ආගමට එහා ගිය ආදරය පිළිබඳ උමතුවකින් අප පෙළිය යුතුයි - සුසන්ත මූණමල්පේ

ආගමට එහා ගිය ආදරය පිළිබඳ උමතුවකින් අප පෙළිය යුතුයි - සුසන්ත මූණමල්පේ

2 June 2019 03:09 am

පිදුම

අකමැති වූ නිසා
වෙස් මුහුණ ගැලවීමට
පුදමි
මම මට ම
මගේ ආශාවට

 

පිදුමම කවියක් වන් වූ කෙටි ආඛ්‍යාන එකතුවකට ඔබ පිටු පෙරළන්නේ එවන් පිදුමක් පසු කරමිනි. ආශාව සම්බන්ධයෙන් මනෝවිශ්ලේෂණාත්මක විග්‍රහයන් හි යෙදීමට මෙය අවස්ථාවක් නොකරගෙන එම අවස්ථාව කෘතිය තුළට ප්‍රවේශ වී ඔබටම සිදු කරගැනීමට අපි ඉඩ තබන්නෙමු. පසුගිය වසරේ ගොඩගේ කෙටි කතා අත්පිටපත් තරඟයේ ජයග්‍රහණය ලබා ගත් ‘රෝස මුසැන්ඩාස් පිස්සුව‘ නම් වූ කෘතියේ කතුවරයා වන සුසන්ත මූණමලපේ සමඟ ලංකා නිවුස් වෙබ් අඩවිය සිදු කළ කතා බහ පහතින් පළ වේ.

පොත් කවර නිර්මාණශිල්පියෙකු වශයෙන් ඔබ හැදින සිටි සුසන්ත දැන් ලේඛකයෙක් ලෙස හැදිනගැනීමට ඔබට පුළුවනි.

රෝස මුසැන්ඩාස් පිස්සුව කෙටි ආඛ්‍යාන එකතුව ඔබේ මනස් ගෘහයට පැමිණියේ කවරාකාරයෙන්ද?

පිටතින් පැමිණියා නොවේ. සියල්ල මා ඇතුළත තිබුනු මල්, ගල් ,කදුවැටි, නිම්න ,සැප, දුක් දෝමනස්සයන් කෙටිකතාමය ආකෘතියෙන් එලිදරව් වීමක් තමයි සිදු උනේ. 

කොහොම නමුත් කෙටි ආඛ්‍යාන කලාව වාණිජමය සාහිත්‍යය ප්‍රවර්ගයක් වශයෙන් මෙරටදී භාර ගත නොහැකි අවස්ථාවක ඇයි ඔබ හිතුවෙ ඔබේ ලිවිසැරියේ පළමු කෘතිය කෙටි වියමන් සමුච්චයකින් ආරම්භ කරන්න...

මේ කෘතිය එළිදකින්නේ ගොඩගේ අත්පිටපත් තරඟය හරහා. ඉතින් වෙළෙඳ පොල පිලිබද සිතීම.., කතුවරයා විදිහට දුරස්ථව සිටීමට හැකි වීම, මෙවන් ක්‍රියාන්විතයකින් එළිදකින පොතක් ලබන මහගු භාග්‍යයක්. මම ඒ භාග්‍යය උදා කරගත් එක්කෙනෙක් . 

පොත් කවර නිර්මාණය කිරීම කියන කාරණාවෙදි ඔබ ඔබටම අනන්‍යය වූ, එමෙන්ම එම කේෂ්ත්‍රය තුළ ඉතා ඉක්මනින් ජනප්‍රියභාවයක් හිමිකරගෙන ගමනක් යමින් සිටින අයෙක්. ඇත්තටම ඔබේ පළමු පොත් කවර නිර්මාණයේ සිට මේ දක්වා ඔබ විසින් නිමවන ලද පොත් කවර සම්බන්ධයෙන් ඔබ ඔබවම කියවගන්නෙ කොහොමද?

