මේ තමයි නූතන නොරිකොසං - සමෘද්ධි දේශෝධාර ලියනගේ

මේ තමයි නූතන නොරිකොසං - සමෘද්ධි දේශෝධාර ලියනගේ

8 June 2019 02:31 am

ඩී. එල්. සමෘද්ධි දේශෝධාර ලියනගේ තරුණ කවියා 'මම නොරිකොසං' නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කරන්නට සැරසෙයි. එළැඹෙන 9 වන ඉරිදා උදෑසන 9.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී එය එළිදකින්නට නියමිත ය. මතු දැක්වෙන්නේ ඒ නිමිති කොටගෙන අප ඔහු සමඟ කළ කෙටි සංවාදයකි.

 

#. ඔබට අනූව කවියක් කියන්නෙ මොකද්ද?

මට කවිය කියන්නෙ මේක කියල හරියට ම කියන්න බැහැ. කවිය වර්තමානය වෙද්දී භාෂාවත් සමඟ සම වෙලා අවසානයි. දුක, සතුට, කඳුල, ප්‍රීතිය, බිය ආදී ඕනෙ ම දෙයක් අද කවිය ලෙස ලියවෙමින් පවතිනව. මගේ අදහස අනූව කවිය කියන්නෙ දුක, සතුට ආදී සියලු ම දේ ප්‍රකාශ කෙරෙන භාෂාවක්.

#. කවියෙක් කියන්නෙ කවුද?

කවියෙක් කියන්නෙ පද හතරක් ගලපන කෙනෙක් කිව්වොත් වැරදියි. පද හතරක් ගලපන කෙනෙක් කවියෙක් වෙන්නෙ නැහැ. මට අනූව සුළු දෙයක් වුණත් සංවේදී ව විඳින පුද්ගලයෙක් කවියෙක්. කවියෙක් කියන්නෙ පුදුම සහගත ලෙස බැලිය යුතු කෙනෙක් නෙවෙයි. කවියා කියන්නෙත් සාමාන්‍ය කෙනෙක්. කවියා සහ සාමාන්‍ය පුද්ගලයා වෙනස් වෙන්නෙ හිතන පතන විදියෙන්. සතත අභ්‍යාසය දියුණු කරගත් සංවේදී පුද්ගලයෙක් කවියෙක් කියල මම හඳුන්වනව.

#. ඔබ කවියෙක්ද?

මම කවියෙක්ද කියන ප්‍රශ්නෙට පිළිතුර මට වඩා මගේ කවි රස විඳින අයයි දිය යුත්තේ. සංවේදී හදවතක් තියෙන පුද්ගලයෙක් නිසා මම කවියෙක් කියල මම හිතනවා.

#. ඇයි ඔබ කවි ලියන්නෙ?

වර්තමාන සමාජය දිහා බැලුවා ම සමාජ ජීවිතයේ හැංගුන දුක්බර කරුණු අති විශාලව තියෙනව. නමුත් ඒවා පිළිබඳව කවුරුත් සාකච්ඡා නොකරන බවක් පේන්නෙ. කාටවත් නොපෙනුන අසාධාරණයට ලක් වූ, කතා නොකරන චරිත ගැන මට කතා කරන්න උවමනාවක් තිබුණ. ඔවුන්ගෙ හීන මාලිගාවල දොරවල් ඇරල බලන්න, ඒවාට ඇහුම්කන් දෙන්න මම කවි ලියන්න ගත්ත. නමුත් මුලින්ම මම ලියන්න ගත්තෙ මගේ දුක. ඉන් එහා දුක් ගිනි මට පෙණුන. ජීවිතේ මම දැක්ක. ඒව තමයි කවිවලට වචනවලින් පරිවර්තනය වුණේ.

#. 'මම නොරිකොසං' ඔබේ කුළුඳුල් වෑයම. කියන්න ඒක ගැන විස්තර?

නොරිකොසං යන නම කන වැටුනු සැණින්ම ඕනෙම කෙනෙක්ගෙ හිතට එන්නෙ මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා යන අපූර්වතම නවකතා ද්විත්වය. විශිෂ්ට කෘතියක එන ප්‍රධාන චරිතයට පණ පෙවීම ම කවි ලෝකයට කෝඩුකාරයෙකු වූ මට මහත් අභියෝගයක්. නමුත් මේ කියන නොරිකොසං ගේ චරිතය නූතන නොරිකොසං ලෙස මම අර්ථකථනය කරනව. මෙහි හොඳ නරක විචාරය කිරීම පාඨකයන් සහ විචාරකයන් සතු රාජකාරියක්.

#. පොත එළිදක්වන වැඩේ වෙන්නෙ කොහොමද?

'මම නොරිකොසං' කාව්‍ය සංග්‍රහය ජුනි මස 09 වැනි ඉරු දින උදේ 9ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී දොරට වඩිනවා. සාහිත්‍යධර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සාහිත්‍යධර සෙනරත් ගොන්සල් කෝරාළ සහ නිවේදක මහේශ් නිශ්ශංක යන අය ග්‍රන්ථය ගැන ඔවුන්ගේ අදහස දෙසවන තවරන අතර එදිනට ම මගේ කෘතියෙන් එන කවි කීපයක් ගීත බවට පරිවර්තනය වීමට ද කටයුතු සලස්වා තිබෙනව.

#. සයිබර් අවකාශය ලියන්න මොන තරම් උත්තේජනයක් ලබා දුන්නද?

මම මුහුණු පොතට මුලින්ම ගොඩවැදුනේ 2014 වසරෙ අග භාගයේදි උසස්පෙළ හැදෑරීමෙන් අනතුරුවයි. මුලදී මම අම්ම ගැන තාත්තා ගැන කවි ලිවුවත් පසුව මට හිතුන පොතක් සඳහාම කවි ලියන්න. මම 2016 වර්ෂයෙදී පමණ තමයි කවිය අඳුන ගන්නෙ. මම එක් එක් කණ්ඩාම්වලට කවි ලියන්න පටන් ගත්ත. මුහුණුපොතේ විවිධ කණ්ඩායම් මගේ කවි නිවැරදි කළා. මගේ සිතුවිලි කවි කරල ඉදිරිපත් කළ පසු මගේ පන්හිඳට පණ දුන්නෙ මුහුණු පොතේ රසවිඳින්නන්.

#. පොතෙන් පස්සේ ඉදිරි වැඩ කටයුතු කොහොමද?

මම අනාගතයේ දී ත් ලියන්න බලාපොරොත්තු වෙනව. ගොඩක් අය වගේ මාත් හීන පස්සෙ දුවන කෙනෙක්. ඒ හීනෙට තව ගොඩාක් දුර යන්න තියෙනව. ඒ හීනයේ ම කොටසක් තමයි මේ එළි වෙන්නෙ. ඉතිං කවි මල් පිපෙන වසන්තය එනකල් මම ඇඟිලි ගනිනවා.

සංවාදය - කසුන් සමරතුංග