රැවුල කොට කර කැඳ බීම

රැවුල කොට කර කැඳ බීම

20 June 2019 08:00 pm

තීරණ ගැනීම ඇතැම් විට දුෂ්කර වන්නේ බොහෝ තීරණ තුළ බොහෝ විට යහපත ද අයහපත ද එකවර අඩංගු නිසා ය. එක පැත්තකින් යහපතක් සිදු වන විට ඒ තීරණය නිසා අනෙත් පැත්තෙන් අයහපතක් සිදු විය හැකි නිසා ය. බොහෝ විට සිදු වන නිසා ය.

සංවර්ධනය යහපත් ය. එහෙත් ඒ නිසා ඇතිවන පරිසර ව්‍යසනය අයහපත් ය. ආර්ථික සංවර්ධනය යහපත් ය. ඒ සඳහා ඇතිකරන ප්‍රතිපත්ති තුළ බිහි වන අසමානතාවය, ඇති නැති පරතරය, අයහපත් ය. දක්ෂයාට තැන දීම යහපත් ය. හැම විටම එකම අයට තැන දීම නිසා කණ්ඩායම තුළ සෙසු අය සංවර්ධනය නොවීම අයහපත් ය. විශාල රුක්ෂයක් පැවතීම යහපත් ය. එය සෙවන සලසන අතර වායුගෝලය පිරිසිදු කිරිමට ද ජලය ආරක්ෂා කොට තබා ගැනීමට ද දායක වන නිසා ය. එසේ වුව ද ඒ සෙවන යට වෙන කිසිම පැලයකට වැඩෙන්නට ඉඩ නැති වීම නම් අයහපත් ය.

කණ්ඩායම් හැගීම වැදගත් ය. එහෙත් ඒ වෙනුවෙන් පුද්ගල අනන්‍යතාවය හා නිදහස කැප කිරීමට බල කිරීම නපුරකි. සමාජ ප්‍රගමනය වැදගත් ය. එහෙත් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ නිදහස හා මානව හිමිකම් අහෝසි කර දැමීම වැරදි ය.

සෑම ලාභයක් උදෙසාම අත් හැරිය යුතු දෙයක් තිබේ. පරිත්‍යාග කළ යුතු දෙයක් තිබේ. පිරිවැයක් තිබේ. ලාභය දකින අය ඒ වෙනුවෙන් දැරිය යුතු පිරිවැය නොදකිති. පිරිවැය පමණට වඩා උලුප්පන අය ලැබෙන ලාභය නොතකා හරිති.

මේ දෙපැත්තම දකින අයට ඇති ප්‍රශ්නය තීරණයක් නොගෙන අතරමං විම ය. මේ අන්ත දෙක අතරින් වඩාත් සුදුසු තෝරාගැනීම කුමක් දැයි සොයා ගැනීමට බැරි ව ලත වීම ය. පිරිවැය අවම කර ලාභය උපරිම කර ගැනීමේ ලා නිශ්චිත පියවර දැකීමේ දී අදක්ෂ වීම ය. ඒ නිසා අකර්ණම්‍ය වීම ය.

මේ ලිපියෙන් අප උත්සහ දරන්නේ මේ අන්ත අතර සාම්‍යයක් ඇති කරලමින් තීන්දුවක් ගත හැකි බව කියන්නට ය. කළ යුත්තේ ද එය බව කියන්නට ය.

පරිසරයට උත්තර

සංවර්ධනය සඳහා පරිසර සම්පත් එක්තරා දුරකට හුවමාරු කර ගැනීමට අපට සිදු වන බව අපි කීවෙමු. මහාමාර්ගයක් තැනීමට අපට වනයෙන් කොටසක් අත් හැර දමන්නට සිදු වෙතැයි අපි සිතමු. අපට කළ හැක්කේ කුමක් ද? ඒ වෙනුවට වෙනත් පෙදෙසක් වනයක් ලෙස සංවර්ධනය කිරීම ය. මහාමාර්ගය දෙපස ගස් සිටුවීම ය. අප කපන ගස් ප්‍රමාණයට සරිලන ගස් ප්‍රමාණයක්වත් ඉන්දීම ය. හැකිනම් අමතරව ද ගස් පැල කර ලොකු වන තුරු හදා වඩා ගැනීම ය. ඒ ඉස්සරහට කරන්නට තිබෙන වැඩ ය.

