අන්තවාදයේ හොඳක්ද තිිබිය හැක

අන්තවාදයේ හොඳක්ද තිිබිය හැක

26 June 2019 09:00 pm

අපි ස්වභාවයෙන්ම අන්තවාදයට ප‍්‍රතිපක්ෂයි. විශේෂයෙන්ම ආගමික වාර්ගික අන්තවාදයන්ට මං සහ මං ඇසුරු කරන බහුතරයක් විරුද්දයි. ඒක අපි ඇසුරු කරන සාහිත්‍යය, සංස්කෘතිය, සහ සමාජය ඇසුරෙන් නිර්මාණය වෙන තත්වයක්. රටේ බහුතරයක් අන්තවාදයන්ට පක්ෂයි. කවර හෝ විදිහක අන්තවාදයක් ඇතුලෙ දැනෙන සුරක්ෂිතබවක්, ඇතුලත් වූ කියල දැනෙන හැගීමක් ලංකාවෙ බහුතරයකට අන්තවාදයන්වල තියෙනවා. මේ හැගීමට ජාතිබේද නෑ. නිදහසට වඩා මිනිස්සු සැපවත් විදිහට තේරුම්ගන්නෙ තමන්ව පාලනය කිරීම. ඒක තමයි සුරක්ෂිතයි කියන්නෙ.

ඒත් මේ අන්තවාදයන්ගේ ස්වභාවික වූ තුලනයක් තියෙනවා. ඒක හරි අපූරු දෙයක්. උදා විදිහට පාස්කු බෝම්බ පුපුරා යනකල් අපි ඒ කියන්නෙ ලිබරල් අයටයි වමටයි මුස්ලිම් අන්තවාදයක් ගැන අල්පමාත‍්‍ර දැනීමක් තිබුනෙ නෑ. ඒක සහතිකයි. ඒත් ඒ අන්තවාදයට ප‍්‍රතිපක්ෂයක් සිංහල බෞද්ද එකෙන් නිර්මාණය වෙමින් ආවා.

මේක හුදු ආවේගශීලී ප‍්‍රතික්‍ෂේප කිරීම් හෝ වැළඳගැනීම් නැතුව තේරුම්ගන්න  ඕන දෙයක්. මුස්ලිම් අන්තවාදය ගත්තොත් ඒක සාමාන්‍ය නිදහස් සමාජයක අන්තවාදයක් කියල තේරුම්ගන්නවත් බැරි ක්ෂුද්‍ර මට්ටමේ ක‍්‍රියාකාරීත්වයක්. ඒක සාමාන්‍ය මුස්ලිම් ජනජීවිතය එක්ක සම්බන්ද තත්වයක්. හලාල් සහතිකය හොඳම උදාහරනයක්. මුස්ලිම් අය හලාල් කියල සහතිකයක් ඉල්ලනවා. අනෙක් බහුතරයක් හලාල් තිබුනත් නැතත් බඩු ගන්නවා. ඒත් මාර්කට් එකේ බඩු සමස්තයක් හලාල් වෙනවා. රටේ මුස්ලිම් නියෝජනය එක්ක සමපාත නොවෙන නිරූපනයක් මුස්ලිම් ඉල්ලීම නිසා වෙළඳපොලේ ඇතිවෙනවා. ඒක අපි කලින් දැනගෙන හිටපු තත්වයක් නෙමෙයි. ඒත් එතන අන්තවාදයක් විදිහට නම් නොකළ අන්තවාදයක් ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා.

මේ හරහා වෙළඳපොලේ සංකීර්න වෙනස්කම් සිද්ද වෙන්න පුළුවන්. උදා විදිහට  ඕනම කඩයක් පෙළඹෙනවා හලාල් කරන ලද මස් විකුනන්න. ඌරුමස් මිශ‍්‍ර කෑම අලෙවිය නතර කරන්න. හලාල් මස් විකිනීම හරහා දන්නෙම නැතුව මස් වෙළඳපොල මුස්ලිම්කරණය වෙන්න පටන් ගන්නවා. අනෙක් ජාතීන් වල අයට මස් වෙළඳපොලේ මාර්කට් එකක් නැති වෙනවා. මේක අන්තවාදී තත්ත්වයක්.

