වයින් ඇයි ගෑණුන්ට? බ්‍රැන්ඩිත් දෙන්න! - සමීර පෙරේරා

වයින් ඇයි ගෑණුන්ට? බ්‍රැන්ඩිත් දෙන්න! - සමීර පෙරේරා

14 June 2019 01:03 pm

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙකු වන සමීර පෙරේරා එළැඹෙන ජූනි 24 වනදා 'ඈ කුරුසියක් තිළිණ කළාය' නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කරන්නට සැරසෙයි. මේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ කළ කෙටි සංවාදයකි.

#. සමීර පෙරේරාට කවි ලියන්න හිතුණෙ ඇයි?

මුල්ම කාලෙදී කවි ලියන්න හිතුනෙ එකට තියලා අමුණපු වචන ටිකක් අන්තිමට ලස්සන නිර්මාණයක් වෙනවා කියලා දැනුන නිසා. ඒ කාලේ මම 'කවිය' හරියට අඳුරන්නේ නැහැ. ඒත් පස්සේ පස්සෙ කාලෙකදි කවියක් කියන්නේ සීරියස් සබ්ජෙක්ට් එකක් කියලා මං ඉගෙන ගත්තා. ඉතින් කවියක් කියන්නේ අපේ හිතේ මැවෙන කොන්සෙප්ට් එකක් එළියට දාන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉස්තරම් ක්‍රමයක් කියලා මං හිතනවා.  ඒ නිසා මං කවි ලියනවා. කවිය හොඳ ශිෂ්ටසම්පන්න අවියක්.

#. කවියකින් ඔබ බලාපොරොත්තු වෙන යමක් තියෙනවද, නැත්නම් කවි ලියන එක ආතල් එකක්ද?

ඒක සාපේක්ෂ උත්තර තියෙන ප්‍රශ්නයක් කියලයි මට හිතෙන්නේ. කවිය ලියන කෙනා භාවිතා කරන වචන, ශෛලිය, චරිත, අත්දැකීම් වගේ දේවල් එක්ක කවිය රසවිඳින සාමාන්‍ය කෙනාට කවිය කියවල ඉවර වුනාම හිනාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි කවිය ලියපු කෙනා ඒ කවිය ඒ විදිහට ලිව්වෙ බරපතළ සමාජීය-දේශපාලනික කියවීමක් එක්ක වෙන්නත් පුළුවන්. ඒ නිසා කවියකින් බලාපොරොත්තු වෙන යමක් වගේම පට්ට ආතල් එකකුත් කවියක් අස්සෙ තිබුනට වරදක් නැහැ කියලා හිතනවා. ආතල් එක කියන එකත් සාපේක්ෂයිනේ. බොහොම සංවේදී පට්ට සීරියස් කවියක් ලියලා ඒ කවිය හරියටම ලියැවුණොත් ඒකෙන් ලැබෙන සතුටත් කවියෙකුට වෙනම ආතල් එකක්. බලාපොරොත්තුවත් ඒකම වෙන්න පුලුවන්.

#. කවියෙන් - එහෙම නැත්නම් සමස්ථයක් විදියට ගත්තම සාහිත්‍යයෙන් සමාජයට කරන්න පුළුවන් බලපෑම මොකද්ද?

කවියෙන් සාහිත්‍යයෙන් සමාජයට බලසම්පන්න බලපෑමක් කරන්න පුළුවන්. ඉතිහාසයේ ඉඳන් ඒකට ගොඩක් උදාහරණ තියෙනවා. කලාතුරකින් හරි හොඳ කවි පොතක්, නවකතාවක්, හොඳ වේදිකා නාට්‍යයක්, හොඳ ටෙලියක් හරි හොඳ සිනමා නිර්මාණයක් හරි ලංකාවෙ බිහිවෙනවා. හැබැයි ඒක රට පුරාම ගමන් කරන්නේ නැති නිසා හරි, නොදැනුවත්කම නිසා හරි, සපෝර්ට් එකක් නැති කම නිසා හරි නිර්මාණයක් වැළඳගන්නේ සීමිත පිරිසක්. ඒ පිරිස අතර හොඳ හැටි නිර්මාණය ගැන කතාබහට ලක්වෙනවා. නමුත් එතනින් එහාට ගමන් කිරීමක් නැහැ. හැබැයි සාහිත්‍ය නිර්මාණයක් කියලා කියන්නේ ඕනෙම දැවෙන ප්‍රශ්නයකට උත්තරයක් ලබා දෙන්න පුලුවන්, ඕනෙම හිතකට කතා කරන්න පුළුවන් හොඳ ටූල් එකක්.

#. 'ඈ කුරුසියක් තිළිණ කළාය.' මොකද්ද මේ?

'ඈ කුරුසියක් තිළිණ කළාය' කියන්නේ මගේ පළවෙනි පොයම් කලෙක්ෂන් එක. 

