අන්තවාදී මොළ ආදරයෙන් සෝදා දැමිය යුතුයි - රොෂෙල් ෆර්නැන්ඩු

අන්තවාදී මොළ ආදරයෙන් සෝදා දැමිය යුතුයි - රොෂෙල් ෆර්නැන්ඩු

18 May 2019 04:55 am

රොෂෙල් ෆර්නැන්ඩු නූතන ම පරම්පරාවේ කිවිඳියක් සහ ලේඛිකාවකි. ඇය පසු ගිය දිනක 'ඔව්, ඒක හාදුවක්' නමින් සිය කුළුඳුල් කාව්‍යමය ප්‍රයත්නය සහෘදගත කළාය. අසල්වැසියා ගේ ලේ රහ ඉව කරමින් සැනසීම සොයන බහුතර සමාජයක් හාදුවකින් නිවාලන්නට හැකිද? මේ අප රොෂෙල් සමඟ කළ සංවාදයක සංක්ෂිප්තයයි.

 

#. අපට මේ සංවාදය ආරම්භ කරන්න වෙලා තියෙන්නෙ දැවැන්ත සංහාරයකට පස්සෙ තවමත් හරි හැටි නොනිමුණු ගිනි පුපුරු අතරෙ ඉඳගෙන. මම කැමතියි තරුණ ලියන්නියක් විදියට රටේ වත්මන් මොහොත ගැන ඔබේ අදහස විමසමින් ම අපේ කතාව ආරම්භ කරන්න?

ඇත්තෙන්ම බොහොම කණගාටුදායක තත්ත්වයක්. වචනයෙන් විස්තර කිරීමට අපහසු කම්පනයක් ඒ සිද්ධි මාලාවෙන් අනතුරුව දැනුනා කීවොත් නිවැරදියි. මම වගෙම බොහෝ දෙනෙක් වත්මන් වාතාවරණය තුළ ජීවත්වන්නේ බියත් සැකයත් අවිනිශ්චිතතාවයත් අතරේ. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම තවමත් විශ්වාස කරන්නේ ප්‍රේමය, සහෝදරත්වය හා සහජීවනය ගැන. අපට අපේ රට ගැන යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් මේ වෙලාවේ අත්‍යාවශ්‍යම සාධකය ජාතීන් අතර එකමුතුව හා අන්‍යොන්‍යය අවබෝධය බව පෞද්ගලිකව මම විශ්වාස කරනවා. සියල්ලටම පෙර අප සැම මනුෂ්‍යයන් යන කාරණය අවදිවුණු මනස තුළ සක්‍රීයව තබා ගැනීම අතිශයින්ම වැදගත් යැයි මා සිතනවා.

#. බෝම්බ, තුවක්කු, කඩු, කිනිසි අතොරක් නැතුව සංසරණය වන සමාජයකට ඔබ 'ඔව්, ඒක හාදුවක්' කියල කවි පොතක් ප්‍රදානය කරනවා. මේ සමාජය එහෙම හාදුවකින් සැනසෙන්න සූදානම් සමාජයක්ද?

