අපි සියල්ලෝ ම පඬු පැහැයෙ ගිලෙමින් ඉන්නෙ ! - සෝමසිරි ඒකනායක

අපි සියල්ලෝ ම පඬු පැහැයෙ ගිලෙමින් ඉන්නෙ ! - සෝමසිරි ඒකනායක

18 June 2019 11:48 am

සෝමසිරි ඒකනායක ගේ 'පඬු පැහැති කවි' කාව්‍ය සංග්‍රහය එළැඹෙන 21 වන සිකුරාදා සවස් වරුවේ සහෘදගත වීමට නියමිත ය. මේ එය නිමිති කරගෙන අප කතුවරයා සමඟ කළ කෙටි සංවාදයකි.

#. ඊනියා සදාචාරවාදීන් සහ ආගමික සංස්ථාවත් තව බොහොමයක් දේවලුත් එකතු වෙලා ලියන මිනිසුන් ගේ අඬු කඩන්න හදන මොහොතක ඔබ 'පඬු පැහැ කවි' නමින් කවි ගොන්නක් අප ඉදිරියෙන් තබන්න සූදානම් වෙනවා. එතැනින් ම අපි සංවාදය අවුළුවා ගමු. අපේ රටේ ලියන - කියවන අවකාශය තුළ මේ මොහොත ඔබ කියවගන්නෙ කොහොමද?

