මරණයටද මිලක් ඇති රටක,

මරණයටද මිලක් ඇති රටක,

27 June 2019 07:30 pm

මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සඳහා වන නිර්දේශයට තමන් අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබිණ.

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය මුතූර් හි පහළොස් හැවිරිදි රිසානා නෆීක් 2013 වර්ෂයේ දී හිස ගසා දැමුණේ ශ්‍රී ලංකා රජයේ බලවත් විරෝධය මත ය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ වේල්ස් හි චාල්ස් කුමරු පවා රිසානා වෙනුවෙන් අභය ඉල්ලා තිබුණ ද ඒ සියලුම උත්සාහයන් ව්‍යර්ථ විය. රිසානා අදාල චෝදනාවට වරදකාරියක නොවන බව පැවසුණද මරණ දඬුවම නීතිගත කළ රටක කිසි ලෙසකින් හෝ ජීවිතයට undo ඔප්ෂන් නොමැත.

"මරණ දඬුවම" නමින් ක්‍රියාත්මක වන දඬුවම ඕනෑම රාජ්‍යයකදී අගති සහිත බවට සාක්ෂි සපයන්නේ සෞදි අරාබිය විසින් මරණ දඬුවමට ලක් කළ ශ්‍රී ලාංකික බාලවයස්කාරියගේ හුදෙකලා සිදුවීම පමණක්දැයි විමසුම වටී. මෙවැනි දඬුවමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම කොතරම් ප්‍රායෝගිකද යන්න අනාදිමත් කාලයක පටන් ඔප්පු කර පෙන්වා ඇත්තේ මෙරට පාලකයන් විසින්මය.

1979 වසරේදී "ලංකාදීප" උප කර්තෘව සිටි සමන් චන්ද්‍රනාත් වීරසිංහව අනිවාර්ය නිවාඩු යවන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා පිළිබඳ ලිපියක "ජනාධිපතිතුමා" වෙනුවට "ජනාධිපතිවරයා" යනුවෙන් සඳහන් කර තිබීමේ වරදටය. නමුත් ඒ ජනාධිපතිවරයාම ඊට වසර කිහිපයකට පසුව 14 හැවිරිදි බාල වයස්කාරියක දූෂණය කළ වරදට පසළොස් අවුරුදු සිර දඬුවමක් ලබා සිටි ගෝනවල සුනිල් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කළේය. ඉන් නොනැවතී මුළු දිවයිනටම බලපාන සාම විනිසුරු පදවියක්ද ග්‍රාමෝදය මණ්ඩලයක සභාපති පදවියක්ද ලබා දුන්නේය.

ජාතීන් අතර සංහිඳියාව නැති කිරීම සඳහා මාධ්‍යය යොදාගත්තේ යයි චෝදනා කරමින් මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බරපතල වැඩ සහිතව විසි අවුරුදු සිර දඬුවමක් නියම වූයේ ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේය. 2009 වසරේ සිට අනීතික ලෙස සිරගත කර සිටි තිස්සනායගම් වෙත ජනාධිපති සමාවක් ලබා දෙන්නට 2010 වසරේ මැයි 03 දිනට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදී ඇමරිකානු ජනපති බැරක් ඔබාමා කළ මේ ප්‍රකාශයද ඉවහල් විය.

"අසර්බයිජානයේ සිට සිම්බාබ්වේ දක්වාද, බුරුමයේ සිට උස්බෙකිස්ථානය දක්වාද, කියුබාවේ සිට එරිත්‍රියාව දක්වාද ලෝකයේ සෑම අහුමුල්ලකම පුවත්පත් කලාවේදීහු සිරගත කරනු ලැබ හා පීඩාවට පත් කරනු ලබමින් සිටිති. ශ්‍රී ලංකාවේ ජේ.එස්. තිස්සනායගම් හෝ චීනයේ ෂී තා ඕ සහ හු ජියා වැනි අය මෙම භයානක යථාර්ථයට සංකේතීය උදාහරණ වේ."