#. පොතේ නම ම අපූරුබවකින් යුක්තයි. අපට කියන්න නම සහ පොතේ අන්තර්ගතය ගැන යමක්?

පොතේ නමේ තියෙන වචන ටිකෙන් කියවෙන උඩු අර්ථයට වඩා තරමක් වෙනස් වැඩක් පොත ඇතුළේ තියෙනවා. කවි පොත ඇතුලේ තියෙන කවියකින් තමයි 'ඈ කුරුසියක් තිළිණ කළා ය' කියන නම පිටකවරයට එන්නෙ. පොතේ අන්තර්ගතයෙන් ආදරය, විරහව, සමාජය, සම්බන්ධතා, අසාධාරණය, ගැහැණිය, කැප කිරීම් වගේ දේවල් මාතෘකා කරගත්ත කවි එකතුවක් රසවිඳින්න පුළුවන්. තිළිණයක් කියන්නෙ හැමවෙලේම හිත් සතුටු කරවන දෙයක්ම නෙමෙයි. ඒ නිසයි 'තෑග්ගකට සූක්ෂ්ම ම රැවටුම් ලැබුනු අය මතකැතිව ඒ තිළිණය අරන් එන්න' කියලා කවි පොතේ කැම්පේන් එකේදි කිව්වෙ. සමහරු මේ වගේ මාතෘකාවක් පාවිච්චි කරාම ආගමත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙන බවක් හිතන්න පුලුවන්. ඒකට උත්තරේ එදාට ලෑස්තිකරල තියෙනවා. ඒත් එක්කම මේ කොන්සෙප්ට් එකේදි, කුරුසිය තිළිණ කරන්නෙ නලල ට තිලක තියන සිංහල චුට්ටවත් බැරි කෙල්ලෙක්. හැබැයි එයාම එක තැනකදි කියනවා 'වයින් ඇයි ගෑණුන්ට? බ්‍රැන්ඩිත් දෙන්න' කියලා.

#. පොත එළිදක්වන වැඩේ වෙන්නේ කොහොමද? 

පොත එළිදැක්වීම වෙන්නේ ජූනි 24 වැනි සඳුදා හවස 4.00 ට කැලණිය කැම්පස් එකේ ක්‍රිස්ටෝ වේදිකාවේදී. කැලණිය කැම්පස් එකට ඇවිත් ඕනෙම කෙනෙක්ගෙන් ක්‍රිස්ටෝ හෝල් එක තියෙන්නේ කොහෙද ඇහුවොත් තැන හොයාගන්න අමාරුවක් නැහැ. එදාට අපිත් එක්ක අදහස් බෙදාගන්න එකතු වෙන්නේ 'සඳක් නැති වෙන්න ඉඩ ඇත' ආදී කවි නිර්මාණ කරපු ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න සහ 'රැඩිකල් පත්තිනි' ආදී ලස්සන ගීත නිර්මාණ ඉදිරිපත් කරපු තරිඳු දම්සර කියන නිර්මාණකරුවන්. මීට අමතරව හැමදාම වගේ කවි වලට ආදරය කරන ගොඩක් දෙනෙක් එදාට එකතු වෙනවා. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා 'එදාට එන්න, 'කවි එක්ක හුස්ම ගන්න'.

#. ඔබ විශ්වවිද්‍යාලයේ මොනවද හදාරන්නේ?

සිනමාව සහ රූපවාහිනී අධ්‍යනය විශේෂවේදී උපාධියක් හදාරනවා.

#. වත්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ සාහිත්‍යය - කලා මැදිහත්වීම ගැන ඔබට තියෙන්නේ මොන වගේ තක්සේරුවක්ද?

සාහිත්‍යය-කලාව වෙනුවෙන් වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ මැදිහත් වීම තව තවත් වැඩි වෙනවා නම් හරි අගෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යා කියන්නේ හැම අතින්ම රටේ වැදගත්ම කොටසක්. ඔවුන් අතින් බිහිවෙන බහුතරක් නිර්මාණ වල ගත යුත්තක් තියෙනවා මොනයම් හෝ විදිහකින්. අඩුම තරමින් සාර්ථක උත්සාහයක් හරි තියෙනවා. නමුත් සාහිත්‍යය-කලාව වෙනුවෙන් මැදිහත් වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගෙනුත් එක්තරා කුලකයක් විතරයි. හැබැයි බහුතරයක් කලාවට සංවේදියි. ඒ නිසා මැදිහත්වීම සහ සිදු කරන බලපෑම තවත් වැඩි වෙනවා නම් මං සතුටුයි. ඒ වගේම ඒ වෙනුවෙන් ලැබෙන්න ඕනේ සපෝර්ට් එක කොහොම සුහදශීලී වෙන්න ඕනේ. කැම්පස් කොල්ලෝ කෙල්ලෝ අතින් තාමත් කවියක්, සින්දුවක් ලියැවෙනවා. ගත යුත්තක් තියෙන නාට්‍ය නිර්මාණය වෙනවා. කොල්ලො කෙල්ලො ටික එකතු වෙලා ෂෝර්ට් ෆිල්ම් හදල කොහොම හරි ජාත්‍යන්තරයටම අරන් යනවා. ඒ නිසා නිර්මාණාත්මක මිනිස්සු ටිකක් කැම්පස් වල ජීවත් වෙනව කියන්න පුලුවන්. ඒ පිරිස තවත් දහස් ගණනින් වැඩි වෙනවා නම් හොඳයි. 