ඔබගේ ප්‍රශ්නයට මේ විදියෙ ප්‍රවේශයක් ගන්න මං කැමතියි. අතිශයෙන්ම කෲර මානුෂීය ඛේදවාචකයකට මුහුණ දීපු සමාජයක් අපි. මං කියන්නෙ අප්‍රේල් 21 සිදුවුණු සිදුවීම් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. මෑත ඉතිහාසයේ අවුරුදු 30 ක් තිස්සේ අවිලුණු යුද්ධයකට බඳුන් වුණු සමාජයක් අපි. එතෙනදි අපිට පුළුවන් මේ ගැටුම්වලින් අහිමි වුණු මිනිස් ජිවිත ප්‍රමාණය හරියටම නැතත් ආසන්න වශයෙන් හරි ගණන් හදල මෙච්චර ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා කියල කියන්න. දේපල වලට සිදු වුණු හානිය අනාගතයටත් බලපාන විදියට තක්සේරු කරල කියන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් වටින දේපල රටට අහිමි වුණාය කියල කියන්න. ආර්ථික විද්‍යඥයින්ට පුළුවන් මේ හේතුන් නිසා ආර්ථිකයේ කඩා වැටීම මේච්චරයි කියල විවිධාකාර දර්ශක ඔස්සේ කියන්න. ඒත් මේ සියළු දේවල් නිසා මනුෂ්‍යත්වයට වන බලපෑම, මනුෂ්‍ය සම්බන්ධතාවලට සිදුවන බලපෑම තක්සේරු කරන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකෙ කොහේවත් හොයාගෙන තියෙනව ද ? නැහැ.  ඒ කියන්නෙම ඉතාම අවාසනාවන්ත සමාජාර්ථික වටපිටාවක ගොදුරු බවට සමාජයක් විදියට අපි පත්වෙලා ඉන්නවයි කියන එක සම්බන්ධයෙන් මට නම් කිසිම දෙගිඩියාවක් නැහැ. එවැනි අවාසනාවන්ත තත්වයක ඉඳගෙන වුණත්, දේශපාලනික වශයෙන් ගත්තම සමාජයක් විදියට අපි කොතැනද ඉන්නෙ. මේ පවතින අවාසනාවන්ත තත්වය තුළ පවා, තම තමන්ගෙ ඉතාම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එහෙමත් නැත්නම් බලය පවත්වාගෙන යාම හෝ බලය ලබා ගැනීමේ පටු අරමුණු වෙනුවෙන් ලජ්ජාසහගත මට්ටමේ “ගේම්” ගහන වට පිටාවකයි අපි ඉන්නෙ. එතකොට ඉතාම  පැහැදිලියි මේ “ගේම්”  වල වින්දිතයින් බවට පත් වෙන්නෙ සමාජයේ එක් නිශ්චිත පිරිසක් පමණක් නෙවෙයි කියන එක. සමස්ථ සමාජයම හැම පුරවැසියෙක්ම අඩු වැඩි වශයෙන් මේ “ගේම්” වල ගොදුරු බවට පත් වෙලා. වින්දිතයින් බවට පත් වෙලා. මං විස්වාස කරන විදියට මේ පවතින තත්වය තුළ පුරවැසියන්ගෙ සහ නිර්මාණකරුවන්ගෙ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නීති වලින් සීමා කරන ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයක ප්‍රමාණයකින් පුරවැසියන්ට බලකරමින් ඉන්නව තම තමන්ගෙ භාෂණයේ සහ අදහස් ප්‍රකාශනයේ නිදහස සීමා කරගන්න කියල. රාජ්‍ය යාන්ත්‍රණය විසින්, ආගමික සංස්ථා විසින් සහ නිශ්චිත මොහොතේ පවතින අධිපතිවාදි මතවාදයන් විසින් සහ ඊනියා සචාදාරවාදීන් විසින් පුරවැසියන්ට වේවැලක් පෙන්වමින් තරවටු කරමින් ඉන්නව “හොද ළමයි” වගේ සද්දෙ නැතුව ඉන්න කියල. කෙනෙක් තර්ක කරන්න පුළුවන් එහෙම නෙවෙයි සමාජ මාධ්‍යවල පුළුල් පැතිරීමත් එක්ක ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න කියන්න නිදහස දීල තියෙනවයි කියල. ඇත්තටම ඒක එහෙමද ? අදහස් ලියන්න ප්ලැට්ෆෝම් එකක් තිබීම කියන එකෙන් තහවුරු වෙන්නෙ නැහැ භාෂණයේ සහ අදහස් ප්‍රකාශනයේ නිදහස දීල තියෙනවයි කියල. කාටත් ප්ලැට්ෆෝම් එක පේනව නමුත් පුරවැසියන් තුළ නිර්මාණය කරමින් පවතින අදහස් ප්‍රකාශ කිරීම සඳහා වන සමාජ භීතිකාව  නොපෙනී යනව. මේ තත්වය හොඳින්ම පෙනී යන සිදුවීම් කිහිපයක්ම පහුගිය සති කිහිපය තුළ සමාජ කරලියට ආව. නමුත් කීයෙන් කී දෙනෙකුට ද පුළුවන් වුණේ සමාජයේ මේ වෙනකොට තියෙන අධිපති මතවාදයන් එක්ක හැප්පෙන්න. ඒ සඳහා සමාජ මාධය තුළ හෝ වෙනත් මාධ්‍යවලින් තමන්ගෙ අදහස එළියට දමල මානුෂීය සංවාදයකට යන්න පුළුන් වුණාද? නැහැ. මේ මොහොතේ තියෙන අධිපති මතවාදයන් වලින් පරිභාහිරව අදහස් ප්‍රකාශ කරපු සියලු දෙනාටම වුණේ තම තමන්ගෙ මළ ගිය ඥාතින්ගේ ආත්මය පවා නැවත නැවත දූෂණය කරන හැටි දකින්න. ඒ නිසා අපි සමාජයක් විදියට දිනෙන් දින ඒ භීතිකාවේ ගිල්වමින් සිටිනව. නිදහස් සාධාරණ සංවාදයකට සමාජය තුළ පවතින ඉඩකඩ ඇහිරෙමින් යනව. අපිට අමතක කරන්න බැහැ කෙටිකතාවක් ලියල මුහුණු පොතට දාපු මනුස්සයෙක් මාස දෙකහමාරක් තිස්සෙ ඇප දෙන්නෙවත් නැතුව හිරේ ඉන්නවයි කියල එක. එවැනි සිදුවිම්වලින් දෙන පණිවුඩය එක්කයි අපට මේ මොහොතේ අපේ රටේ ලියන - කියවන අවකාශය තේරුම් ගන්න සිද්ද වෙන්නෙ.

#. දැන් වසරකට කවි පොත් සිය ගණනක් නිකුත් වෙන රටක් මේක. අනෙකුත් සාහිත්‍යය සහ කලා නිර්මාණත් අතීතයට සාපේක්ෂව වඩා වැඩිපුර එළිදකින ප්‍රවණතාවක් තියෙනවා. නමුත් රට සහ සමාජය තාම අඳුරේ. කවියකට හෝ කලා - සාහිත්‍යය නිර්මාණයකට රටක් - සමාජයක් අඟලක් ඉස්සරහට ගෙනියන්න කරන්න පුළුවන් අවම බලපෑමක්වත් නැද්ද?