නමුත් ජනපති මහින්ද රාජපක්ෂ එවකට ඔහුගේ ඇමතිවරයෙක්ව සිටි මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳට නියමව තිබූ මරණ දඬුවම ජනාධිපති සමාවක් යටතේ ඉවත් කිරීමට ජාත්‍යන්තරය ඉල්ලා සිටින තුරු බලා සිටියේ නැත. ඇමතිවරයාගේ අනියම් බිරිය සහ ඇගේ සේවිකාව ඝාතනය කර පුළුස්සා දැමූ වරදට 2005 වසරේදී මරණ දඬුවම ලද මේරි මොනිකා ප්‍රනාන්දු 2009 වසරේදී ජනාධිපති සමාවේ නාමයෙන් නිදහස් විය.

2018 වසරේදී අධිකරණය තුළ ඈනුමක් හැරීමෙන් අධිකරණයට අපහාස කළැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් විසින් මාස අටක සිර දඬුවමක් ලබා දෙන්නේ රත්මලානේ ඉමේෂ් වසන්තටය.

අධිකරණ භූමියේදී පැමිණිලිකාරියකට තර්ජනය කිරීම පාදක කොටගෙන අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි බරපතල වැඩ සහිත වසර 6 ක සිර දඬුවමක් ලබන්නේ 2018 වසරේ අගෝස්තු මාසයේදීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත ඥානසාර හිමියන් ජනාධිපති සමාවක් ලබා නිදහස් වන්නේ 2019 මැයි මාසයේය.

සේයා සදෙව්මි ඝාතනයට මුල්ම සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන විකෘති කාමාසාවකින් පෙළෙන්නෙක් ලෙස හංවඩු ගසා සමස්ත අනාගතයම අඳුරු කළ ගම්පහ උසස් පෙළ සිසුවාද අනතුරුව පොලිසිය විසින් හඳුන්වා දී සමාජගත කළ "කොණ්ඩයා" යන අන්වර්ථ නාමයකින් රටම හඳුනා ගත් කොටදෙණියාව දුනේෂ් ප්‍රියශාන්ත නම් නිවැරදිකරුවාගේ සිදුවීම්ද සිහියට නගා ගැනීම නුවණට හුරුය.

පෙම්වතියට තෑග්ගක් ගැනීම පිණිස ඉල්ලූ මුදල් නොදුන්නා යැයි උරණව මව මරා දැමුවායැයි චෝදනා ලද පාපොච්ඡාරණය පවා කළා යැයි පැවසුණ කහවත්‍තේ 18 හැවිරිදි උෂාන්ත මහේෂ් ශ්‍රියානන්ද එම ඝාතනයට සම්බන්ධ නැති බව තහවුරු වූ අතර සැබෑ ඝාතකයා හසු වූ බවත් දන්නේ කීයෙන් කී දෙනාද ?

මරණයටද මිලක් ඇති රටක "මරණ දඬුවම" ගෙන එම්යැයි පාලකයින් වහසි බස් දොඩන සඳ අප ඉන් මෝහනය නොවිය යුත්‍තේ මන්දැයි තේරුම් ගැනීමට ඉහත සිදුවීම් ප්‍රමාණවත් ඇතැයි විශ්වාස කරමි.

ඔබ අප ජීවත් වන්නේ ධන බලය, දේශපාලන බලය සහ නිල බලය ඇති තාක් කිසිදු අපරාධයක් කිරීමට බිය විය යුතු නැති පව්කාර දේශයකය. ඔබද එක් බලසම්පන්න අයෙක් නම් ඔබට කෙළක් මිනිසුන් නසා වුවද ජයරත්න VIP අවමංගල ශාලාවේ සැනසුම් සහගත ගෞරවනීය අවසානයක් ලද හැකිය.

ඔබ කුරා කුහුඹු මිනිසෙක් වන තුරාවට කුසගින්නට කඩන පොල්ගෙඩිය වුවද ඔබට පෝරකයට මග පෙන්වනු ඇත.

මිත්‍රවරුනි; 
අධෝමුඛය දෙනවා මදිවාට ඛේඨ ග්‍රන්ථියද මේ ජනපතිවරයාට පුද දීම අනතුරුසහගත බව වටහා ගන්න !

සහන් කසීර වික්‍රමසිංහ