මේ කිසි දෙයක් මුස්ලිම් අය විසින් හිතාමතා කරන දුෂ්ටකමක ප‍්‍රතිඵල නෙමෙයි. ඒ සංස්කෘතිය සතු සංවෘත කල්ට් ලක්ෂන නිසාම බහුතර පැසිව් සංස්කෘතියේ වෙන්න නියමිත වෙනස්කම්. එතකොට මහා සමාජයෙත් ඉන්නවා අන්තවාදයන්ට ධ‍්‍රැවීකරනය වෙන්න විභවය වැඩි පිරිස්. මේ අය මුස්ලිම් වර්ගය අනෙකා කරගනිමින් ලොකු වර්ගවාදී ප‍්‍රචන්ඩ කතිකාවක් ඇතිකරනවා. මේ ප‍්‍රචන්ඩත්වය අතිශය අහිතකර එකක්. ඒ නිසා සිද්දවෙන හානිය කොහෙත්ම සුලූකොට තකන්න බැරි එකක්. ඒත් ඒ නිසාම මෙතෙක් ක්ෂුද්‍ර තලයේ ක‍්‍රියාත්මක වෙමින් පවතින අන්තවාදී තත්වයන්ට අවධානය යොමු වෙනවා. ඒවා සමාජය ඉස්සරහට එනවා. අපිට ඒ වෙනුවෙන් මැදිහත් විසඳුම් හොයන්න අවශ්‍ය වෙනවා.

උදා විදිහට හලාල් අවශ්‍ය අයට වෙනම ඒ සහතිකය ලත් භාන්ඩ අලෙවිකරන විදිහෙ ක‍්‍රම ගැන වෙළඳපොලට හිතන්න සිද්ද වෙනවා. ඒක හොඳ දෙයක්. හැම පාරිභෝගිකයාම සමාන නෑ. ඒ ඒ අයට වෙන් වූ අවශ්‍යතා සපුරන්න වෙළඳපොල නිර්මාණය වෙනවා කියන්නෙ මාර්කට් එක පළල් වෙනවා කියන එක.

පාස්කු පුපුරායාම හරහා අපිට අවංකව බාරගන්න සිද්ද වෙන තත්වයන් තියෙනවා. ඇතැම් කල්ට් සංස්කෘතීන්වල සාමාන්‍ය පරිද්දෙන් සිද්ද වෙමින් යන අන්තවාදී තත්වයන් ගැන ලිබරල් සහ වාම කතිකාවේ ප‍්‍රවේශය දුර්වලයි කියන එක එතනදි ප‍්‍රධානයි. මේක මුස්ලිම් විතරක් නෙමෙයි.  ඕනෑම හැකිලූනු ආරක්ෂනවාදී සුලූතර සංස්කෘතියක් මහා සංස්කෘතියක් හා ස්පර්ශ වීමේදී ඇතිවෙන්න නියමිත තත්වයක්. මට හිතෙන්නෙ එතනදි ඊට ප‍්‍රතිපක්ෂව ඇතිවෙන අනෙක් අන්තවාදයන් ඉටු කරන්නෙත් අවශ්‍ය භූමිකාවක්. ඒක දේශපාලන බලපෑම් මත ආවත් ඒකෙ ස්වභාවික ගතිකයක් තියෙනවා. හුදෙක් ප‍්‍රචන්ඩ අමානුෂික අන්තාදයන්ට එරෙහිවීමෙන් නොනැවතී, අන්තවාදයන් ගැටෙන පිට්ටනියෙ කරුණු විදිහට මතුවෙන, අපිට මගහැරුනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අභියෝගයක් වන තත්වයන් වටහා ගැනීම සහ ඒවාට මානුෂීය පිළියම් සෙවීම වඩා පළල් සමාජ ගොඩනැංවීමකට උදව් වෙනවා කියල මං හිතනවා.

http://c-u-l-t.blogspot.com/2019/06/blog-post.html