සැනසෙන්න සූදානම්ද නැතිද කියන කාරණාවට වඩා මම හිතනවා එහෙම සැනසීමක දැඩි අවශ්‍යතාවක් පවතින සමාජයක් හා අපට වර්තමානයේ මුහුවෙන්න සිදු වෙලා තියෙන බව. ආදරය, මානව දයාව, කරුණාවන්තකම වගෙම සමාව දීම, යළිත් පෙර වූ සාමය කරා යාමට මේ රට තුළ දැවැන්ත වූ සාපිපාසාවක් තියෙනවා. වෛරයේ නියං සායට අහුවෙලා තියෙන මේ ලස්සන පුංචි රට තවදුරටත් විනාශ වන්නට පෙර ආදරයේ හාදු වැසි වසිනවා නම් අප අපේක්ෂා කරන යහපත් වාතාවරණය අප කරා වඩා ඉක්මනින් ළඟා වෙනු ඇතැයි මම තදින්ම විශ්වාස කරනවා. ශ්‍රී ලාංකිකයන් කියන්නෙ තෙතමනය නොහඳුනන මිනිසුන් නොවෙයි. ළතෙත් බව අමුතුවෙන් හඳුනා දිය යුතු මිනිසුනුත් නොවෙයි. කාලයත් සමඟ ඇතිවුණු සමාජීය, ආර්ථික, දේශපාලනමය යම් යම් ගැටළු සමඟ අපට අප කවුරුන්ද යන වග මොහොතකට අමතක වී ගොස් ආදරය සහ අවබෝධය යම්තාක් දුරට ගිලිහිලා තිබෙනවා. ඒත් මම විශ්වාස කරනවා තවමත් අප පතුලටම සිඳී ගොස් නොමැති බව. අප සැවොම එකාවන්ව යළිත් නැඟී සිටියහොත් මේ සිඳී ගිය බිම් ආදරයෙන් පිරී ඉන් නොනැවතී උතුරායන තත්ත්වයකට වුවත් රැගෙන යා හැකියි. මා දකින්නෙ මෙතන වෙනස් වූ ආකල්පමය වශයෙන් ඇතිවෙන ගැටුම් නිසා උත්සන්න වූ තත්ත්වයක් බව. සැනසෙන්න සූදානම් නැති සමාජයක් නම් ඒ සැනසීම සඳහා සූදානම් වීමට පෙරැත්ත කිරීමට සාමය සඳහා කැමති සියලු දෙනා සතුව යුතුකමක් තිබෙනවා. නැවතත් අප සැවොම අත්වැල් බැඳගෙන සැනසීම උදෙසා කැපවිය යුතුමයි. වෛරයෙන් ඇවිලීමත් අනෙකුන් අවුලුවාලීමටත් වඩා ප්‍රේමයෙන් දැල්වීමත් ආලෝකයම පමණක් බෙදාගැනීමත් වඩා ආදරණීය වග හා පහසුම මාවත වග සියලු දෙනාට වටහා දිය යුතුයි. ඒ සඳහා අප විසින් අපගේ ආකල්ප ප්‍රගතිශීලී මාවත් කරා රැගෙන යා යුතුයි. අන්තවාදයෙන් සේදුනු මොළ ආදරයෙන් යළිත් වරක් සෝදා දැමිය යුතුයි.

#. අපට කියන්න ඔබේ කුළුඳුල් කාව්‍යමය ප්‍රයත්නය ගැන විස්තර?

