ප්‍රේමපාල හේවාබටගේ - අපරාජිත කැරලිකරුවා

ප්‍රේමපාල හේවාබටගේ - අපරාජිත කැරලිකරුවා

10 June 2019 01:18 pm

මහ නඩුවේ 38 වන විත්තිකරු වූ ප්‍රේමපාල හේවාබටගේ මුලින්ම මට මුණ ගැසුනේ 2008 නොවැම්බර් මාසයේ දිනෙක ඔහුගේ නිවසේදීය. ඉතා රමණීය ලෙස ස්වභාව ධර්මයට කිට්ටු වන ලෙසට තැනු වෘත්තාකාර සාලයේ සිට අප සංවාදයේ යෙදුනෙමු. අපට දිවා ආහාරයද පිරිනැමූ ප්‍රේමපාල මහතා සවස් වනතෙක් සංවාදය ගෙන ගියේය. ඔහු පැවසු අතීත සිද්ධින් විශාල නිසා යළිත් සම්මුඛ සාකච්ඡාවක් මට අවශ්‍ය විය.

අපගේ දෙවන හමුවීම සිදු වුයේ ඔහුගෙ කාර්යාලයේදීය. සවස් වරුවේ රාජකාරි නිම කිරීමෙන් පසුව චෙස් අදිමින් සිටි ප්‍රේමපාල මටද චෙස් අතක් ඇදීමට ආරාධනා කළේය. එම ඉල්ලීම ස්තූති පූර්වකව ප්‍රතික්ෂේප කල මා සම්මුඛ සාකච්ඡාවේ අවශ්‍යතාව ගැන කීවෙමි. ඊට එකඟ වූ ඔහු චෙස් පුවරුව පසෙකට ලා මට කරුණු කීවේ මේ අයුරින්ය.

මට විජේවීර හමුඋනේ 1964 අවුරුද්දේ. මම විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉගෙන ගන්නවා. මම කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙලා හිටියේ. මේ කාලේදී විජේවීරගේ රුසියානු ශිෂ්‍යත්වය අවලංගුවෙලා. විජේවීර  මට කියපු හැටියට කේ.පී. සිල්වාගේ කේලමකට තමයි විජේවීරට නැවත රුසියානු තානාපති කාර්යාලයෙන් වීසා දීලා නැත්තේ. වරක් විජේවීර, කේ.පී. සිල්වාගේ ගෝලයකුගේ කාමරයේ ඇදක් යටට යාළුවෙක්ව යවලා කේ.පී. සිල්වා සහ ගෝලයෝ කරපු කතා අසාගෙන ඉඳලා තියෙනවා. විදේශ සවාරි, ඩොලර් බිස්නස්වලින් පිරිච්ච ඒ කතාව විජේවීර, කේ.පී. සිල්වාව විවේචනය කරන්න යොදාගත්තා. ඒ නිසා කේ.පී. සිල්වා විජේවීර චීන කුමන්ත්‍රණකාරයෙක් කියලා ශිෂ්‍යත්වය අවලංගු කරන්න කටයුතු කරලා.

මගේ තේරුම් ගැනීම අනුව විජේවීරට වෛද්‍යවරයෙක් වෙන්න එතරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔහුට අවශ්‍ය උනේ මාක්ස්වාදය පිළිබඳව ඉගෙන ගැනීම. ඔහු ස්වඋත්සාහයෙන් මාක්ස්වාදය පිළිබඳව ඉගෙන ගත්තා. එමෙන්ම ලුමුම්බා සරසවියේ ඉගෙන ගන්නා සිසුන්ට ලබාදෙන මාක්ස්වාදී පාඨමාලාවද විජේවීර විසින් හැදෑරුවා. ඒ දැනුම ඔස්සේ ලංකාවේ සමාජ ආර්ථීක ගැටළු ගැන විග්‍රහයක් කළා.

1966 කුමන්ත්‍රණයේදී විජේවීර ඩොක්ටර් තිස්ස ලෙස පෙනී හිටියා. කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ පවත්වනකොට විජේවීර විතාරන්දෙනියේ හැංගුණා. මේ කාලේ විජේවීර පන්ති 5 පිළිබඳව ක්‍රමානුකූල අධ්‍යාපනික දේශන මාලාවක් ලිව්වා. මම දවස් 7 ක් විතර විජේවීර සමඟ නැවතිලා හිටියා. විජේවීරට සිංහල භාෂාව පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න අවශ්‍ය කෙරුණා. මම ශික්ෂා මාර්ගය වගේ පොත්, තව භූගෝලය, ඉතිහාසය, පොත් ගෙනාවා පරිශීලනය කරන්න. ඔහුට ලබා දුන්නා. ඒ වගේම මගේ ළඟ තිබුණා චීන කොමිටුනිස්ට් පක්ෂයෙන් නිකුත් කරපු පොත් දෙකක සිංහල අනුවාදය. ඉන්දු චීන දේශසීමා අර්බුදයේ ආලෝකයේ නේරුගෙ දර්ශනය ගැන වැඩිදුරටත් යන පොත් පිංච දෙක ඉන්දියානු ව්‍යාප්තවාදය දේශනය සකස් කිරීමට උපකාර උනා.

