සාහිත්‍යය කියන්නෙ ම නිදහස ! - කාංචනා ප්‍රියකාන්ත

සාහිත්‍යය කියන්නෙ ම නිදහස ! - කාංචනා ප්‍රියකාන්ත

28 May 2019 06:39 am

කාංචනා ප්‍රියකාන්ත කිවිඳියකි; කෙටිකතාකාරියකි; ග්‍රන්ථ ප්‍රකාශිකාවකි; හිටපු ගුරුවරියකි. සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් ම එක සේ ලියන්නියකි. වත්මන් සාහිත්‍යය - කලා අවකාශය තුළ තමාට ම ආවේනික වෙසෙස් හැඩයකින් සැරිසරන ඇය සමඟ අප කළ සංවාදයක සංක්ෂිප්තය මතු දැක්වෙයි.

 

#. මම ඔබව හඳුන්වා දෙන්න ඕනෙ කොහොමද? කිවිඳියක්, කෙටිකතාකාරියක්, ගුරුවරියක්, පොත් ප්‍රකාශිකාවක්? එහෙම නැත්නම් මම ඒ වැඩේ ඔබටම පවරන්නද?

මාව වෘත්තිය නාමයකින් හඳුන්වා දෙන්න හදන හැම අවස්ථාවක ම ඒ වචන ඇතුළේ තියෙන ලඝුබව මට දැනෙනවා. හිරවුණා වගේ හැඟීමක්. අපි අපිව වෘත්තියකින් හඳුන්වා දීපු ගමන්ම අපි තුළ ඉන්න සැබෑ පුද්ගලයා යටපත් වෙලා රාමුවක් ඇතුළේ හිරවුණු, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනන්‍යතාවයක් නඩත්තු කිරීමේ ආයාසයකින් වෙහෙසෙන්නෙක් බවට පත්වෙනවා. තමන්ව වෘත්තියකින් හඳුන්වා දීමේ අවාසිය තමයි ඒක. එහෙම හඳුන්වා නොදීමේ වාසිය තමයි කැමති වෙලාවක කැමති කෙනෙක් බවට වේශාන්තරණය වීමේ හැකියාව. මම හරිම කැමතියි ඒ නිදහසට. ඒ නිදහස් හැඟීම මත මම කැමතියි මාව තෘප්තිමත් මනුස්සයෙක් විදිහට හඳුන්වන්න. හැබැයි මම මාව එහෙම නිර්වචනය කළා කියලා අනිත් පුද්ගලයන් විසින් මාව හඳුන්වා දිය යුතු ආකාරය මෙන්න මෙහෙමයි කියලා බලපෑමක් නොකර ඉන්නයි මම කැමති. නිදසුනක් විදිහට මගේ ගෝලයෙක් හැමදාම මාව හඳුන්වාදෙන්න කැමති වෙයි ගුරුවරියක් විදිහට. මගේ කවිවලට කැමති වුණු අය කැමතියි මාව කිවිඳියක් විදිහට හඳුන්වන්න. ප්‍රකාශිකාවක් වීම තුළ මාව හඳුනාගත් අයට මාව ප්‍රකාශිකාවක්. හැබැයි මම මාව හඳුන්වා දී තියෙන ආකාරය තුළ අනිත් අය මාව හඳුන්වා දෙන ආකාරය දිගින් දිගටම නඩත්තු කිරීමේ උවමනාව බැහැර වෙලා නිදහස්ව ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා.

#. හරි! අපි එකින් එක ගමු. මට මුලින් ම කියන්න කාංචනා ප්‍රියකාන්ත කියන කිවිඳිය ගැන තොරතුරු?

