බුදුදහම සුරැකීමේ පෙරමුණ සහ මායා බන්ධන

බුදුදහම සුරැකීමේ පෙරමුණ සහ මායා බන්ධන

14 June 2019 11:47 am

කෙටිකතාවක් ලියා බුදු දහමට අපහාස කළේය යන චෝදනාව මත ශක්තික සත්කුමාර ව අත් අඩංගුවට ගැනෙන්නේ “බුදුදහම සුරැකීමේ යොවුන් පෙරමුණ” නම් අන්තවාදී සංවිධානය කළ පැමිණිල්ලට අනුව ය. පොලිසිය විසින් ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ පහසුවෙන් ඇප ලබාගත නොහැකි වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පණත (අයි.සී.පී.පී.ආර්. පනත) යටතේ ය. බාලවයස්කාරියන් දූෂණය කර ඒරොප්පේ හිර කූඩුවේ ලැග පැමිණි බෞද්ධ භික්ෂූන් කිසිදු විරෝධයකින් තොරව තවමත් විහාරාධිපති ධූර දරමින් චීවරය දරා සිටින රටක කෙටිකතාවක් ලියූ ලේඛකයාගෙන් පමණක් බුදු දහමට අපහාස වීමේ න්‍යාය ඔබ අප තේරුම් ගත යුතු ය.

ශක්තික ; ඔබ ගිහි ජීවිතයේ හිඳිමින් එක ගෑණියෙක් කරකාරයට ගෙන කෙටිකතා ලියන්නට නොගොස් සිවුරක් ඇඳ ගම ම කරකාරයට ගැනීමේ මාර්ගය තෝරාගත්තා නම් අද වන විට සම්බුද්ධ ශ්‍රාවිකාවන් ඔබේ කෙටිකතාවට වඳින්නේ වැලි මළු වල තන් වක්කරගෙන ය.

ශක්තික වෙනුවෙන් නැගෙනා සහෘද මිනිස් පවුරට ආදරයෙන් එකතු වෙන බව පවසමින් මේ කතාව ලියා තබමි.

පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙස සම්මානයට පත් වූයේ උෂාන් පෙරේරා විසින් Salem Witch Trials කතා පුවත ඇසුරින් නිෂ්පාදනය කළ "මායා බන්ධන" නාට්‍යය ය. එහි ඇත්තේ සලෙම් නම් ගම්මානයක කතා පුවත ය. ගම්වැසියන් එකින් එක "භූත සන්නියක්" ඇතැයි චෝදනා නගමින් පල්ලියේ අනුග්‍රහය ද ඇතිව මරණ දඬුවමට ලක් කරන විට ඊට එරෙහිව නැගී සිටින්නේ ද , සත්‍යය උදෙසා පල්ලියට අභියෝග කරන්නට සමත් වන්නේ ද ජෝන් ප්‍රොක්ටර් සහ රෙබෙකා හෙදිය පමණකි. එල්ලුම් ගස පෙනි පෙනී වුවද ඔවුන් පවසා සිටියේ "භූත සන්නිය" වනාහි පල්ලියේ ආධාරය ද ඇතිව හිතින් මවා ගත් මනෝ විකාරයක් බවත් එය තම විරුද්ධ මතවාදීන් ව පාගා දැමීමට භාවිතා කරන අභූත චෝදනාවක් පමණක් වන බවයි.

මිත්‍රවරුනි ; ඔබ අප ද මේ ජීවත්වන්නේ මැසචුසෙට් හි සලෙම් ගම්මානයේ ය. පන්සල් , පල්ලි භේදයකින් තොරව ආගම හිස මුදුනින් තබා ගත් සිල්වතුන් අප හට "භූත සන්නියක්" ඇතැයි ඇඟිලි දිගු කරන අතර ඒක පාර්ශ්වීය නඩු අසමින් අපව එල්ලුම් ගසට දක්කන්නට සැදී පැහැදී සිටින විනිසුරු මඩුල්ලක් ද තනියට හිඳී.

එවන් සර්ව දුර්භාග්‍යයන් සහ ව්‍යසනයන් හමුවේ වුවද අපට සතුටුවන්නට එක් හේතුවක් ඉතිරිව ඇත.

ඒ සලෙම් වාසී අප අතර තවමත් ජෝන් ප්‍රොක්ටර්ලා සහ රෙබෙකා නර්ස් ලා ජීවත් වන බව දක්නට ලැබෙන ශුභාරචිය ය. මේ සටහන ඔවුන් වෙනුවෙනි.

- සහන් කසීර වික්‍රමසිංහ