'ඔව්, ඒක හාදුවක්' කියන්නෙ මගෙ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වගෙම මගේ කුහුඹු අවදියේ පටන් වූ එක්තරා සිහිනයක් කිවහොත් මා නිවැරදියි. කුඩා කල පටන් පොත පත හා ගැටෙමින් කියවීමට වගේම ලිවීමට තිබු කැමැත්තේ ප්‍රතිඵලයක් තමයි 'ඔව්, ඒක හාදුවක්' නමින් කළ එළි බැස්සෙ. එය ග්‍රන්ථ ප්‍රකාශනයක් වශයෙන් තමයි මුදාහැරුනෙ. විවිධ වූ අත්දැකීම් සහ කල්පනාවන් ඇසුරෙන් ලියැවුණු සඳැස්, නිදහස් කවි වගෙම නිසඳැස් එකතුවකින් හාදුව සමන්විතයි. මගේ කවි පොතේ කවරය අලංකාර කළ සිතුවම විංගි ජයලත් නංගීගෙන්. සාහිත්‍යයට තිබූ රුචිකත්වය නිසාම මම අපොස සාමාන්‍ය පෙළ අතිරේක විෂයක් හැටියටත් සිංහල සාහිත්‍ය හැදෑරුව. නමුත් උසස් පෙළ වාණිජ විෂය ධාරාව තෝරාගැනීමත් සමඟ ලිවීම අතරමඟ කාලයේ නොගිලිහුනත් යම් තරමකට යටපත් වූවා. පසුව මාගේ රැකියාවත් සමඟ අතිශය කාර්‍යබහුල වකවානුවක කවිය තරමකට මගෙන් මඟහැරුනා. නමුත් කවිකම කියන්නේ මඟහැරුනත් අතහැර යන බැඳීමක් නෙවෙයි. යම් යම් වෙහෙසවීම් ආතතියන් දරාගන්න අප වෙනුවෙන් ඒවා මූදාහරින හොඳම මිත්‍රත්වයක් තමයි ලිවීම කියන්නෙ. මම ආයෙමත් ලියන්න ගත්තා. නිද්‍රාශීලිව තිබුණු සිහිනය ආයෙමත් අවදිවුණා කිවහොත් නිවැරදියි. පෙර දී මා ලියා පළ නොකර සිටි කවි මා මුහුණුපොත් මිතුරන් හා බෙදාහදා ගත්තා. ඔවුන්ගේ අදහස් හා දිරිගැන්වීම් සහිත යෝජනා මත ආයෙමත් කවි පොතක සිහිනය ප්‍රබෝධමත් උනා. ඒත් ඕනෑම නිර්මාණකරුවෙකු තමන්ගේ නිර්මාණ වලින් සෑහිමට පත් නොවෙන පොදු ගුණය මා සතුවත් තිබූ නිසාම කවි පොතක් කරා යන ගමන මම තරමක් කල් දමමින් උන්නා. නමුත් කවදා හෝ කවි පොතක් කරනවා යන අදහස හිතේ කොනක තිබුණා. ඔය අතරවාරයේ මගේ සමීපම මිතුරියක් වන චතුරි දමයන්ති අක්කා හරහා තමයි හාදුවට පාර කැපුනේ. ග්‍රන්ථ ආයතනය විසින් පළකළ දැන්වීමක් මගෙ මිතුරිය මට එවා ඒ ගැන උනන්දු කරා. ඇත්තෙන්ම එවෙලාවෙත් ඇගේ උනන්දුව නිසයි මම ග්‍රන්ථ ආයතනය හා සම්බන්ධ වූයේ. අනතුරුව ග්‍රන්ථ ආයතනයේ අධ්‍යක්ෂිකා තනෝජා වඩූගේ අක්කාට මම අත්පිටපතක් යවා ඒ අනුව කවි පොතේ සිහිනය තවදුරටත් සිහිනයක් නොවී සැබෑ වූවා. ග්‍රන්ථ ආයතනය හරහා දිවයිනේ ඕනෑම තැනක නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සහිතව හාදුව සියලුම හිතෛෂීන් කරා පියෑඹීමට නියමිතයි.

#. ඔබට අනූව කවිය කියල කියන්නේ මොකද්ද?

ඇත්තටම මම හිතන්නේ කවිය කියන්නෙ අතහැරීම. ආත්මය තුළින් පැනනැගෙන්නාවූ අනේකාකාර සිතුවිලි නිදහසේ අතැරදැමීමක් තමයි කවිය කියන්නෙ. තවත් ආකාරයකින් සංවේදනයක්. එහි අතුරුඵලයක් ලෙස අටෝරාසියක් වූ හැඟීම් වලින් මිනිස් හදවත් යා කරන පාලමක් බවට කවිය පත්වෙන්නේ නිරායාසයෙන්. නිදහස කියන දේ උපරිමයෙන් විඳින්න කවිකම තුළ අපට ඉඩහසර සැලසෙනව. සමාජය වෙත අපගේ සිතැඟියාවන් සංවේදනය කළ හැකි ප්‍රශස්තම මාධ්‍යක් හැටියට මම කවිය දකිනව. විවිධාකාර වූ අරමුණු අරභයා හැඟීම් අකුරු වී කවි කෙරුණත් එහි අවසානයේ සිදුවන්නේ මුදාහැරීමක්. එහි විශේෂත්වය ලෙස මා දකින්නේ ඒ සියලු හැඟීම්, කල්පනාවන් තුළ ගැබ්ව පවතින වස්තුබීජය සෞන්දර්යාත්මක බවකින් මිනිස් සන්තානය හා සම්මුඛ වීම කවියකින් වඩා ඉමිහිරිව කළ හැකි වීමයි. තමන් සතුව පවතින ප්‍රතිභාව හා ව්‍යුත්පත්තිය ගළපගන්න හැකි ඕනෑම කෙනෙකුට අභ්‍යාසය හරහා වඩා සක්‍රීයව මා ඉහතින් සඳහන් කළ 'අතහැරීම' කළ හැකි යැයි මා විශ්වාස කරනවා.

#. ඔබට ලියන්න උත්තේජනයක් සපයපු අය සහ කෘති මොනවද?

