මරණ දඬුවම: වඩා බලවත් ජනතා පරමාධිපත්‍යයද විධායක බලයද?

මරණ දඬුවම: වඩා බලවත් ජනතා පරමාධිපත්‍යයද විධායක බලයද?

3 July 2019 05:00 pm

සිව් දෙනෙකුට මරණ දන්ඩනය දීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර ඇත.
 
ඉතා බරපතල ගණයේ අපරාධ සඳහා මරණ දඬුවම නියමවූවන් සිටියදී, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ 04 දෙනෙකුට පමනක් එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් කියවෙන සමානාත්මතාවයේ අයිතිය තමන්ට අහිමි වන බවත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ තීන්දුව බල රහිත කරන ලෙසත්, පෙත්සම්කරුවන් අයැද ඇති බව සෑම පුවත්පතකම පාහේ පල වී ඇත.
 
සියලු පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළ අධිකරණය ඒ සඳහා පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ද පත් කලේය.
 
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නොවැම්බරයේදී ජනාධිපතිවරයා ගත් තීන්දුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සත් පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දු කිරීමත් සමඟ ගලේ පහරපු බලලෙක් සේ කුජීත වුන ජනාධිපතිවරයා, ඉන් වියරු වැටී ක්‍රියා කළ ආකාරය අපි දුටුවෙමු.
 
යම් හෙයකින් මෙම නඩුවේදීද ජනාධිපතිවරයා ගත් තීන්දුව ව්‍යවස්ථාවට පටහැනි බවට අධිකරනය තීන්දු කලොත්, දෙවන වරටද ඔහුගේ රෙදි ගැලවෙනු ඇත.
 
වඩා වැදගත් කාරණය, දෙනු ලබන එවැනි නඩු තීන්දුවක් නොව, ලේසියෙන් පරාජය භාර ගැනීමට අකමැති ජනාධිපතිවරයා ඉන් අනතුරුව කුමක් කරතැයිද යන්න සිතා ගැනීමය.
 
නඩු පවරා ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය අභියෝගයට ලක් කරමින් නොවේ. අධිකරණයෙන් මරණ දඬුවම නියමවූවන් විශාල පිරිසක් සිටියදී, එයින් තෝරාගත් පිරිසකට පමනක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට එරෙහිවය.
 
ඒ අනුව නඩු තීන්දුව ලැබෙන්නේත් ඒ ආකාරයටමය.
 
යම් හෙයකින් තමන්ගේ තීරණයට එරෙහිව සහ තම අවාසියට අවසන් නඩු තීන්දුව ලද විගස හෝ, නඩු තීන්දුව ලැබීමට පෙර, මරණ දඬුවම නියමව ඇති සිලුම වරදකරුවන් සඳහාම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සිය නිර්දේශය හා අවසරය නිකුත් කලොත් කුමක් වනු ඇත්ද ?
 
එවිට 12(1) වගන්තිය අනුව යමින් පවරා ඇති මේ සියලුම නඩුවල හරය ගැලවී යනු ඇත.
 
අවසන් තීන්දු ලබා දුන්නද, නොවූවද, මේ පවරන ලද නඩු හේතුවෙන් අවසානෙදී කබලෙන් ලිපට වැටුනාක් මෙන් ප්‍රතිඵලයක්ද ඇති වීමේ අවදානමක් පවතී. මක් නිසාද යත්, මේ ජනාධිපතිවරයා හෙට දින කුමක් කරාවිද යන්න අද මහ රෑ 12 වෙනකල් ඇහැරලා හිටියත් පූර්වේක්ෂණය කල නොහැකි නිසාය.
 
එනිසා 12(1) වගන්තිය මතම රඳා පැවතීමෙන් ඔබ්බට යමින් මෙම නඩුවල විෂය පථය වඩාත් පුලුල් නීතිමය පරාසයක් තුලට ගෙන යාම මේ මොහොතේ නීතිවේදීන් සතු කාර්යයකි.
 
මරණ දඬුවම වැනි වඩා කෲර සහ අමානුෂික වධ බන්ධනයන්ට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්ති කිහිපයකට ලංකා රජය මේ වනවිට අත්සන් තබා ඇත.
 
යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කළ සැනින්, එකී ප්‍රඥප්තිවලට අත්සන් කළ සාමාජික රටවල දෝෂ දර්ශනය ලංකාවට එරෙහිව කෙලින්ම එල්ල වනු ඇත. තවද ආර්ථික හා දේශපාලනික සම්බාධක පවා පැනවීමේ අවදානමක් පවතී.
 
එසේ වුවහොත් එහි විපාක විඳින්නට සිද්ධ වන්නේ ජනාධිපතිවරයාට නොව, රටේ සමස්ත ජනතාවටය. ඒ හේතුවෙන් අර්බුදයට ලක් වන්නේ සහ බැට කෑමට සිදු වන්නේ රටේ පොදු ජනතාවටය.
 
කෙටියෙන් කියතොත් කිසිම ආකාරයකින්, රටේ ජනතාවගෙන් උදුරා ගත නොහැකි ජනතා පරමාධිපත්‍ය මත පදනම්ව, ඔවුනගේ ඡන්ද බලයෙන් පත් වූ ජනාධිපතිවරයාගේ මේ අත්තනෝමතික තීරණය නිසා පෙරලා එකී මහජන පරමාධිපත්‍යයම අභියෝගයට ලක් වන්නේ නම් සහ එයට හානියක් වන්නේ නම්, එවැනි අවස්ථාවලදී ජනාධිපතිවරයා සතු අධිකරණමය මුක්තිය නොසලකා, මහජන පරමාධිපත්‍ය තහවුරු වන ආකාරයේ තීන්දු තීරණ දීමේ බලය උපරිමාධිකරනය සතුය.
 
සේපාල ඒකනායක නඩුවේදී, රටේ නීතිය කුමක් වුවද, ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට ගරු කිරීමේ අවශ්‍යතාවය උපරිමාධිකරණය පෙන්වා දුන් අතර වෝටර්ස් එජ් නඩුවේදී ජනතාව සතු පරාමාධිපති බලතල රටේ එවකට සිටි පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිනියටවත් උදුරාගත නොහැකි වග අධිකරණය තහවුරු කර දී ඇත.
 
වසන්ත සිරි වටගොඩ