයක්ද?

සිවුරක් ඇදගෙන කවි ලියන එක ගේමක්. අපිට ෆ්‍රේම් නැති වුනාට අපිට අපි බලෙන් හදාගත්ත ෆ්‍රේම් හුගක් තියෙනව. මම පෞද්ගලිකව ෆ්‍රේම් අයිං කරගත්ත කෙනෙක්. නමුත් මිනිස්සු ෆ්‍රේම් හදාගෙන මේකට කොටු වෙයං කොටු වෙයං කියල උදේ හවා මට කියනව. හැබැයි මම කොටු වෙන්න කැමති නෑ. බැරි වෙලාවත් රාහුල හාමුදුරුවෝ පෙදෙන් බුදු සිරිත කියන රාමුව කඩල සැළලිහිණිය ලිව්වෙ නැත්තං හාමුදුරුවරු විතරක් නෙමේ ගිහියොත් කොටු වෙච්ච අය. රාහුල හාමුදුරුවෝ බය නැතිව"සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින" කියල ලිව්ව. නමුත් මමනම් ඒ තිබුන ෆ්‍රේම් එකත් කඩාගෙන ගිහිල්ල තියෙනව. ඒ කොහොම ෆ්‍රේම් කැඩුවත් අපි අභියෝග මැද ඉන්න මිනිස්සු. ආදරේ ගැන ලිව්වොත් දැන් ෆේස්බුක් තියෙනව. ස්ක්‍රීන්ශොට්ස් අරං පේජ් වල මඩ ගහනව. "දායකයන්ගෙන් කාල මේකට මදන විසේ" වගේ කතා කියනව. සමහර කවියොම ඉන්නව "හාමුදුරුවරු කවි ලියන්න ඕන්නෑ "කියන ඉතිං මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙද්දි මටනම් කවි ලියන්න ලේසියි. මොකද මම කැමතියි ඒ වගේ අභියෝග මට ජීවිතේට එනවට.

#. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ගෘංගාරය වෑහෙන කවි ලිව්වා. වෑත්තෑවේ හාමුදුරුවෝ, වීදාගම හාමුදුරුවෝ තව තව දේවල් ලිව්වා. මෑත කාලීනව අපිට මුණ ගැසෙනවා රඹුකන සිද්ධාර්ථ ආදී භික්ෂුන් වහන්සේ. කොහොමටත් අපේ සාහිත්‍යයෙන් ලොකු කලාපයක් භික්ෂුත්වයට හිමියි. අන්න ඒ කලාපය ගැන ඔබවහන්සේ ගේ කියවීම මොකද්ද?

සාහිත්‍ය ඇතුළෙ වර්ථමානයෙත් කරණම් ගහන භික්ෂූන් ඉන්නව. සෑම සාහිත්‍ය යුගයකදීම භික්ෂුව කියන්නෙ තමන්ගෙ දායකත්වය හරියටම කරපු කෙනෙක් කියන එක අවිවාදාත්මකයි. මගේ අදහස තමයි එදාට වඩා සාහිත්‍ය අද පරිනතයි. නූතනත්වය කියන්නෙම පරිනතභාවය. අද රඹුකන හාමුදුරුවෝ වගේ සිංදු ලියන අය නැති වෙන්න පුළුවන්. හැබැයි රුහුණුකෙත ධම්මදේව වගේ භික්ෂූන් ඉන්නව නිර්මාණාත්මක වෑයම් කරන අය. බිබිලාදෙනියෙ මහානාම හාමුදුරුවෝ කියන්නෙ මම ආසම වර්ගයේ මියුසික් කරන කෙනෙක්. ඒ වගේම තමයි කවියේ මහා වපසරියක් අතට අරං ඉන්න බටුවන්ගල හාමුදුරුවෝ, තැන්නෙ හාමුදුරුවෝ වගේ අයගෙ නූතන සාහිත්‍ය මෙහෙවර මෙච්චරයි, මෙපමණයි කියල ඉවරයක් කැන්න බැහැ. මට මේ සම්බන්ධයෙන් තියෙන කියැවීම තමයි, හැම කාලවකවානුවකටම සාපේක්ෂව ඒ ඒ මොහොතවල් වලදි ඒ ඒ විධියට භික්ෂුව ක්‍රියාත්මක වෙලා තියෙනව. තොටගමුවේ හාමුදුරුවෝ අද කවි ලිව්වනම් ඒ කවි ලොකු වෙනස් වීම් සහිතව නූතන කවියට ඇවිත් තියෙයි. මොකද තොටගමුවේ හාමුදුරුවෝ හරි රැඩිකල් භික්ෂුවක්. අද අපි දකිනව රඹුකන හාමුදුරුවෝ වර්ථමානයේ ලියන ගීත. ඒ ගීත උන්වහන්සේගේ පැරණි ගීත තරම් කොලිටි නැහැ. "ලා දළු බෝපත් තරම්" ලස්සන නැහැ. ධර්මසේන හාමුදුරුවෝ අද වැඩ හිටියනම් ඒ ගද්‍ය සාහිත්‍ය අපූර්ව වෙනසකට ලක්වෙලා තියේවි. ඒක මේ සමාජයත් එක්ක යන දෙයක්. ඒක ශාස්ත්‍රීයව කළ යුතු සංවාදයක්.

