එල්ලුම්ගහට මම විරුද්ධයි... හේතුව,

එල්ලුම්ගහට මම විරුද්ධයි... හේතුව,

27 June 2019 05:32 pm

මේ, අවුරුදු දාහතේ දරුවෙකුගේ පරිගනකයේ තිබූ නිල් චිත්‍රපට දැක අල්ලාගෙන ගොස් වෙනත් අපචාරයක වරද පැටවූ රටය.

මේ, නොකල වරදකට කොණ්ඩයාව අල්ලාගෙන එල්ලුම්ගස් යැවීමට සූදානම් වූ රටය.

මේ, පොලීසියක් ඇතුලතදී පෞද්ගලික වෛරයක් පිරිමසා ගැනීමට තරුණයන් දෙදෙනෙකු ඝාතනය කළ රටය.

මේ, කප්පම් ගැනීමට මනුෂ්‍ය ඝාතන සිදු කර, DIGලා වැරදිකරුවන් වූ රටය.

මේ, කප්පම් ගැනීම පිණිස අහිංසකයන් 11 අතුරුදන් කර ඝාතනය කළ බවට ආරක්ෂක අංශවල ඉහළම නිලධාරීන් චෝදනා ලැබූ රටය.

මේ, උඹ දැඟලුවොත් කුඩු පැකට් එකක් දාලා ඇතුලට දාන්නං කියන රටය.

මේ, සිරගෙට පැන නම් කතා කර රැඳවියන් ඝාතනය කළ රටය.

මේ, මහ බැංකුව කොල්ලකා රටින් පලාගිය මහ බැංකු අධිපතිලා ඉන්න රටය.

මේ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා, පාස්කු ප්‍රහාරයෙන් පසු සැබෑ ඝාතකයන් හෙළිදරව් වනතෙක් රිමාන්ඩ් වී සිටි රටය. සහරාන් නැත්තං ඌත් ගස්ය.

මේ, ජනාධිපති ඇතුළු සියල්ලෝම පෙර දැනගෙන අහිංසක ජීවිත 250+ ක් මියයන තෙක් කිසිවක් නොකර සිටි රටය.

මේ, කාර් ඇතුලේ රගර් ක්‍රීඩකයන් බාබකිව් වූ රටය.

මේ, අධි ආරක්ෂිත කලාපවල මාධ්‍යවේදීන් මියගිය, මාධ්‍ය ආයතනවල බෝම්බ ගැසූ රටය.

මේ, මිනීමරු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වූ රටය.

නීතිය බල්ලට දමා ආයුධ පෙන්නීම ආතල් එකක් වූ රටය.

පාතාලයන් සාම විනිසුරුවන් වූ රටය.

නඩු තීන්දු ලබාදීමට විත්තිකරුගේ බිරිඳව කෙලෙසූ විනිසුරුවන් සිටින රටය.

ත්‍රස්තවාදීන් රටේ අමාත්‍යවරුන් වූ රටය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදැන අමු අමුවේ උල්ලංඝනය කර ජනාධිපතිවරුන්ගේ රටය.

මරණ දඬුවම දෙන්න හදන්නේ එහෙම රටකය..!!

පෞද්ගලික කෝන්තරේකට හෝ රාජ්‍ය මර්දනය වෙනුවෙන් බොරු චෝදනා මත ඔබව හෝ ඔබේ ආදරණීයෙක්ව එල්ලුම් ගස් නොයවන තෙක් ඔබත් පෝරකේ කඹේ ඔංචිලි පදිනු ඇත..!!

චමල් අකලංක පොල්වත්තගේ