#. අපේ රටේ වගේම ලෝක සාහිත්‍යයෙනුත් ඔබට බලපාපු චරිත සහ නිර්මාණ මොනවද, ඒවායෙන් ඔබ ලැබුවෙ කොහොම ආභාසයක්ද?

නම් ගම් බොහොමයක් සඳහන් කරන්න පුලුවන්. ඒ නිසා කමයි මං පොතේ පිදුමට ලිව්වෙ 'මෙතෙක් හමු වූ සියලු ගැහැණු මිනිසුන්ට සෙනෙහසින්... ඒ නම් සදා නොමියෙනු ඇත' කියල. ඉතින් මං දේවල් ඉගෙන ගත්ත, තාමත් දේවල් ඉගෙනගන්න මගේ හිත ගත්ත නිර්මාණ බොහොමයක් තියෙනවා. ඒ අතරින් ලෝක සාහිත්‍යය ගත්තොත් මැක්සිම් ගෝර්කිගේ 'අම්මා', 'කමකට නැති එකෙකුගේ ජීවිතය', ඇලිස් වෝකර්ගේ 'දම් පාට කතාව' ආදී නිර්මාණවලට මං හරි ලැදියි. ඒ වගේම ලංකාවේ නාමල් ජයසිංහ, උපුල් ශාන්ත සන්නස්ගල, එරික් ඉලයප්ආරච්චි ගේ ලියැවිල්ලට මං කැමතියි. නාට්‍ය නිර්මාණ ගැන නම් මං ලොකු දැනීමක් නැහැ. ඒ වෙනුවෙන් ලව් එකක් විතරයි තියෙන්නෙ. හැබැයි යාළුවොත් එක්ක බලන්න ගියපු නාට්‍යවලින් 'ආදරයේ ඔන්චිල්ලාව', 'නයිට් ඩියුටි', 'බෝම්බයක් ඉතුරුයි' ආදී නිර්මාණ මේ අවුරුද්දෙ රාජ්‍ය නාට්‍ය උළෙලේදී මගේ හිත දිනාගත්තා. සිනමාවේදි හැම නිර්මාණයකටම මම මාව එකතු කරගන්නවා. හේතුව තමයි මං ඉගෙන ගන්නෙත් සිනමාව. කවිය ගැන කතා කරොත් මං කැමතිම රචකයා මංජුල වෙඩිවර්ධන. ඒ කවි හරි රහයි. ඒ වගේම දේශපාලනිකයි. මහගම සේකරගේ 'ප්‍රබුද්ධ' මගේ හිත ගත්ත පොතක්. ටිම්රාන් කීර්ති, ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න ආදී අයත් මට කවිය ගැන ගොඩක් දේවල් කියලා දීල තියෙනවා. ඇකඩමික් ජීවිතේට අමතරව ඒ මිනිස්සු තමයි මට ඉගැන්නුවේ කවියක් කියන්නේ, විෂුවල් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ සීරියස් සබ්ජෙක්ට් එකක් කියලා. 

#. පොතෙන් පස්සේ ඉදිරි වැඩ කටයුතු කොහොමද?

පොතෙන් පස්සේ දිගටම නිර්මාණ ඇතුළෙ මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දිගටම, නොවැරදීම මගේ-අනුන්ගේ කවිත් එක්ක ඉන්නවා. ඊළඟට නිශ්චිතවම කියන්න පුළුවන් නිර්මාණය කෙටි චිත්‍රපටියක්. එකේ වැඩත් මේ දවස් වල සිදු වෙමින් පවතිනවා. 'ඈ කුරුසියක් තිළිණ කළාය' කවි එකතුවක් එක්ක ඊට සමගාමීව තව නිර්මාණ දෙකකුත් එදාට එළිදක්වනවා. ඉතින්, කවියට ආදරය කරන හැමෝම මං ආදරයෙන් මතක් කරන ගමන් හැමෝටම සෙනෙහසින් ආරාධනා කරනවා 'එදාට එන්න, කවි එක්ක හුස්ම ගමු!'

සංවාදය - කසුන් සමරතුංග