මම ලේඛනයට පිවිසෙන්නේ දෙක වසරෙදි තාත්තා ගැන ලියපු කවියකින්. ඊට පස්සේ පාසැල් කාලයේදීත් විවිධ පද්‍ය රචනා තරඟවලින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. මා ලියූ කවි මුලින්ම කෘතියක් ලෙස ජනගත වෙන්නේ 'The Virgin Wife' නමැති ඉංග්‍රීසි කවි පොත හරහා. එය ගොඩගේ සම්මාන උළෙලේ අවසන් වටයේ කෘති අතරට නිර්දේශ වෙනවා 2015දී. ඒ වර්ෂයේම තමයි මගේ 'සුළඟ සහ රතු මල් ගස' කියන කෘතිය ජනගත වෙන්නේ. ඊට පස්සේ අවුරුදු ගාණක් වෙනකල්ම පොතකට කියලා කවි ලිය ලිය එකතු කරත් ඊට පස්සේ කවි පොතක් කරේ නැහැ. හැබැයි මෑතකදී නම් කවි ලියවුණේම නැති තරම්. ඒ නිසාම මට වෙලාවකට හිතෙනවා මම කවියෙන් ඈත් නොවුණට කවිය මගෙන් දැන් ඈත් වෙලා කියලා. මම ඈත් නොවුණා කියන්නේ තවමත් මම අනිත් අය ලියන කවි කියවනවා. රස විඳිනවා. කවිය මගෙන් ඈත් වෙලා කියලා හිතෙන්නේ ඉස්සර වගේ මට කවි ලියවෙන්නේ නැති නිසා. කවි කියන්නේ බලෙන් ලියන්න පුළුවන් දෙයක් නොවෙයි. එහෙම ලියන කවි රහ නැහැ. මගෙන් ඈත් වෙලා ගිය හෝ යන කිසිම කෙනෙක්ව බලෙන් තියාගන්නේ නැති සහ ආපහු ළඟට ගන්න හිතෙන්නේ නැති ගතියක් මගේ තියෙනවා. දැන් මා තුළ සිටි කිවිඳිය ගැනත් මට තියෙන්නේ උදාසීන හැඟීමක්.

#. දැන් මට කියන්න කාංචනා ප්‍රියකාන්ත කියන කෙටිකතාකාරිය ගැන?

මුලින්ම පත්තෙරේක මගේ නිර්මාණයක් කියලා පළවෙන්නේ කෙටිකතාවක්. ඒ පහවසරේදී. ඊට පස්සේ කෙටිකතා අංශයෙන් පවා පාසැල් අවධියේදී සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. මම මුලින්ම කෙටිකතා පොතක් ප්‍රකාශයට පත්කරන්නේ 2013 වර්ෂයේදී. ඒ 'සිත්තරා හා සිතුවම.' මේ පොතේ ඇතුළත් වෙන්නේ මම 2005දී උසස් පෙළ කේවල ව්‍යාපෘතියට ලියපු කෙටිකතා. ඒ අවුරුද්දේම මම විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා සංග්‍රහයක් කරා 'ප්‍රගාමි' කියලා. ඒ පොතේ තියෙන්නේ විද්‍යාවට වඩා ෆැන්ටසිමය කතා. ඇමරිකාව වගේ රටවල්වල එවැනි ශානර තිබුණට ලංකාවේ තාම Fantasy කියන ශානරය නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් Harry Potter කියන්නේ Fantasy Novel එකක්. එහෙම එකක් ලංකාවේ ලියවුණා නම් ඒක බහුතරයක් අතින් ප්‍රතික්ෂේප වෙලා. ආයෙත් මාතෘකාවට ආවොත් 'ප්‍රගාමි' විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා එකතුවක් කියලා හඳුන්වා දෙන්න වෙන්නේ එහෙම. මේ පොතේ තියෙන ඒ කතා ටිකත් ඉස්කෝලේ යන කාලේ මම විදුසර පත්තරේට ලියපුවා වගේම අර ව්‍යාපෘතියේම කොටසක්. 2013න් පස්සේ ආයෙත් කෙටිකතා පොතක් මම ජනගත කරන්නේ 2016දී. ඒ 'කර්මක්‍ෂ.' 'කර්මක්ෂ' 2017 වර්ෂයේදී ගොඩගේ සම්මාන උළෙලේ කෙටිකතා අංශයේ අවසන් වටයට තේරුණු, ඒ වගේම මාව කෙටිකතාකාරිය විදිහට ස්ථාපිත කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරපු පොතක්. 2018 වර්ෂයේදී මගේ පළමු ඉංග්‍රීසි කෙටිකතා සංග්‍රහය වන 'Dream Catchers' ප්‍රකාශයට පත්වුණා. කාංචනා ප්‍රියකාන්ත තුළ ඉන්න කෙටිකතාකාරියට පෞද්ගලිකව මම කැමතියි. මොකද එයා තාම මාව දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. කෙටි කතාවක් ලියවෙනකොට දැනෙන හැඟීම හරිම ඉන්ද්‍රජාලිකයි. ඒ ලියන වෙලාවට දැනෙන ආවේශය අපේ ශරීරය ඇතුළේ හිරවෙලා හිටිය වෙනත් ආත්මයක් නිදහසේ එළියට ඇවිත් කතාකරනවා වගේ. ඒක හරිම සජීවියි. මේ දවස්වල මම කෙටිකතාව ගැන හදාරනවා. ඒ ගැන මෑත කාලයේ ලියැවුණු හොඳ ශාස්ත්‍රීය පොත් කියවනවා. දේවල් දැනගෙන කරනකොට ඒක කරන එක වඩා පහසු වෙනවා.