අප දැනටමත් සංවර්ධනය වෙනුවෙන් කැලෑ එලි කර ඇත්තෙමු. අපට එය ආපසු හැරවිය නොහැකි ද?

දකුණු කොරියාව තුළ සිදු වූයේ එය ය. ඔවුන් කළේ ඵලදායකත්වයක් නොමැති වගාබිම් කැළෑ වලට පෙරලා ඒවායේ උන් ජනයා නගරයේ පදිංචි කරවීම ය. ඔවුන්ට නගරය තුළ වඩා ඵලදායී ජීවන මාර්ග සොයා දීම ය. ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම ය. ඒ සඳහා නගරය තුළ තට්ටු නිවාස තැනීම ය. දකුණු කොරියාවේ සීවුල් නගරය අදට ද ලොව හරිත නගර අතර ඉදිරියෙන් තිබෙන නගරයකි. පසුගිය දශක කීපය තුළ එහි ජන ඝනත්වය සීඝ්‍රයෙන් වැඩි වුව ද ඔවුන් අනුගමනය කළ සිරස් සංවර්ධනය ප්‍රතිපත්තිය (අහස සූරන ගොඩනැගිලි තුළ මිනිස් ජනාවාස පිහිටුවීම) නිසා අදට ද නගරයේ බොහෝ තැන් කොළ පාටින් බබලවන්නට ඔවුන් සමත් ව තිබේ.

අවශ්‍ය වන්නේ සංවර්ධනයේ නාමයෙන් කැළෑ එලිපෙහෙලි කිරීම නොවේ. කැලෑ එලි කිරීම ඒ උදෙසා සාධාරණීකරණය කර නැවතීම නොවේ. සංවර්ධනය තුළ නව කැලෑ බිහි කිරීම උදෙසා ද ආයෝජනයන් කිරීම ය. ඒ සඳහා සංවර්ධන ප්‍රතිපත්ති නැවත සකස් කිරිම ය. සංවර්ධනය විසින් හඳුන්වා දී ඇති නව තාක්ෂණික ක්‍රම සංවර්ධනය සඳහා තරමට ම පරිසරය සුරැකීම වෙනුවෙන් ද යොදවා ගැනීම ය. සංවර්ධනය හා පරිසරය යන දෙකින් එකක් තෝරා ගැනීම වෙනුවට දෙකම එක්ව ගැනීම ය.

ඇති නැති පරතරයට

ආර්ථික සංවර්ධනය වැදගත් ය. ඒ සඳහා වඩා කාර්යක්ෂම නිශ්පාදනයට ඉඩ දිය යුතු ය. අකාර්යක්ෂම නිශ්පාදනයන්ට මැරෙන්නට ඉඩ හැරිය යුතු ය. පැල බිහිවීම සඳහා පැරණි ගස් ඉවත් විය යුතු ය. නව රැකියා බිහිවීමට පැරණි රැකියා අවසන් කර දැමිය යුතු ය. පාලම ඉදිකරන විට තොටියාගේ රැකියා අහිමි වීම ගැන කම්පා වී පාලමට විරුද්ධව නැගී නොසිටිය යුතු ය. දුම්රිය හඳුන්වා දෙන විට කරත්ත කරුවන්ගේ නැතිවන ජීවන මාර්ගය ගැන උරණ වී දුම්රියට වැට නොබැඳිය යුතු ය.

එපමණක් මදි ය. තරගයට ඉඩ හල යුතු ය. දක්ෂයාට දුර්වලයා අභිබවා යෑමට ඉඩ හල යුතු ය. වඩා කාර්යක්ෂම ආයතන වලට අඩු කාර්යක්ෂම ආයතන පැරදවීමට ඉඩ හල යුතු ය. එය ද ප්‍රමාණවත් වන්නේ නැත. සම්පත් වඩාත් කාර්යක්ෂම ඵලදායී නිශ්පාදනයන්ට ලබා ගත හැකි තත්වයක් ඇති කළ යුතු ය.