සමාජයක් වෙනස් කිරීම කියන එක අනිවාර්යෙන්ම දේශපාලනික වැඩක්. එක දේශපාලනික වූ ක්‍රියාවලියක ප්‍රතිපලයක්. එතෙන්දි කලා - සාහිත්‍යය නිර්මාණකරුවන්ට  කරන්න පුළුවන් බලපෑම මොකද්ද කියන එක මැතකදී තැන් කිහිපයකදිම ප්‍රශ්න කරල තියෙනව දැක්ක. ලෝකයේ බොහෝ රටවල්වල කලා- සාහිත්‍ය ගමන්මග දිහා බැලුවම පෙනෙන කරුණක් තමයි ඒ රටවල්වල බිහිවුණ විශිෂ්ඨම නිර්මාණකරුවන් මෙන්ම නිර්මාණ බිහිවෙලා තියෙන්නෙ ඒ ඒ සමාජවල ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස හොඳින්ම ස්ථාපිත වෙලා තිබුණු, සමාජාර්ථික ප්‍රශ්න විසඳලා රට සුඛිත මුදිත වෙලා තිබුණු, කොටින්ම කියනවනම් සාමය සමගිය සහජීවනය සෞභාග්‍ය  පිරී ඉතිරී ගියපු යුගවල නෙවෙයි. අතිශය තීරණාත්මක ගැටුම් පැවතිච්ච, දේශපාලනික වශයෙන් නන්නත්තාර වෙලා තිබුණු යුගවල ඉතාම හොඳ නිර්මාණ බිහි වුණා. මනුෂ්‍යත්වය පිළිබඳව සංවාදය පෝෂණය කළා. එක ඉන්දියාවෙත් එහෙමයි. යුරෝපයෙත් එහෙමයි. අප්‍රිකාව, ලතින් ඇමරිකාව, වගේම සෝවියට් දේශයෙත් එහෙමයි. ඒ වෙනත් සංස්කෘතියක බිහිවුණු නිර්මාණ කියවල රස විඳල අපේ සිතීමේ විදිය වෙනස් වුණේ නැද්ද? ඔබ මගෙන් නවකතා කෙටිකතා කවි පොත් කියවල නාට්‍ය බලල මම වෙනස් වුණා ද කියල ඇහුවොත් මට දෙසරයක් නොහිතා කියන්න පුළුවන් “ඔව් මං හිතන විදිය වෙනස් වුණා ” කියල. කොලොම්බියානු ලේඛක ගාර්ෂියා මාර්කේස්ගෙ කරුමක්කාර කතාවක් (ගාමිණි වියන්ගොඩ පරිවර්ථනය) කියවද්දි මං දරුණු විදියට කම්පාවට පත් වුණා. ඒකේ ප්‍රධාන චරිතය සාන්තියාගෝ නසාර් සාහසික ලෙස මරා දමන්න විකාරියෝ සහෝදරයින් දෙදෙනා  මන්න පිහි දෙකක් අරගෙන පැය ගණනාවක් තිස්සේ මග රැකල ඉන්නව. “අපි සාන්තියාගෝ මරන්නයි යන්නෙ” කියල හමු වෙන හැම කෙනෙකුටම කියනව. සාන්තියාගෝ නසාර් ඝාතනයට ලක්විමට නියමිතයි කියල ඔහු හැර මුළු නගරයම දැනුවත්. නමුත් ඒ නගරයේ වගකිව යුත්තන්ට පුර වැසියන්ට මේ කල් තියා දැනුම් දුන් මරණය වළක්වා ගන්න බැරි වෙනව. ඒ මරණය වළක්වා ගැනීම වෙනුවට මිනීමැරුම සිදු වෙන විදිය දැක බලා ගන්න පහසු පහසු තැන්වලට