#. දැන් ගුරුවරිය ගැන කතාව?

ගුරු වෘත්තියට මේ වනවිට මම සම්පූර්ණයෙන්ම සමුදීලා තියෙන්නේ. එතැනදී නම් ඒ වෘත්තියෙන් ඈත් වුණේ මම. මට මම වෙන්න වඩාත්ම ඉඩකඩ තියෙන තැන තමයි මා විසින් නිතරම තෝරාගනු ලබන්නේ. එබැවින්ම ඉතාම කැමැත්තෙන් ගත් තීරණයක් ඒක. ඉස්කෝලේ යන කාලේ මම හැම වෙලේම කිව්වේ මම කවදාවත් ටීචර් කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලා. ලේඛිකාවක් වෙන්න නම් ලොකු කැමැත්තක් තිබුණා. ගුරු වෘත්තියට අකමැතියි කියපු මම ගුරු භූමිකාවට පිවිසෙන්නේ 2006 වසරේදී. ඒ උසස් පෙළ අවසන් වෙනවත් එක්කම. වසර දෙකක් පමණ ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක් ලෙස සේවය කරන මම 2010දී විද්‍යා පීඨ ගුරුවරියක් ලෙස රජයේ පත්වීම් ලබා ගන්නවා. ඒ වෘත්තියේ නිරතවෙන කාලය තුළ මා ඉතාම කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව එම කාර්ය භාරය සිදුකරන්න වග බලාගත්තා. ඒ නිසා මා විසින් කල සේවය පිළිබඳ හිතට එකඟව මට තෘප්තිමත් වෙන්න පුළුවන්. හේතුව තමයි කැමති හරි අකමැති හරි මා විසින් යමක් තෝරාගත්තොත් අවංකව සහ කැපවීමෙන් ඒ දේ කරන්න ඕනේ කියන එක මම විශ්වාස කරන නිසා සහ මා විසින් එය සිදු කළ නිසා. ගුරු වෘත්තිය මගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක්. වෘත්තීය කෙරෙහි තිබුණු කැපවීම ම ආශිර්වාදයක් වෙලා ලේඛිකාවක් වෙන හීනය හැබෑ කරගන්න මාව තල්ලු වෙන්නේ එතැනදී. මට උගන්වන්න තිබුණේ ඉංග්‍රීසි. මුල් පත්වීම ලැබුණු පාසැලේ උසස් පෙළ පන්තිවලට පවා මට උගන්වන්න සිදුවුණා. කියන්න කනගාටුයි ඒ පන්තිවල හිටියා සරල වාක්‍යයක් පවා ලියන්න කියවන්න බැරි ළමයි. මගේ ළමයින්ට මොකක්ද කරන්න පුළුවන් කියලා හිතලා 2012දී මම ලිව්වා කියවීමේ නිපුණතාවය වැඩි දියුණු කරන්න පුළුවන් ආකාරයේ පොතක්. ඒ පොත කියවන්න කොහෙත්ම බැරිව හිටිය ළමයින් වගේකට කියවීම පුරුදු කරවන්න මම භාවිතා කරා. හිතපු නැති ආකාරයේ හොඳ ප්‍රථිපල ඒකෙන් ලැබුණා. මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් මගෙන් සැලකිය යුතු කාලයක් ඉගෙනගත්ත හැම ළමයෙක්ටම වගේ ඉංග්‍රීසි කියවන්න ලියන්න පුළුවන් කියලා. මේ මොන දේ වුණත් මා තුළ සිටි වෙනත් හඬක් ඒ මුළු කාලය පුරාම මම අයිති තැන මෙතැන නොවෙයි කියලා නිරන්තරයෙන් මතක් කළා. මගේ මේ ප්‍රකාශය ගැන කවුරු හරි කෙනෙක් ඉතා උරණව කතා කරන්න පුළුවන් මේ වගේ උතුම් වෘත්තියක් ගැන එහෙම හිතුවෙවත් කොහොමද කියලා. වෘත්තීන්වල උතුම්බව කියන හෝ හොයන මායාවේ මම නැහැ. උදාහරණයක් විදියට ඔබ කැමතිද මාධ්‍යවේදියා ගුරුවරයෙක්ට වඩා පහත් කියලා හිතන්න. මම නම් කියන්නේ කිසිම වෘත්තියක් එහෙම විශේෂයෙන් උතුම් නැහැ. උතුම් හෝ පහත් වෙන්නේ වෘත්තිය නොවෙයි. හැමවෙලේම උතුම් තමන් කරන දේ අවංකව සහ කැපවීමෙන් කරන පුද්ගලයා. තමන් කරන දේ නිවැරදිව කරන්න උත්සහ කරන පුද්ගලයා.