වී වැවීමෙන් වියලි කලාපයේ මෙන් අස්වැන්නක් ගත නොහැකි තෙත් කලාපයේ බිම් වල ආර්ථික බෝග වගා කළ යුතු ය. ඒ සඳහා වී වලට වෙන් කොට තිබෙන වගුරු බිම් ජලය දරා ගැනීමට ප්‍රමාණවත් ඉඩක් තබා වෙනත් ආර්ථික කටයුතු සඳහා නිදහස් කළ යුතු ය.

කුඹුරකින් වී නිශ්පාදනය කර එයින් ලැබෙන ලාභයට වඩා විශාල ලාභයක් කුරුඳු වවා ගත හැකි නම් කුරුඳු වැවිය යුතු ය. කුරුඳු විකුණා සහල් මිල දී ගෙන ඉතිරි වන කොටසින් වෙනත් දේ මිල දී ගැනීමට මග පාදා ගත හැක්කේ ඒ හරහා ය. ජලය වඩා ලාභ දායක විදිහට යොදා ගත හැක්කේ විදුලි බල නිශ්පාදනයට යෙදවීමෙන් නම් ඊට වඩා අඩු ලාභයක් ලබන කුඹුරකට එය යෙදීමෙන් ඵලක් නැත.

බොහෝ දෙනා මීට විරුද්ධ වන්නේ බත අපේ ප්‍රධාන ආහාරය නිසා ය. ඒ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවය සඳහා වී වැවිය යුතු යැයි සිතා ය. ඔවුන් නොදන්නා කාරණය නම් අප වැඩියෙන් බත් කෑම නිසා ලෙඩ වි ඇති ජාතියක් බව ය. බත් කෑම සෞඛ්‍ය සම්පන්න මට්ටමකට අඩු කරන්නේ නම් අපට වී වගාව අර්බුදයකින් තොරව බොහෝ සෙයින් අඩු කළ හැකි ය. ඊටත් අමතරව වත්මන් සන්දර්භය යටතේ ආහාර සුරක්ෂිතතාවය මිරිඟුවක් බව මේ කියන අය අමතක කරති. විදේශ සමග ඇති අපේ සබඳතා බිඳ වැටුනොත් කොළඹ ඉන්නා මිනිසුන්ට බඩ ගින්නේ මැරෙන්නට සිදු වන්නේ අම්පාරේ හා පොළොන්නරුවේ හාල් තියා ගෙන ය. ප්‍රවාහනය කරගන්නට බැරිව ය. ඒ හාල් පමණක් මදි නිසා ය. ඒවා ප්‍රවාහනය කිරීමට තෙල් වුවමනා නිසා ය.

ආර්ථික අසමානතාවයට විකල්පය

සංවර්ධනය සඳහා ඒ තුළ ඇතිවන්නාවූ ආර්ථික ප්‍රතිලාභ අසමානව බෙදී යෑම ද ඉවසිය යුතු ය. වැඩියෙන් දක්ෂ වැඩියෙන් වැඩ කරන වැඩියෙන් ආයෝජනය කරන වැඩියෙන් අවදානම් ගෙන නව නිපැයුම් කරන අයට වැඩි ප්‍රතිලාභ හිමිවන්නේ නැත්නම් සංවර්ධනය ඉදිරියට යන්නේ නැත. මේ නිසා ඇති නැති පරතරය විශාල වන බව ඇත්ත ය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නය ඇත්තේ එතැන ය. මේ ආර්ථික සංවර්ධනය තුළ ඇති නැති පරතරය ඉහවහා යන තත්වයක් ඇති වීම ය. එසේ කියන අය අමතක කරන කාරණය නම් ඇති නැති පරතරය ඉහළ ගිය ද නැති මිනිසාගේ ජිවන තත්වය ද ඉහළ ගොස් ඇති බව ය. වෙනදා නොතිබූ බොහෝ සම්පත් දුගී මිනිසුන් ද අයත් කර ගෙන ඇති බව ය. ඔවුන්ගේ ජීවන තත්වය ද ඉහළ ගොස් ඇති බව ය.

