නාගානන්ද මහතාට ප්‍රශනයක් ?

නාගානන්ද මහතාට ප්‍රශනයක් ?

11 July 2019 11:54 pm

මම බොහෝ කාලයක් නාගානන්ද  මහතාගේ සාකච්ඡාවලට සවන්දුන් අයෙක්. මම ඔහුගේ බොහෝ කතා සමග එකග නොවෙන තැන් ඔනෑ තරම් තියනවා. නමුත් ඔහු ඉදිරිපත් කරන ව්‍යවස්ථාව මා දකින්නේ රටක් ලෙස මහජනයාට ඉතා සුබවාදී බවයි.

එසේ උනත් මට නාගානන්ද මහතා ගෙන් ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නයක් තියනවා, ඔහු කියනවා තමුන් මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී රටේ ජනාධිපති වූ පසුවයි කියල, දැන් රටේ නීතිය ගැන පොඩ්ඩක් බලමු 19 වන ව්‍යවස්ථාවයි මේ තියන්නේ. ඊට අනුව ජනාධිපතිවරයා කියන්නේ නාමමාත්‍ර (එවන් තනතුරක් සඳහා මෙතරම් මුදලක් වියදම් කරනවා කියන්නේ විහිළුවක්) තනතුරක්. ඔහුට කිසිම බලයක් නෑ. එසේ කිසිම බලයක් නැති තනතුරක සිට ඔහු නව ව්‍යවස්ථාවක් ගෙනෙනවා කියන්නේ කොහොමද ?

ඔහු උදාහරණයට ගන්නේ 1972 කොල්වින් ආර්. ද සිල්වා ඉදිරිපත් කල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වගේ එකක් කියල. නමුත් මතක තියාගන්න ඕනේ එවිට මේ තීරණය ගන්නේ 1970 සමගි පෙරමුණ බලයට පත් වූ සියලු මන්ත්‍රීවරු සහ විපක්ෂයේ සියලු දෙනාගේ ඡන්දයෙන් තමයි එය සම්මත වෙන්නේ.

නමුත් මෙතන නාගානන්ද කරන්නේ කුමක්ද ? ඔහු කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බලයෙකින් තොරව කිසිම බලයක් නැති ජනාධිපතිවරයෙක් වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කිරීමට උත්සහ කරනවා.

එච්චර විතරක් නෙමෙයි ඔහු අධිකරණය විසුරුවා හරින බව කියනවා, මෙය ඉතා බරපතලයි මන්ද බලයක් නැති ජනාධිපතිවරයෙක් අධිකරණය විසුරුවන්නේ කෙසේද ? හැබැයි ඔහු කියනවා අධිකරණවලට අපේක්ෂිත විනිශ්චයකාරවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව ඡන්දයට පෙර. එහිදී ඔහුව තෝරා ගන්නවා කියන්නේ අදාළ විනිසුරන්ව ජනතාව අනුමත කිරීමක් ලෙස සලකන ලෙස ඔහු කියනවා, මෙහිදී වැදගත්ම දේ ඔහු කිසිදු බලයක් නැති ජනාධිපතිවරයෙක් වී ඉහත සඳහන් වෙනස්කම් කරන්නේ කෙසේද යන්නයි ?  

තව විදියකින් කිව්වොත් විධායකයේ නායකයා වූ පසු ඔහු අධිකරණයත් ව්‍යවස්ථාදායකයත් අහෝසි කරන්න යන බවයි තේරෙන සිංහලෙන් කියන්න වෙන්නේ, මතක තියාගන්න චන්ද්‍රිකා 1994 පුර්ණ බලතල ඇති විධායක ජනාදිපතිවරියක් ලෙස පත්වී මාස ගණනක් ඇතුලත දිනයක්ද ලබාදී (මතක විදියට 1995 ජුලි 15) ජනාධිපති ධුරය අවසන් කරනවා කියමින් පැමිණි ඇය වසර 11 පමණ බලයේ සිට ඉවත්වුනේ විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද සමගින් බව.   

මෙන්න මෙතැනයි මට ප්‍රශ්නය තියෙන්නේ. එසේ වූ පමණින් මම ඔහුගේ ව්‍යවස්ථාව බැහැර කරන්නේ නෑ. ඊට අනුව 60 ක පමණ ඇමති මන්ඩලයකුත් 30 පමණ කැබිනට්ටුවක් වීම සහ වරදක් කළ වහාම රටේ නීතියෙන් දඬුවම් ලැබෙනවා කියන විදියට මෙය ඉතා වැදගත් උනත් ඇමතිවරයකුට කිසිදු වරප්‍රසාදයක් නැති තනතුරක් ලබාදුන්නම වෙන්නේ ඔහුව පෙළඹවීමට විශාල අල්ලස් ලබාදීමට විවිධ පාර්ශව ඉදිරිපත් වෙනවා, මෙහිදී සාමාන්‍ය පෘතග්ජන මනසක් ඇති මිනිසෙකු එම අවදානම ගන්නවා, යම් විදියකින් සිංගප්පුරුවේ වගේ අතිවිශාල ආදායමක් ඇමතිවරයකුට ලැබුණා නම් ඔහු හෝ ඇය මෙවැනි අවදානමක් ගැනීමට ඇති සම්භාවිතාව ඉතා අඩුවනු ඇති, මෙනිසා නාගනන්ද මහතාගේ ව්‍යවස්ථාවේ ඇමතිවරයකුට කිසිම ආකර්ශනීය දීමනාවක් නොදෙනවා කීමෙන් මම දකින්නේ වාසියකට වඩා පාඩුවකුයි. 

ලංකා සිතුවිලි