#. මේ ඔක්කොටම පස්සෙ පොත් ප්‍රකාශිකාවක් ඉස්‌මතු වෙනවා?

ඒක හරිම අහම්බයක්. ප්‍රකාශයෙක් වීම එහෙම වෙනකල්ම මම හීනෙකින්වත් හිතල තිබුණේ නැති දෙයක්. මම කලින් ලියපු පොත් ප්‍රකාශයට පත් කරන්න ප්‍රකාශකයෙක්ව මට හොයාගන්න අවශ්‍ය වුණා. ඒත් ඒකට කරන්න පුළුවන් මොකක්ද කියන එක ගැන නිවැරදි අවබෝධයක් මට තිබුණේ නැහැ. එක්තරා ආයතනයක් පිටපත ගෙනත් දෙන්න කියලත් කිව්වා. අනිත් අය කියන එක කරනවට වඩා මගේ වැඩේ මම කරගන්න එක ලේසියි කියලා හිතුණා . ඒ සිතිවිල්ල තමයි KSP Publishersවල ආරම්භය. ඒ ප්‍රකාශන කටයුතුවල නිරත වීමේදී මතු වුණු ගැටළුවලට විසඳුමක් ලෙස තමයි KSP ප්‍රකාශන ආයතනයේම වෙනත් වෙළඳ නාමයක් වන KBOOKS බිහිවෙන්නේ. මා තුළ සිටින ප්‍රකාශිකාව සහ ව්‍යවසායිකාවටත් මම ඉතාම කැමතියි. අපි ඇතුළේ මොන තරම් විභවයන් සහ ශක්තීන් තියෙනවද කියලා හිතෙන්නේ විවිධ දේවල් කරන්න උත්සහ කරද්දී. ලංකාවේ සමහරු ඉන්නවා Business කියන වචනේ ඇහුණම ඒ පුද්ගලයා දිහා අපරාධකාරයෙක් විදිහට බලනවා. විශේෂයෙන්ම පොත් සම්බන්ධ වුණාම ආයෙත් උතුම් කියන වචනය පටලවලා අරගෙන එතනට Business කියන වචනය ගෑවෙන එක අපරාධයක් වගේ කතා කරනවා. සමහරු මට කියලා තියෙනවා ඔයා ලේඛිකාවක් Business කරන්න යන්න එපා කියලා. එයාලා අහන ඒ ප්‍රශ්නෙට උත්තරේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. මා තුළ සිටිනා ලේඛිකාව ඒ කාර්යභාරය කරාවි. ව්‍යවසායිකාව ව්‍යාපාර කරාවි. මම ඔය ඔක්කොම කරන ගමන් මම විදිහටම ඉඳීවි.