විකල්පය කුමක්  ද? ලාභ උපදවන ආයතන දිගින් දිගට බදු බර පටවා පෙරලා දැමීම ය. සිදු විය හැක්කේ කුමක් ද? මිනිසුන් ආයොජනයට උකටලී වීම ය. සංවර්ධනය ඇණ හිටීම ය.

මුල දී වුනේ කේක් එක ලොකු වීම ය. එහෙත් එය අසමානව බෙදීම නිසා කුඩා මිනිසුන්ට සාපේක්ෂව කුඩා කෑල්ලක් ලැබීම ය. දැන් සිදු ව ඇත්තේ කේක් එක පුංචි වීම ය. ලොකු මිනිසාගේ කෑල්ල ද වෙනදාට අඩු වූයේ නමුදු පොඩි මිනිසාගේ කෑල්ල ඔහුට කලින් ලබා ගත් කෑල්ලට ද වඩා බොහෝ සෙයින් අඩුව තිබීම ය.

ආයෝජන කරන මිනිසුන් ගන්නේ විශාල අවදානමකි. ඇතැම් විටක මුළු ආයෝජනයම වතුරේ යා හැකි ය. එසේත් කොට ලබන දෙයින් වැඩිමනත් කොටස බෙදා දීම සඳහා පැහැර ගනු ලැබෙන්නේ නම් ඔහු ද කැමති වනු ඇත්තේ නිකම් සිට කොටසක් ලබා ගැනීමට ය.

මෙයින් අදහස් කරනු ලබන්නේ ආර්ථික සංවර්ධනයෙන් බැහැර කරනු ලැබ ඇති මිනිසුන් නොසළකා හරින්නට නොවේ. ඔවුන් ද ඒ තුළට කැඳවා ගැනීමට සමාජය විසින් කටයුතු කළ යුතු ය. ඒ සඳහා රජය ද මැදිහත් විය යුතු ය. ඒ වෙනුවෙන් අවශ්‍ය වියදම් පියවා ගැනීමට රජය විසින් බදු ලබා ගත යුතු ය. එහෙත් ඒ ආයෝජකයන් අධෙර්යය කිරීම හරහා නොවේ. ඔවුන්ව ද මේ සමාජ සත්කාර්යයන්ට සහභාගී කර ගැනීම හරහා ය.

ආර්ථික සංවර්ධනයට දිරි දෙන බොහෝ රටවල් ඊට සමගාමීව එම සංවර්ධනයෙන් බැහැර කරනු ලබන ජනයා ද ඊට සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. එකක් රැකියාවක් සොයා ගන්නා තෙක් ඩෝල් එකක් ප්‍රදානය කිරීම ය. තවෙකක් වන්නේ නව රැකියාවකට අවශ්‍ය කුසලතා සම්පූර්ණ කර දීම ය. ප්‍රශ්නය ඇති නැති පරතරය ලෙස ඔවුන් දකින්නේ නැත. ඔවුන්ට අනුව ප්‍රශ්නය ජීවන මාර්ගයක් සඳහා සෑම කෙනෙකුට ම ඇති අයිතිය අහිමි විම ය. ඒ අයිතිය අවලංගු වූ තැනක ප්‍රමාණවත් වන්දියක් හිමි විය යුතුය යන කාරණය ය. නැවත එවැන්නක් ඇති කර ගැනීමට උපකාර විය යුතුය යන පැති කඩ ය.

සම අවස්ථා අහිමිවීම

ආයතනයක් තුළ දක්ෂයාට තැන දිය යුතු ය. ඔහුට උපරිම දායකත්වය ලබා දිය හැකි වටපිටාවක් සාදා දිය යුතු ය. එවැනි අය දුසිම් ගණනින් පහළ වන්නේ නැත. ඔවුන් ඇත්තේ ඇඟිලි ගණනිනි. එහෙම තැනක සැමට අවස්ථාව දිය යුතු යැයි කියමින් ඔවුන් පැත්තකට තල්ලු කර තැබීමේ තේරුමක් නැත.