පුරවැසියන් එක්රොක් වෙනව. ඒත් සාන්තියාගෝ නසාර් ප්‍රසිද්දියේ ඝාතනයට ලක් කරනව. මේක මාර්කේස් ලියන්නෙ කොලොම්බියාවට අදාළව. නමුත් ලංකාවට අප්‍රේල් 21 මේක අදාළ වෙනව. එක්කෙනෙක් වෙනුවට 250කට වැඩිය මරා දමනව. අපේ රටේ නායකයො සහ වගකිව යුතු නිලධාරීන් අඩුම ගානෙ කරුමක්කාර කතාවක් කියවල තිබුණනම් මේ අනතුරු ඇඟවීම්වලට මෙයිට වඩා සංවේදී වෙන්න ඔවුන්ට ඔවුන් තුළින්ම බලපෑමක් එනව නිසැකයි. ඒ වගේම නිශ්ශංක විජේමාන්නගෙ “හඳපළුව තනිතරුව” වගේ නවකතාවක් කියවපු කෙනෙක්නම් එක් ආගමික අන්තවාදයකට ප්‍රතිචාර විදියට තවත් ආගමික අන්තවාදයක් යෝජනා කරන්න කලින් දෙසරයක් කල්පනා කරාවි. අනිත් සංස්කෘතීන් දිහා විවෘතව බලන්න පෙළඹේවි. අපි කාගෙවත් ලඟ ස්වොත්තමවාදී විදියට හිතන්න තරම් ඇත්ත හේතුවක් නැති බව තේරුම් ගනීවි. ලක්ෂාන්තගෙ “වැඩ ඇරී වැඩට යති ගැහැනු”වැනි කෙටි කවියක් කියවපු කෙනෙක් තමන්ගෙ බිරිඳ ගැන වෙනස් විදියක සිතීමකට පාළඹේවි. රටක් සමාජයක් යම් හෝ ප්‍රමාණයකින් ඉස්සරහට ගෙනියන්න නිර්මාණ කරුවන්ට සාහිත්‍ය කලාවට කරන්න පුළුවන් මොකද්ද කියන එකට උත්තර හම්බු වෙන්නෙ මෙන්න මෙතැනදියි. ඒ නිසා ප්‍රමාණාත්මකව සාහිත්‍ය කෘති වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් වෙනවාය කියන එක මට අනුව නම් සාධනීය දෙයක්. නමුත් ඒ ප්‍රවණතාවයේ හොඳම ප්‍රතිපල ලබන්න නම් ඒවායෙන් මතු කර ගන්න පුළුවන් සමාජ සංවාදය ඉස්සරහට ගන්න වෙනව. ඒ හොඳ සාධනීය සංවාදයක් හදා ගන්න පුළුවන්කම තියෙන සමාජ අවකාශය යටපත් කරන්න පුහු සදාචාරවාදීන්ට හෝ අන්තවාදීන්ට හෝ අධිපතිවාදීන්ට හෝ ආගමික සංස්ථාවන්ට ඉඩ නොදිය යුතුයි සහ නිර්මාණකරුවන් වඩාත් විවෘත මනසිකින් සමාජය සහ අනෙකා දෙස බැලීම සිදු කළ යුතුයි. අන්න එතකොට පුළුවන් වේවි යම් දවස මේක හොඳ ප්‍රවණතාවයක් බවට පත් කර ගන්න. 
ඒ නිසා සාහිත්‍ය කියන දිගු කාලීන ක්‍රියාවලිය මිනිසුන් තුල යම් වෙනසක් ඇති කරන්න යොදා ගැනීමේ හැකියාව ඇති ඥානය ලබා දෙන වගේම මිනිසා තුළ ප්‍රබෝධයක් ඇති කරන්න පුළුවන් ක්‍රියාවලියක් විදියටයි මං දකින්නෙ.