පළමු පොත් කවරයේ සිට මේ දක්වා කරපු, කරගෙන යන සියලු පොත් කවර නිර්මාණයට මම යොමු වන්නේ.., මේ මම කරන පළමු කවරය යන එළඹීම පදනම් කරගෙන. ලේඛකයා ප්‍රවිණ හෝ වේවා නවක හෝ වේවා මම කෘතිය එකම තලයක තබා සැලකීමට උත්සහ ගන්නවා. මේ හැම කවරයක් තුළින්ම ඊට ආවේණික ලෙස ගොඩනැගුණු යම් කිසි කතාවක් මට ඉතිරි වෙනවා. ඒක තමයි ආදාල ලේඛකයා සමග ඇතිවන කතාබහ .කතුවරයෙකු වචන වලින් පවසන දේ රූපමය ආකෘතියට ගොනුවන හැටි, වර්ණ හා හැඩතල මගේ මනසේ උපදින හැටි ආදි දේවල් වලින් ගොඩනැගුණු ලස්සන මතක ගොන්නක් . මම පොත් කවර නිර්මාණය තුළින් උපයන දේ විදිහට සලකන්නෙත් ඒක. ඉතින් මට ඒක හුදු විනෝදාංශයකට එහා ගිය දෙයක්. මොකද පසුගිය වසර කිහිපය තුළ මාගේ ජීවිතෙන් වැඩි ඉඩක් පිරිලා තියෙන්නේ ඒවායෙන්. මම හිතන්නේ මේතාක් දුරට යම් සාර්ථකත්වයක් ලැබුවනම් ඒකට මේ දේවල් ඉවහල් වෙන්න ඇති කියලා. 

පොත් කවර නිර්මාණකරුවෙක් විඳියට ඔබ කියන්නෙ පොත් කවර නිර්මාණය පොතට අවශ්‍යය වෙළඳ පරිසරය නිර්මාණය කරලා දෙන්න කරන මාර්කටින් වැඩක් නෙමෙයි කියලද?

මම කලින් සදහන් කරේ පොත් කවර හා මා අතර ඇති සහසම්බන්ධතාවය ගැන. පොදුවේ පොත් කවර කියලා ගත්තම ඒක වෙළෙඳ පොල නිර්මාණය කිරීමට වැඩි ප්‍රතිශතයකින් දායක වන දෙයක්.පොතක කවරයක් කියන්නෙ පාඨකයකයා හා ලේඛකයා යා කරන පාලමක් වගේ. පාඨකයෙක් ආකර්ශනය කරගැනීම හා සමගාමීව කෘතිය යම් ආකාරයකට නිරූපණය කිරීම කවර නිර්මාණ ශිල්පියකු සතු වගකීමක්. ඒත් මේ කවරයක තියෙන වටිනාකම මෙන්ම වැදගත්කම බොහෝ ලේඛකයන් මෙන්ම ප්‍රකාශකයන් වටහාගෙන නෑ. එහෙම නැත්තන් වටහා නොගත්තා වගේ ඉන්නවා. ඒ නිසා පොත් කවර නිර්මාණය කියන එක වෘත්තියක් මට්ටමට වර්ධනය වෙලා නෑ . සංජය ඈපා වගේ කිහිපදෙනෙක් යම් වෘත්තීය මට්ටමකින් කරගෙන ගියාට මේ කර්මාන්තය තුළ කවර නිර්මාණ ශිල්පියා නිවැරදිව ස්ථාපිත වෙලා නෑ . ඒත් සාහිත්‍ය ලෝකය හා සමගාමීව පිටකවර නිර්මාණයද යම් විකාශනයට ලක් වී ඇති බව පැහැදිලියි.

සුසන්ත අපි නැවතත් ඔබේ පළමු කෘතිය පැත්තට ගියොත්..., මෙහි එන මුල්ම කෙටි කතාව ස්-මරණය සහ ගස් -මරණය කියන කතාව තුළ මා දකිනවා ඉරණම සහ අපේ වත්මන් දේශපාලන දෘශ්ටිය සම්බන්ධ අපූරු රූපිකයක් ඔබ ඉදිරිපත් කරලා තියෙනවා කියලා....ඇත්තටම ඔබ පාඨකයෙක් වශයෙන් ඒ ගැන යමක් කියන්න කැමතිද?