#. මේ සකලවිධ පරාසයන් අතරෙ ගැටෙන ඔබට අපේ රටේ සාහිත්‍යය - කලා අවකාශය පෙනෙන්නේ කොහොමද?

අපේ රටේ සාහිත්‍ය වට්ටෝරුගත ආකෘතිවලින් එළියට ඇවිත් ජාත්‍යන්තරය ජයගන්නා තැනට වැඩ පිළිවෙලවල් සකස් වෙන්න ඕනේ. මෙතැනදී රජය, ලේඛකයා, ප්‍රකාශකයා වගේම පාඨකයාටත් වගකීමක් තියෙනවා. සාහිත්‍ය කියන්නේ එකතැන පල්වෙන්න ඕනේ දෙයක් නොවෙයි. උදාහරණයක් විදිහට තාමත් අපි කියනවා නම් ලංකාවේ බිහිවුණු හොඳම ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහ හරි, සයිමන් නවගත්තේගම හරි කියලා මට හිතෙනවා එහෙනම් ඊට පස්සේ බිහිවුණු කෘතීන්ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියල. වික්‍රමසිංහයන් සහ නවගත්තේගමයන් කියන්නේ ඒ ඒ කාලවල බිහිවුණු විශිෂ්ටයෝ. ඒකෙ තර්කයක් නැහැ. ඒත් ඔවුන් ගේ කෘතීන් අභිබවා යන කෘතීන් තවමත් ලියවිලා නැහැ කියලා කියනවා නම් දශක ගණනාවක් ගෙවිලත් අපේ සාහිත්‍ය කොතැනද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එවැනි කෘතීන් බිහිවෙලා තියෙනවා නම් ඒවා පිළිබඳ ප්‍රමාණවත් තරම් කතිකාවක් ඇතිවෙලා තියෙනවද, ඇති වෙන්නේ නැත්නම් හේතුව මොකක්ද කියන ප්‍රශ්නය එනවා. චින්තනය පුළුල් වෙන්න නම් පුළුල් සාහිත්‍ය අවකාශයක් තියෙන්න ඕනේ. ඒක නිසා ලේඛක ලේඛිකාවන් තමන් නිරත වෙන කටයුත්ත කෙරෙහි අවංක වෙන්න ඕනේ. ඒවගේම බහුශ්‍රැත පාඨක ප්‍රජාවක් ඇතිකරන්නත් කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුණොත් වෙන්නේ කොසොල් රජ්ජුරුවන්ගේ හීනේ වගේ බර ගල් පාවෙන්න අරගෙන සැහැල්ලු ගල් යට යන එක.

#. වත්මන් ගැහැනිය ගේ ලියන - කියවන අවකාශය ගැන ඔබේ අදහස මොකද්ද?

ඉස්සරට වඩා කාන්තාවෝ සංඛ්‍යාත්මක වශයෙන් ලේඛනයට පිවිසිලා ඉන්නවා දකින්න පුළුවන්. ඒක සතුටට කාරණයක්. ලාංකීය සමාජය තුළ ගෙදර දොර වැඩ කටයුතු සහ දරුවන්ගේ කටයුතු කරන එකේ වැඩි බරක් තවමත් තියෙන්නේ කාන්තාවට. එහෙම බැලුවම පිරිමියෙක්ට වඩා ගැහැනියකට දීර්ඝ කාලීනව ලේඛනයේ නිරතවීම අභියෝගාත්මක කාරණයක් වෙනවා. නමුත් ඕනෑම අභියෝගයක් ජයගැනීමේ ශක්තිය කාන්තාවක් සතුයි. KBOOKS දත්තවලට අනුව නම් කාර්යබහුල ලෝකය ඇතුළෙත් තවමත් ඉතාම ආශක්තව කියවන කාන්තාවෝ බොහොමයක් ඉන්නවා.