එහෙත් ඒ තුළ සෙසු අයට වර්ධනය වීමට ඉඩක් නැත. මහා රූස්ස ගසක් වටින්නේ නමුදු ඒ යට කිසිදු පැලයකට ඉඩක් නැතිවාක් මෙන් ය.

රූස්ස ගස තිබෙන කම් හොඳ ය. ගැටළුව එය ඉදිරුණු දාට ය. ඒ තැන ගන්නට පැලයක් අවට පළාතකවත් නැත. අලුතින් පැල සිටුවා පටන් ගත්ත ද කලින් තිබුණු තත්වයට එන්නට තව සියවසක් වත් ගත වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ එවැනි රූස්ස ගස් යැයි හැඳින්විය හැකි දක්ෂයෝ සිටියෝ ය. විය යුතු පරිද්දෙන් ඔවුන්ට නිසි තැන ද ලබා දී තිබුනේ ය. ඔවුන් දක්ෂකම් දක්වා සෙසු ලොව ඉදිරියේ ශ්‍රී ලංකා නාමය දිගින් දිගට සටහන් කළෝ ය. එහෙත් ඒ සාමාජිකයන් කීප දෙනා ඉවත් ව ගිය පසු එ් තැන ගන්නට කිසිවෙකු පුහුණු වී, සූදානම් වී, සිටියේ  නැත.

එයින් කියන්නේ සම අවස්ථා නැතත් සෙසු අයට ද අවස්ථාව හිමි කර දිය යුතු බව ය. ඔවුන් ඉදිරියෙන් නැතත් පැත්තකින් වැඩීමට සැලැස්විය යුතු බව ය. උපාය මාර්ගික සළකා බැලීමක් තුළ ඔවුන් ද වරින් වර ඉදිරියට ගත යුතු බව ය.

ඔවුන්ට ලැබිය යුත්තේ සම අවස්ථා නොවේ. නිසි අවස්ථාවන් ය. එසේ නිසි අවස්ථාවන් නොලද නව සමාජිකයන්ට පළපුරුදු දක්ෂ සීමිත ටික දෙනා අයින් වූ පසු සිදු වන්නේ බාහිර අභියෝග ඉදිරියේ අසරණ වන්නට ය.

දැන් සිදු ව ඇත්තේ එහි අනෙත් පැත්ත ය. කිසිවෙකුට කණ්ඩායම තුළ සුරක්ෂිතතාවයක් නැත. කුඩා පසුබැසීමකින් ඔවුන් අයින් කරනු ලැබේ. ඒ නිසා ම ඔවුන්ට වැඩෙන්නට ඉඩක් නැත. සම අවස්ථා දීම සඳහා විවිධ අය විටින් විට හඳුන්වා දෙමින් තිබේ.

දෙකින් එකක් නොව දෙකම

මේ උදාහරණ හැම එකකින් ම පාහේ කියන්නේ දෙකින් එකක් වෙනුවට දෙකම තෝරාගැනීමේ වැදගත් කම ය. සංවර්ධනය හා පරිසරය එකට ගැනීමේ වැදගත් කම ය. ආර්ථික සංවර්ධනය හා නැති බැරි අය බලාගැනීමේ වගකීම යන දෙකම එකට ගැනීමේ වැදගත් කම ය. දක්ෂයාට තැන දීම සහ සැමට නිසි අවස්ථාව දීම යන දෙකෙහිම ඇති සමාන වැදගත් කම ය.

කළ යුත්තේ අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීමට එරෙහිව කැරලි ගැසීම නොවේ. ඊට සමගාමීව දුප්පත් දරුවන්ට ඉගෙනීම සඳහා ශිෂ්‍යත්වය හා ණය ආධාර ලබා දිය යුතු බවට උද්ඝෝෂණය කිරීම ය. ඒ තුළ ඇති වන තරඟය හමුවේ රාජ්‍ය අධ්‍යාපනික ආයතන ද ප්‍රතිසංස්කරණයන්ට භාජනය කිරීමට බල කිරීමය ය. රාජ්‍ය ආයතන ද ස්වාධීනව පවත්වා ගෙන යෑමට දිරි දිම ය. ඔවුන්ට ද නව අත්හදා බැලීම් කිරිමට ඉඩ හසර දීම ය.