ඇත්තටම බොහෝ දෙනෙක් වගේම බොහෝ අත්දැකීම් ඒ සඳහා පාදක වූවා. මම එදිනෙදා ඇසුරු කරන කොයියම්ම කෙනෙක්ගෙන් පවා මම කුමක් හෝ අත්දකිනවා. ඒ අමතරව මම පරිශිලනය කරන පොත පත ඇසුරිනුත් මගේ කවිය ප්‍රබෝධමත් වුණු වග මා සිතනවා. කුඩා කල සීයාගෙ ඇසුරත් ඉන් පසුව මගේ ගුරුවරුන්ගෙන් වගෙම මගෙ හිත මිතුරු කාණ්ඩයන් වගෙම මේ ගහකොළ, මහපොළව, සතා සිව්පාවා පවා මට උත්තේජනයක්. මම හිතන්නේ අපේ හදවතේ ඇස විශ්වය කෙරෙහි අවදියෙන් නම් කුඩා දූලි අංශුවක් පවා කවි නිමිත්තක් විය හැකියි.

#. කවිය හැරුණ ම ඔබ ගැටෙන වෙනත් සාහිත්‍යය - කලා අංග මොනවද?

මම ලියන්න බොහෝ ප්‍රියයි. සියලු ආකාරයේ ලිවීම් කියන්නෙ අස්වැසිල්ලක්. කෙටි කතා ශානරය අත්හදා බලමින් ඉන්නවා. ලොකූ කුසලතාවයක් නොදැක්වූවත් යමක් කුරුටුබලි ගාන්න මම ආසයි. කලාතුරකින් චිත්‍රයක් මඟින් ඉටුවන්නේ එය බව මම සිතනවා.

#. රවා බැලීම් වෙනුවට හාදුවත්, වෛරය වෙනුවට ආදරයත්, මරණය වෙනුවට ජීවිතයත් උදෙසා පොදුවේ සාහිත්‍යයෙන් සහ කලාවෙන් කරන්න පුළුවන් බලපෑම ගැන ඔබට තියෙන්නේ මොන වගේ තක්සේරුවක්ද?

කවිහූ වනාහි නිලනොලත් ලෝක පාලකයෝ වග පී.බී.ශෙලි නම් කවියා පවසා තිබෙනවා. එම වදන තුළම නිර්මාණයකට කළ හැකි කාර්‍යභාරය මැනැවින් වටහාගන්න පුළුවන්. සාහිත්‍යයෙන් කරන්නේ මිනිසුන්ගේ රසවන්තභාවය පෝෂණය කිරීමත් හදවත් වලට ආමන්ත්‍රණය කිරීමත්. අපගේ ප්‍රකාශනය පිළිබඳව අප විසින් වගවිය යුත්තේත් ඒකයි. අප භාවිත කරනා සාහිත මාධ්‍යයන් තුළ මිනිසුන්ගේ සිතුවිලි වලට විශාල බලපෑමක් කළ හැකියි. ඒ නිසා අපගේ හැඟීම් වචන බවට පෙරලීමේදි වඩා සැළකිලිමත් විය යුතුයි. නිර්මාණ හරහා අපි පොදු බවට පත්කරන අත්දැකීම් වඩා හරවත් මාවතක් තෝරාගැනීම කියන්නේම සැළකිය යුතු සමාජීය වෙනසක් කිරීමක් හා සමානයි. නිර්මාණයක කළල අවස්තාවේදි නිසි පෝෂණය ලබනවානම් බිහිවෙන දරුවා නිරෝගියි. සාහිත්‍යයෙන් කළ යුත්තේ නිරෝගී නිර්මාණ හරහා සමාජය සුවදායි තැනක් බවට පත්කිරීමයි.

#. ලියන - කියවන ඔබේ පරම්පරාව ගැන ඔබේ අදහස මොකද්ද?