#. අපි මේ සංවාදය කරන්නෙ රටක් හැටියට මුහුණ දුන් දරුණු අත්දැකීමක සමීපයෙ ඉඳන්. රටේ මේ මොහොත ගැන තරුණ ලේඛිකාවක් සහ ව්‍යවසායිකාවක් ලෙස යමක් කියන්න කැමතිද?

ජාතික ආරක්ෂාව තර කිරීමට ගත හැකි සියලුම විධි විධාන රජය විසින් නොපැකිලව ගත යුතුයි. වැරදිකරුවන්ට අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න හෝ ආරක්ෂා කරගන්න කියලා අවස්ථාවාදී ක්‍රියාකාරකම්වල නොයෙදී සියලුම වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුමයි. තමන් ආරක්ෂිතයි කියලා දැනුනොත් විතරයි සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරගන්න එක පහසු වෙන්නේ. මේ සිදුවීම නිසා සමහරු අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නත් තැත් කරන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ රටේ ජනතාව හැටියට අපි කරන්න ඕන ලොකුම දේ තමයි බුද්ධිමත්ව කටයුතු කරන එක. ආවේගයන් හැකි තාක් පාලනය කරගන්න එක. තමන්ගේ අවට සිදු වෙන දේ ගැන අවධානයෙන් ඉන්නා ගමන්ම රටක් ලෙස සමඟිව කටයුතු කරන එක. රට ගොඩ ගන්න රටේ එක පිරිසකට විතරක් බැහැ. සමහරු පිළිගන්න කැමති වුණත් නැතත් ඇත්ත තත්ත්වය තමයි රටක් ගොඩනගන්න ජාතික සමඟිය, එකමුතුකම අත්‍යවශ්‍යයි කියන එක. ජපානය පරමාණු බෝම්බයකට මූණ දීලත් රට ගොඩනගන්න හැමෝම එකා වගේ කටයුතු කරපු නිසා ඒ රට දියුණුයි. යුධ කලාපයක ඉඳලත් තමන්ගේ රට සංවර්ධිත රටක් බවට පත්කරන්න ඊශ්‍රායලයට හැකියාව ලැබිලා තියෙන්නේ එහි පුරවැසියන්ට විශ්වාසය තබන්න පුළුවන් ආදර්ශමත් රජයක් සහ රටට ආදරය කරන පුරවැසියන් ඉන්න නිසා. අපි දැකලා තියෙනවා විවිධ සංවිධාන සහ සමහර දේශපාලකයන් දැනටමත් බොර දියේ මාළු බාන්න පටන් අරගෙන තියෙන හැටි. ඔවුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා අපි මේ වෙලාවේ පාවිච්චි වෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට රටේ සිදුවන දේවල පිළිබඳව දැඩි අවධානයකින් සහ වගකීමකින් කටයුතු කරන එක තමයි නුවණට හුරුම. ලාංකිකයන් නැවතත් සරණාගතයන් ලෙස රට හැර යන තත්ත්වයට පත්විය යුතු නැහැ. ඒ වෙනුවට දැඩි ඉවසීමකින් යුතුව කටයුතු කළ යුතුයි. ඒ වගේම වගකිව යුතු අංශයන් විසින් රට තුළ හැම කෙනෙක්ටම සමානව සලකන නීතියක් ස්ථාපිත කළ යුතුයි. රටක් පාලනය කරන්න ඕනේ ආගම්වලට ඕනේ විදිහට නොවෙයි. රටක් පාලනය කරන විදිහට. ඇත්තටම ආගමක් කියන්නේ පෞද්ගලික දෙයක්. පෞද්ගලික ඇදහිලි සහ විශ්වාසයන් හින්දා රටේ සාමයට තර්ජනය වන දේවල් වෙන්න රජයක් ඉඩ දෙනවා කියන්නේ එයාලා එතැනම ෆේල් කියන එක. ඒක නිසා හැකි තරම් ඉක්මනින් නීතිය තුළ සහ අධ්‍යාපනය තුළ නිසි ප්‍රතිසංස්කරණ සහ සංශෝධන ඇතිකරන්න අදාළ බලධාරීන් විසින් නිසි පියවර ගත යුතුයි. ඒ වගේම පුරවැසියෝ විදිහට අපි කාගේ කාගේත් වගකීමක් තමයි තම තමන්ගේ පෞද්ගලික විශ්වාසයන් තම තමන් ළඟම තියාගෙන ඇදහීම් අනිත් අයට කරදරයක් නොවෙන විදිහට කරගන්න තරම් හික්මීමක් සංයමයක් ඇතිකරගන්න එක.