පාරවල් පලල් කිරීම,ගොඩනැගිලි ඉදි කිරීම,සංවර්ධනය යැයි කියන මිත්‍යාවක අපි ගිලිලා ඉන්නෙ . භෞතික පරිසරයට යම් ආත්මයක් තියනවා කියන තැනට එන්න අපිට පුළුවන් වෙන්න ඕනි. දිනෙන් දින ආත්මීය කොටස හැළුනු සංවර්ධනය නිසා ලෝකය මෙන්ම සමාජයද හිස් අවකාශ බවට පරිවර්තනය වෙනවා. මේ රූපක හරහා මම උත්සහා කරේ ඒ දේවල් උද්දීපනය කරන්න . මෙතනදි මට මතක් වෙනවා කාංචනා අමිලානි ලියපු කවියක්. ඒක තියෙන්නනෙ ගාලු පාරේ යම් යම් ස්ථාන හා සලකුණු කිහිපයක් වෙනස් උන හැටි . මතුපිටින් විරහ කවියක් වගේ පෙනුනට යම් සමාජ අරුතක් යටිපෙළෙහි දිවෙනවා. අපි ස්ත්‍රිය නිර්වචනය කරන්න අපි හිතන සම්ප්‍රදායික මිනුම් දඩු වන දරුවන් බිහි කිරීම ප්‍රසූත වේදනාව දරා ගැනීම ලේ කිරි කර පෙවීම ආදි කරුණු වලින් බැහැරව නව දැක්මකින් ගැහැනිය දෙස බලන්න මම මේ රූපක ගනුදෙනුව යොදා ගන්නවා . විවාහය සමඟම ස්ත්‍රියකගේ ජීවිතය යම් ඛණ්ඩනයකට ලක් වෙනවා. ඒක භෞතිකව මෙන්ම අධ්‍යාත්මිකව සිදු වන්නක්. නිකන් බෝඩිං කාමරයක් මාරු කරනවා වගේ නෙමෙයි විශාල ආත්මීය කැප කිරීමක් කරන්න වෙනවා. කොස් ගහ රූපකය යොදාගෙන මම ඇය අත්හරින ජීවන කලාපය වෙනම රෝපණය කරලා ඇගේ මරණයේදී සම්මුඛ කරනවා. 

රෝස මුසැන්ඩාස් කෘතිය නිර්මාණය කිරීමේදී ඔබ ආභාසය ලබා ගත් වෙනත් ලේඛකයෙක් හෝ ලේඛන රටාවක් තිබෙනවද?

මම ශාස්ත්‍රීය අධ්‍යාපනයක් තුළින් කෙටිකතා කලාවට පය තිබ්බ කෙනෙක් නෙමෙයි ඒත් මම සිංහල සාහිත්‍ය කෘති යම් ප්‍රමාණයක් පරිශීලනය කරලා තියනවා. ඒවා තුළින් මම ආභාසය ලබනවා කියලා මම සලකන්නේ එම ලේඛකයන් වගේ නොවී සිටීමට උත්සහා කිරීමෙන් කියන එකටයි. ඒක සාර්ථක හෝ අසාර්ථක වෙන්න ඇති. ඔබ මේ ප්‍රශ්නය ඇසීමම යම් අසාර්ථකභාවයක සලකුණක් වියහැකියි.

නැහැ මම එහි අසාර්ථකභාවයක් සම්බන්ධයෙන් සඳහන් කළා නෙමෙයි. නමුත් මෝපසාන් ගෙ කෙටි කතා කලාවේ යම් යම් ආභාසයන් මං මේ කෘතිය තුළින් දුටුවා. ඒ නිසයි මා දේශීය ලේඛකයෙක් හෝ විදේශීය ලේඛකයෙක් හෝ ලේඛන රටාවක් කියන තැනට ප්‍රශ්නය යොමු නොකොට පොදුවේ ඔබේ හැදැරීම සම්බන්ධව අවබෝධයක් පාඨකයාට ලබා ගත හැකි අයුරින් ඒ ප්‍රශ්නය ඔබ හමුවේ තැබුවේ... ඉතිං ඔබේ හැදැරීම ඇත්තටම සිංහල සාහිත්‍යයට පමණක් සීමා වන්නක්ද?