#. මේ පසුබිම ඇතුළෙ කවියෙකුට අදාළ විශේෂ භූමිකාවක් තියෙනවද?

සෑම සාහිත්‍ය කලා අංගයකටම සුවිශේෂී වූ විභවයන් තියෙනව. සමහර සමාජ දේශපාලන අනුභූතීන් කවියකට හෝ කෙටිකතාවකට ගොනු කරන්න බැරි වෙන්න පුළුවන්. එයට නවකතාවක්ම අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම පිටු තුන්හාරසියයක නවකකතාවකින් කම්පනය කරන්න බැරි හිතක් එක් කුඩා කවියකින් කම්පනය කරන්න පුළුවන් වෙයි. ඒ වගේම තවත් කවියකින් පුළුවන් වෙයි ජීවිතය පිළිබඳව තමා තුළට එබෙන්නාවූ යම් දාර්ශනික කල්පනාවන් අවදි කරවන්න. තවකෙකුට පුළුවන් වේවි දවසින් දවස දියවෙමින් යන අපේම සමාජ සම්බන්ධතා අපේම මානුෂිය සම්බන්ධතා පිළිබඳව පාඨකයාට අලුත් සිතිමක් ගෙන දෙන්න. තවකෙකුට පුළුවන් වේවි ස්වභාව ධර්මයා පිළිබඳව වඩාත් පුළුල් වූ කථිකාවකට හවුල් වෙන්න.  තවකෙකුට පුළුවන් වෙයි අප තුලම ජිවත් වන නරුමයින් මුගධයින් එළියට ඇදල දමන්න. ඒ වගේ ම පාඨකයාත් ඒ සඳහා පොළඹවන්න. මේ කොයි විදියට ගත්තත්, මනුෂ්‍යත්වය පටු සීමා මායිම් වලින් ඉරි ගහල බෙදල වෙන් නොකරන තාක්කල්, පුහු සදාචාරයන්ට හෝ අන්තවාදයන්ට මුවා වෙලා සමාජයේ තවත් එක් කොටසක් ආන්තිකරණය නොකරනතාක් කල් කවියෙකුට සුවිශේෂි භූමිකාවක් තියෙනව. ඒ තමයි පාඨකයාගේ සිතීම් කලාපය පුළුල් කරන්න සහ අලුත් ඇහැකින් දේවල් දිහා බලන්න වගේම තමාද ඇතුළත් මේ සමාජය නැවත කියවිමකට ලක් කරගන්න පාඨකයාව පොළඹවන එක. මොකද නිර්මාණකරුවාට තියෙන්නෙ බලය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. යුක්තිය සාධාරණත්වය සහ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක්. සරලවම කියනවනම් කවියා හෝ සාහිත්‍යකරුවන්ට තියෙන්නෙ ශිෂ්ටසම්පන්න සමාජයක් පිළිබඳ අපේක්ෂා බිඳ නොදැමීමට සහ අත් නොහැර සිටීම සඳහා වන සංවාදයක   තමන්ගේ පාඨක රසික ප්‍රජාව සමග නිරත වීමයි.

#. අටෝරාසියක් චලන මැද්දෙන් ඔබ 'පඬු පැහැ කවි' එළියට දමන්නේ එහෙම නැත්නම් සහෘදගත කරන්නෙ ඊට සුදුසු ම වෙලාව මේක කියල හිතුණ නිසාද?

පසුගිය අවුරුදු දෙකක කාලයක් තිස්සේ කළ නිර්මාණ 'පඬු පැහැ කවි' තුළ අන්තර්ගතයි. ඒ මේ මොහොත් සමාජය සම්බන්ධයෙන් වන මගේ කියවීම. මා සම්බන්ධයෙන් වන මගේ කියවීම. අප වටා විවිධ බාධක තිබුණත් සමාජ සංවාදයෙන් පැනල යන්න හෝ දුරස් ව ඉන්න බැහැ. මේ මොහොතේ ඒ සංවාදයට මට සම්බන්ධ වෙන්න පුළුවන් මොඩලය විදියටයි කවිය හෝ සාහිත්‍ය මා විසින් තේරුම් ගන්නෙ. අප්‍රේල් 21 සිදුවිම් සමග සමාජය යම් තැතිගැන්මකයි සිටින්නේ. ඒක හරිම සාධාරණ තැති ගැන්මක්. නමුත් සිදුවිම්වලින් පස්සෙ සමාජයක සමස්ථ ක්‍රියාවලිය නතර විය යුතු නැහැ. සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට යා යුතුයි. ඒ නිසාම අපි තීරණය කළා විවිධ බාධක අභියෝග මැද වුණත් මේ සංවාදයට ඇතුළු වෙන්න. ඒ නිසා මං හිතනව මේක තමයි 'පඬු පැහැ කවි' එළියට දමන්න සුදුසුම වෙලාව කියල.

#. ඔබ මෙහෙම ලියනවා. 'ලේ නැති ව නිල් වෙච්ච පපුවක කොහෙන් ද තෙතක් - ගල් වෙච්ච පපුවකට මොකටද මතකයක්?' මම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව එතැනින් නතර වෙනවා. ඔබට ඔබ කැමති ඕනෙ ම දෙයක් පිළිතුර විදියට කියන්න පුළුවන්?