#. අපි ආපහු සාහිත්‍යය සංවාදය පැත්තට එමු. ඔබ හිතන විදියට සාහිත්‍යය - කලාව ඇතුළෙ පරමාදර්ශී චරිත වලංගුද?

පරමාදර්ශී චරිත කියන ඒවා කොයි ක්ෂේත්‍රයෙත් වලංගු වෙන්න හොඳ නැහැ. සාහිත්‍ය කලාව ඇතුළේ එහෙම වෙන එක භයානකයි. පරමාදර්ශී චරිත හදාගෙන ඒවා අනුකරණය කරන්න ගියොත් අපිට කියවන්න වෙන්නේ අච්චු නිර්මාණ. එහෙමත් නැත්නම් බිහිවෙන්නේ අච්චු සාහිත්‍යයක්. සාහිත්‍ය කියන්නෙම බොහොම ගැඹුරු අර්ථයක් තියෙන අලංකාර වචනයක්නේ. ඒ වචනය සීමා මායිම් ගහලා නිර්වචනය කරන්න බැහැ. සාහිත්‍ය කියන්නෙම නිදහස. නිර්මාණාත්මක ප්‍රකාශනයේ නිදහස. ඒ නිදහසට මොකටද හැඩයක්වත් අනුකාරකයන්වත්? ලේඛකයෙක් සිය සහෘද ලේඛකයන්ගේ අගය කළ හැකි සහ අගය කළ යුතු නිර්මාණ තිබුණොත් පැකිලීමකින් ද්වේශයකින් තොරව ඒ දේ අගය කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හැබැයි මොකක් හරි පරමාදර්ශී චරිතයක් අරගෙන සියලුම නිර්මාණ ඒ චරිතයේ නිර්මාණ හා සංසන්දනය කරන්න යන එක නම් සාහිත්‍ය කලාවකට බලපාන්නේ අහිතකර විදිහට. මේ ක්ෂේත්‍රය තුළ මා කැමති ලේඛක ලේඛිකාවන් කිහිපදෙනෙක්ම ඉන්නවා. හැබැයි පරමාදර්ශී චරිත නම් නැහැ.

#. ඉදිරි වැඩ කටයුතු කොහොමද?

මම හැම වෙලාවක ම උත්සහ කරන්නේ මේ මොහොතේ කරන දේ හරියට කරන්න. එතකොට ඊළඟ මොහොත අපිට නිතරම සාධාරණය ඉෂ්ට කරනවා. අලුත්ම KSP ප්‍රකාශන කිහිපයක්ම ළඟදීම පාඨකයන්ට වැළඳගන්න පුළුවන්කම ලැබේවි. KBOOKS කාර්යාලය දැන් මහරගම තියෙන්නේ. එතැන තව පොඩි වැඩ වගයක් කරන්න ඉතුරු වෙලා තියෙනවා. මගේ පොත් කිහිපයකුත් KSP ප්‍රකාශන ලෙස මේ වසර තුළ නිකුත් වෙන්නට නියමිතයි.

සංවාදය - කසුන් සමරතුංග