කළ යුත්තේ සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කිරීමට එරෙහිව කැරලි ගැසීම නොවේ. ඊට සමගාමීව සුදුසු රක්ෂණ ක්‍රමයන් හඳුන්වා දීම ය. ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන ජන කොටස් සඳහා රජය රක්ෂණය වෙනුවෙන් දායකත්වයක් දැරීම ය. ඒ දායකත්වය ලබා දිමට කොන්දේසි පැනවීම ය. එසේ පනවන කොන්දේසි ඔස්සේ වඩා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට තැත් කිරීම ය. ඒ කොන්දේසි වලට අධික මත්පැන් පානය වැනි අයහපත් පුරුදුවලින් වියෝව ජීවත්වීම ද ඇතුළත් කිරීම ය. එවැනි අයට පමණක් රාජ්‍ය දායකත්වය ලබා දෙන බව වග බලා ගැනීම ය.

කළ යුත්තේ දුප්පත් මිනිසුන්ට සමෘද්ධිය දීම මගින් දුප්පත් කම දිගින් දිගට නඩත්තු කිරීම නොවේ. ඔවුන්ට ජීවනෝපායන් සපයා දීම මගින් ආර්ථිකව ශක්තිමත් කිරීම ය. ඒ සඳහා ගම තුළ නොව වඩා ඵලදායී රැකියා අවස්ථා සම්පාදනය කළ හැකි නගරය තුළ ප්‍රමාණවත් ආයෝජනයන් කිරීම ය. ඈත දුෂ්කර ගම්වලට පාලම් පාරවල් තනා ඉතා දිග කම්බිවැල් ඇද ඒ ඔස්සේ විදුලිය ඇතුළු නාගරික පහසුකම් සපයා දීම නොවේ. දැනටමත් සංවර්ධනය කර ඇති නගර තුළට මේ ගම් වැසියන් ගෙන්වා ගැනීම ය. ඒ සඳහා නගර තුළ සිරස් සංවර්ධනයන් ඇති කිරීම ය. එතරම් ඈත නොවන ගම් සමග වඩා ඵලදායී ආර්ථික සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට නගරයේ ව්‍යවාසකයින්ට දිරි දීම ය. එසේ කරන අයට බදු සහන දීම ය.

කළ යුත්තේ සියළු අකාර්යක්ෂම ක්‍රම වේදයන්ට හිලව්වට සහතික මිලක් දීම නොවේ. වෙළඳපොලේ මිලට අනුරූපව ලාභයක් ගත හැකි ලෙස කෘෂිකර්මය තුළ වඩා කාර්යක්ෂම ක්‍රම හා විධි හඳුන්වා දීම ය.

අප විසින් කළ යුත්තේ ක්‍රියාත්මක කළ නොහැකි සිහින දේශයක් ගොඩ නැගීම ගැන ලොකු කතා කියමින් කල් මැරීම නොවේ. ඒ සඳහා අපේ අතීතය තුළට මායාමය ලෙස එක් වීම ද නොවේ. මහ පොළොව මත ඇති යථාර්ථයන්ට අනුරූපව ගොඩ නැගිය හැකි දේශයක් ගැන සිහින මැවීම ය. ඒ සිහිනය යථාර්ථයක් කර ගැනීමට වැඩ කිරීම ය. ඒ සඳහා නව තාක්ෂණය කෙසේ යොදා ගත යුතු දැයි ලෝකය පීරමින් සෙවීම ය. ගැලපෙන තාක්ෂණ ක්‍රමවේදයන්, හැම නව දේ සම්බන්ධයෙන් ඇති හුඹස් බියෙන් තොරව, යොදා ගැනීම ය.

- nishanthakamaladasa.wordpress.com