අපි සමාජයක් විදියට ගිලෙමින් ඉන්න එක්තරා ආකාරයක පඬු පැහැයක. මේ සමාජය කිසිඳු ආකාරයකින් දිස්නෙ ගහන්නෙ නැහැ. දීප්තිමත් නැහැ. හැම දේම මලානිකයි. සමහර විට අඳුරුයි. නිශ්චිත හැඩයක් පාටක් නැහැ. යුක්තිය සාධාරණත්වය ගත්තත් කාටත් පොදු නැහැ. සමානයන්ට විතරක් පොදුයි. සම්බන්ධතා වලින් හමුවිම්වලින් අපේ හිත් කීරි ගැහිල යන්නෙ නැහැ. අහිමි වීම් වලින් හැර යාම් වලින් බරපතල විදියට රිදෙන්නෙ නැහැ. ඔබත් මාත් ඇතුළු අපි සියල්ලම මේ පඬු පැහැයෙ තමයි ගිලෙමින් ඉන්නෙ. මං කියන්නෙ යම් යම් උත්කර්ෂවත් සිදුවීම් තියෙන්න පුළුවන්. ඒව පෞද්ගලිකයි බොහෝ විට. නමුත් සමාජයක් විදියට අපි ඉන්නෙ උත්කර්ෂයක නෙවෙයි. ඉතිං 'ලේ නැති ව නිල් වෙච්ච පපුවක කොහෙන් ද තෙතක් - ගල් වෙච්ච පපුවකට මොකටද මතකයක්?' පපුවට ලේ පිරෙන්න ඕන. මතකයන් දරා ගන්න පුළුවන් විදියට මෙලෙක් වෙන්න ඕන. එතකොට අපි කාටත් අනෙක් කෙනාව දැනෙයි.

#. පොත එළිදක්වන වැඩේ සිදුවෙන්න නියමිත කොහොමද?

'පඬු පැහැ කවි' ජුනි 21 හවස 3.15 ට මහවැලි කේන්ද්‍රයේදි සහෘදයින් අතට පත් වෙනව. ඒ කියන්නෙ එදයින් පස්සෙ මම මගේ කවිවල පාඨකයෙක් බවට පත් වෙනව. මගේ පාඨකයින් කවීන් සහ විචාරකයින් බවට පත් වෙනව. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේම වූ ආකාරයකට ඒව අර්ථ ගන්වාගන්න. ඒ අර්ථ ගන්වා ගැනීම්වල සහ විඳිම්වල අයිතිකරුවන් ඔවුන්. ප්‍රවීණ පරිවර්ථකයෙකු මෙන්ම කවියෙකුද වන  සාහිත්‍යවේදී චූලානන්ද සමරනායකයන් සහ සමාජ මාධ්‍ය තුළ මෑත කාලීනව අධිපති මතවාදවලින් බැහැරව සමාජය කියවන්නෙකු වන කපිල ජනක බණ්ඩාර කෘතිය සමග සංවාදයක් ගොඩනගාවි. ඉතිං මං කැමතියි ආරධනා කරන්න මේ අවස්ථාවට සහභාගි වෙන්න පුළුවන් සියලුම දෙනාට 'පඬු පැහැ කවි' ඔබටත් දැනෙනවද බලන්න එන්න කියල.

#. අන්තිම ප්‍රශ්නය! රටේ මේ මොහොත අපට පැහැදිලියි. ඔබට අනූව ඊළඟ මොහොත කෙසේ වෙයිද, කෙසේ විය යුතුද?

රටේ ඊ ළඟ මොහොත කෙසේ විය යුතු ද කියන එක ගැනනම් කිසිඳු ගැටළුවක් නැහැ මොකද අපි ඉන්නෙ අභිමානයෙන් යූතුව නැවත නැවත සිහි කර කර රස විඳින්න පුළුවන් මතකයන්වල අයිතකරුවන් විදියට නෙවෙයි. ඒ නිසා මේ පවතින තත්වයට ආදරය කරන්න මට නම් කිසිඳු හේතුවක් නැහැ. ඒ නිසා මේ තත්වයන් මේ විදියට පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී ඉන්න හේතුවක් නැහැ. නිසැකවම මේ සමාජාර්ථික හා දේශපාලන ක්‍රමය වෙනස්විය යුතුයි. ඒක බලය හොබවන පිරිස වෙනස් විමක් නෙවෙයි මේ පවතින ක්‍රමය හා තත්වයන් වෙනස් විමක් විය යුතුයි. එහෙම නැත්නම් වෙන්නෙ ඉතිහාසය නැවත ප්‍රහසනයක් විදියටත්, ඛේදවාචකයක් විදියටත් අපට නැවත නැවත සම්මුඛ වීම පමණයි. ඒ නිසාම හොඳ සමාජයක් පිළිබඳව වන අපේක්ෂා අත් නොහැර දරා සිටීමේ අභියෝගයට මුහුණ දෙන්න අපි කාටත් සිදු වෙනව. 

සංවාදය - කසුන් සමරතුංග