මම හිතන්නේ ඒක සාපේක්ෂයි. සුභාවිත ගීතයත් සිව්පද කාව්‍ය‍යත් ඇතෑම් තරුණ කොටස් වෙතින් ඈත්වෙමින් පවතින බවට මතයක් පවතිනව. ඒක අද ඊයේ නෙවෙයි කොයි පරම්පරාවෙත් එක්තරා ආකාරයන්ගෙන් සිදු වූවක්. හුදු ජනප්‍රිය තලයම පසුපස හඹා යන අරුත්සුන් ගීත වලට වහ වැටී සඳැසක, හරවත් ගීයක, නිසඳැස් කාව්‍යයක ඇති සැඟවුණු අරුත් සෙවීමට, එම නිර්මාණයන්හි රසභාව උකහා ගැනීමට උනන්දු නැති පරම්පරාවක් ලෙසත් විටෙක හැඳින්වීමට ලක්වෙනව. ඒ කොයි දෙයක් නමුත් ඒ පරම්පරාවේ සමස්ත නියෝජනය නොවෙයි වගෙම එය අද ඊයේ පටන් සිදු නොවන්නක් ලෙසයි මා දකින්නේ. එවැනි හරසුන් දෑම හඹායන කොටසක් නැහැයි කියාම මා සිතන්නෙ නෑ. ඒ නමුත් අප පරම්පරාවෙත් අලුත් යමක් සොයා යන අමුතු අත්හදා බැලීම් වලට කැමති නිර්මාණශීලි පිරිසක් ඉන්නව. අතීතයේත් එවැනි වෙනස් දේවල් අත්හදා බැලූ නිර්මාණකරුවන් නිසා අපට වර්තමානයේ පොහොසත් කලාවක් ලැබී තිබෙනවා. හොඳම උදාහරණයක් වශයෙන් හැත්තෑව දශකයේ පැවති ඇතෑම් නිර්මාණ ගත හැකියි. සම්භාව්‍ය සංගීතය ලෙස ශාස්ත්‍රිය කොටස් ඉහළින් සම්භාවනාවට පාත්‍රකෙරුණු ඒ යුගයේ කැලිප්සෝ වැනි කණ්ඩායම් සංගීත කලාවන් ආවේ අසීරු ගමනක. ඒ කාලයේ විවේචනයට ලක් වූවත් අද වන විට එහි තත්ත්වය වෙනස්. ඒ වගේ එකේක කාලයෙන් කාලයට විවිධ විවිධ නිර්මාණ අත්හදා බැලීම් සමාජ ප්‍රවාහයට එකතුවෙනව. ඒ කෙසේ වුවත් ප්‍රබල හරවත් දෑ පමණක් ශේෂ වී ඉතිරි සියල්ල කාලයත් සමඟ ගිලිහි යන බවයි මගේ විශ්වාසය. පොතපත කියවීමෙන් තරමක් ඈත් වූවත් සමාජ මාධ්‍ය හරහා කියවන ලියන පිරිසක් ඉන්නව. රසවින්දනය කරනව. නව පරම්පරාවේ බොහෝ දෙනෙක් තාක්ෂණික භාවිතා ඇසුරින් සාහිත්‍ය දැනුම පෝෂණය කරගන්නව. එහි වාසි වගෙම අවාසිදායක තත්ත්වයන් පවතින්නේ අන්තර්ජාලය සීමා රහිත වීම නිසා. ඒ නිසා නිසි මඟපෙන්වීම හා හොඳ නිර්මාණ වල අවශ්‍යතාවයක් තියෙනවා. සියලු පරම්පරා වල අදහස් වලට ගරුකරමින් විවිධත්වයෙන් යුතු ආකල්ප බෙදාහදා ගනිමින්, අඩුපාඩු සකසා ගනිමින් එක්ව මුහුවෙමින් යනවා නම් සාහිත්‍යය වඩා ආලෝකමත් වේවි යැයි මා සිතනවා.

#. ඉදිරියේ දී වැඩ කටයුතු වෙන්න නියමිත කොහොමද?

දැනට කවි පොතේ ඉතිරි දැනුවත්කිරීම් කරගෙන යනවා. ඇති වූ අනපේක්ෂිත වාතාවරණය නිසා අපේක්ෂා කළ කවි පොත සම්බන්ධයෙන් වූ සුහද හමුව කණගාටුවෙන් හෝ අවලංගු කිරීමට සිදු වූවත් කවි පොත හා එය ලබා ගැනීමට අවශ්‍ය හිතෛෂීන් දැනුවත් කරමින් කටයුතු සිදුවෙනව. ඊට අමතරව ගීත නිර්මාණ දෙක තුනකින් මා හිතවත් මිතුරු මිතුරියන් හමුවීමට වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා.

සංවාදය - කසුන් සමරතුංග