මොපසාංගේ “නූල් කෑල්ල” කියන කතාව කියවලා තියනවා. මොකද ඒක අපේ සිංහල පාසල් පෙළ පොතේ තිබ්බා . ඒ ඇරෙන්න ප්‍රමාණවත් ලෙස විදේශිය කෙටිකතා පරිශීලනය කරා කියන්න බෑ . මම සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙනගත් පාසලේ පුස්තකාලයක්වත් තිබ්බෙ නෑ . පොතපත වැඩියෙන් කියවන්න අවස්ථාවක් ලැබුනෙ පසුකාලීනවයි . මට මතකයි මම ඉස්සර අයියා කැම්පස් ඉදලා පුස්තකාලයෙන් පොතක් අරන් නිවාඩුවට ගෙදර එනකන් බලා ඉන්නවා.

කව්රුන් හෝ කිව්වොත් රෝස මුසැන්ඩෑස් පිස්සුව කෘතිය ස්ත්‍රීවාදයට නැඹුරුයි කියලා මොකක්ද ඔබට දෙන්න තියෙන පිළිතුර?

මෙහි මූලික අභිප්‍රායක් උනේ මනුෂ්‍යත්වය ඉස්මතු කිරීමයි . මම හිතන්නේ ස්ත්‍රී වාදයට වඩා එහායින් තියෙන දෙයක් මෙය. ස්ත්‍රී වාදය එහි එක් සංඝටකයක්. මගේ නිර්මාණයන් තුළ ස්ත්‍රීය කතානායිකාව උනාට පිරිමින් කළු චරිත ලෙස ලඝු කරලා නෑ . උදාහරණයක් විදිහට ‘කොහොමද ඔප්පු කරන්නේ‘ කතාවෙහි මංගලිකා පමණටම විකුම් යම් විදවීමකට ලක් වෙනවා. පොදුවේ ජීවිතය නම් උගුලේ වැටුනු මනුෂ්‍ය ජීවිත නිරූපණය කිරීමට මම වෙහෙස වුනා . ඒත් ප්‍රතිචාර ලැබීමේදී කාන්තා පාර්ශවය ඉතා සාධනීය ලෙස මැදිහත් වීමෙන් මට හිතෙනවා ස්ත්‍රීය ආමන්ත්‍රණය කිරීම වඩා සාර්ථක වී ඇති බව.

ඉදිරියෙදි එන්න තියෙන ඔබේ අළුත් වැඩ ගැන අපිට කිව්වොත්...

තව කෙටිකතා පොතක් කෙහොමත් ලියවෙයි. මෙහෙම කියන්නත් පුළුවන්, ඉදිරි ජීවිතයෙහි වැඩි කාලයක් ලිවීමට යෙදවෙයි. ගහක් ගලක් වගේ නිෂ්ක්‍රීය වෙමින් යන ජීවිතයකට ලිවිමෙන් අලුත් මාවතක් විවර වුනා. පාඨකයෙක් ලේඛකයෙක් කවර නිර්මාණ ශිල්පියකු ලෙස වැඩි සංතුශ්ටියක් ඉදිරියේදී උපයා ගැනීම තමා මූලික බලාපොරොත්තුව.

අවසාන වශයෙන් මම කැමතියි දැන ගන්න මෙන්න මේ දෙය ගැනත් ලේඛකයෙක් වශයෙන් ඔබේ අදහස. අපි ඔබේ රෝස මුසැන්ඩාස් පිස්සුව කියන කෘතිය ගැන කතා කළේ අන්තවාදීන් නිසා පීඩාවට පත් වූ සමාජ පසුබිමක් තුළයි. උද්ගත වෙලා තියෙන මේ වත්මන් පසුබිම ලේඛකයෙක් වශයෙන් ඉතිහාසයට ඔබ එකතු කරන්නේ කෙසේද?

ජාතිය, කුලය, ආගම කියන ඒවට වඩා එපිටින් තියෙන ආදරය පදනම් වූ පරිපූර්ණ ජීවිතයක් පිළිබද උමතුවකින් අප පෙළිය යුතුයි. එහෙම උමතුවකින් නැතිව අද අපි මුහුණ දෙන මේ භයංකාරත්වය දුරැලීමට නොහැකි වේවි!!!

- සාකච්ඡා කළේ බාසුරු ජයවර්ධන