#. පැවිද්දන් සහ ගිහියන් අතර එකම වෙනස ඇඳුම පමණයි කියල කෙනෙක් යෝජනා කළොත් එකඟද, නැද්ද?

නැහැ, කොහෙත්ම නැහැ! පැවිද්දා සහ ගිහියා අතර ලොකු වෙනස්කම් තියෙනව. ශීලය, ගුණය වගේ කාරණා. නමුත් වත්මන් පැවිද්දා ලග නැති අටෝරාසියක් ගුණ, ශීලය තියෙන ගිහියො මම දකිනව. 21 වෙනිද ප්‍රහාරය හා සම්බන්ධ සිදුවීම් මාලාවෙදි අපි කාදිනල්තුමා දිහා බලල හාමුදුරුවෝ දිහා හැරිල බැළුවොත්  ඒක තේරෙනව. කාදිනල් නවතින්න කියද්දි අපේ භික්ෂූන් යමු, ගහමු වගේ තැනකින් අදහස් ප්‍රකාශ කරමින් හිටිය. වීරයො වෙන්න දැගලුව. අප්‍රේල් 21 පස්සෙ දින කිහිපයකින් ඇති වෙච්ච ගැටුමකදි මම දැක්ක සිවුරක් ඇදගත්ත භික්ෂුවක් ගෙයක් කුඩු කරන්න යන තරුණ රැලක් එක්ක බයික් එකක නැගල යනව. ඒක CCTV දර්ශන වලට අහුවෙලා තිබුන. එයාල තවදුරටත් භික්ෂුව කියල ආමණ්ත්‍රණය කරන්න අපිට බැහැ. නමුත් වර්ථමානයේ පවා ශීලයෙන් ගුණයෙන් අධික මිනිස්සුන්ගෙ ප්‍රශ්න වල බුද්ධිමත්ව මැදිහත් වෙන භික්ෂූන් වැඩ ඉන්නව. මම ඒ අයට ආදරය කරනව. සිවුර දාගත්ත හැම කෙනෙක්ම හාමුදුරු කෙනෙක් නෙමෙයි. ඒ විදියට හැසිරෙන භික්ෂූන් ගිහියොන්ගෙ කැටගරියට දාන්නත් අමාරුයි.

#. කවදාවත් සිවුරු අරින්න හිතිලා නැද්ද?

හිතිල නැහැ. කළකිරීම් ඇති වෙලා තියෙනව. ඒත් යන එක ඔප්ෂන් එකක් නෙමේ. මට මේකෙ ඉදන් කරන්න වැඩ ගොඩක් තියෙනව. මිනිස්සු හදන්න තියෙනව. රටට වැදගත් මැදිහත් වීමක් කරන මහපොලොවෙ දේශපාලනයක් කරන්න තියෙනව. එතනදි මට සිවුර ලයිසන් එකක්. ඒ ලයිසන් එක මම වැදගත් විදියට හසුරුවන්න ඕන. මේකෙදි මට රිදුන කියල මගෙ වගකීම පැහැර හරින එක වරදක්. මේ යුතුකම මම මට දානෙ දෙන දායකයා වෙනුවෙන් කළ යුතුමයි.

#. පොත එළිදක්වන වැඩේ වෙන්නේ කොහොමද?

ඒ උත්සවයෙ සංවිධාන කටයුතු මම කරන එකක් නෙමේ. මම අදුනන හිතවතියක් වන ආදර්ශා කරඳාන කියන අක්ක තමයි සියළු සංවිධානයන් සිද්ධ කරන්නෙ. ඒකට මමත් යම් යම් දායකත්වයන් දක්වනවා විතරයි.  KSP ප්‍රකාශනයක් විදියට "අහස් ඉම සිපගනිමි" කාව්‍ය කෘතිය එළිදක්වන්නෙ. කොළඹ මහවැලි කේන්ද්‍රයේ දි. හවස 02.00ට තමයි මේ වැඩේ තියෙන්නෙ. ඒකෙ ප්‍රධාන ආරාධිතයා වෙන්නෙ මම ඉතාමත් ගරු කරන පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ. දේශන දෙකක් සිදු කෙරෙනව. ප්‍රවීණ දේශක චූලානන්ද සමරනායක මහත්මා සහ කවියර සුනන්ද කරුණාරත්න මහත්මා. මම මේ වෙලාවෙදි හැමකෙනෙක්ටම විවෘත ආරාධනාවක් කරනව ඇවිත් යන්න එන්න. කවි බෙදාගෙන තේ එකක් බීල යන්න.

සංවාදය - කසුන් සමරතුංග