විජේවීරට අවශ්‍ය උනා ලංකාවේ පැරණි වාරි කර්මාන්ත ගැන හදාරන්න. ඒවාට අවශ්‍ය පොත්පත් පවා මම ගෙනාවා. විජේවීර මේ පොත්වලින් කරුණූ අරගන දේශන මාලාව හැදුවා. ඒ වගේම අර්.ජී. සේනානායකගේ සිංහලයේ අදිසි සතුරා පොතත් යොදා ගත්තා. මේ විදිහට කොටස් එකතු කරලා ඉන්දියානු බලපෑම පිළිබඳව ඵෙතිහාසික වාමාංශික අර්ථකතනයක් දුන්නා.

මම මේකට විහිළුවට කිව්වේ විජේවීරගේ සාරසංග්‍රහවාදය කියලා. විජේවීරට අවශ්‍ය උනා දේශපාලනමය හා යුදමය කටයුතු කේන්ද්‍ර කරගත් සංවිධානයක් ගොඩ නගන්න. අපි එකට වැඩ කරා. අපි දෙන්නාගේ වයස් පරතරය මාස 11 යි. විජේවීර වැඩිමල්.

මට හම්බන්තොට, මොනරාගල, දිස්ත්‍රික් භාර දුන්නා. ඒත් මම කැමති උනේ අධ්‍යාපන පන්ති පවත්වන්න. මම දිවයින පුරා පන්ති පැවැත්තුවා. පැය 8-10 වෙලා දිගටම කතා කරනවා. සුමානයක් විතර පන්තිය තියනවා. උගුර වන වෙලා පන්තිය ඉවරවෙන කොට.

මම වරක් වැලිසර නේවි කෑම්ප් එක ඇතුලේ නැවියන්ට රහසිගත පන්තියක් පැවැත්තුවා. කරෙයිනගර් ප්‍රහාරය කළ තිලකරත්න, එතකොට නේවි එකේ කුරේ යන අය මගේ පන්තිවලට ආවා. හබරකඩදී හමුදා සාමාජිකයන්ට පන්තියක් පැවැත්වූවා.

මගෙයි විජේවීරගෙයි ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මතභේදයක් තිබුනා. විජේවීර කැමතියි තමන්ගෙ මතය ප්‍රශ්න කරන්නේ නැතුව බාර ගන්න අයට. ඒ නිසා මාව ටිකක් දුරින් තියලා තමයි තිබ්බේ. මම කිව්වේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ බලපෑම ගැන විග්‍රහය තර්කානුකූලයි. නිගමනය වැරදියි කියලා. විජේවීරගේ අර්ථකථනය අනුව වතු ද්‍රවිඩ කම්කරුවන් ප්‍රතිවිප්ලවීය බලවේගයක්. මම ඒකට එකඟ උනේ නැහැ. මම පන්ති කරන කොට ද්‍රවිඩ වතු කම්කරුවන් ගැන එලෙස හැඳින්වූයේ නැහැ.

පහරදීමට ප්‍රබල ඉල්ලීමක් තිබුණත් පහර දීම ගැන ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් මගේ තිබුණේ නැහැ. 1971 පෙබරවාරි 27 - මාර්තු 4  අතර කාලයේ දිනක මට විජේවීර වනාතමුල්ලේ ඔස්මන්ඩ්ලාගෙ ගෙදරදී හමු උනා. මම ඇහැව්වා මර්දනයට මුහුණ දෙන්නෙ කොහොමද කියා. මම යෝජනා කළා පසුබැසීමේ සැලැස්ම. විජේවීර හිනාවෙලා කිව්වා ගරිල්ලා යුද න්‍යායයේ පසු බැසීම කියන්නේ පහරදීම, පළා යාම නොවේ කියලා. මේ විදිහට ෆ්ලැට් න්‍යායෙන් මගේ ප්‍රශ්නය නිශ්ප්‍රභා කළා.

එදා අපි දවල්ට කන ගමන් පැරිස් කමියූනය ගැන සංවත්සරය සමරන්න පහර දෙමුද කියලා විජේවීර ඇහුවා. 1871 පැරිස් නගරයේ බලය අල්ලා ගන්න කම්කරු නැගිටීමක් සිදු උනා. ශත සංවත්සරය වැටෙන්නේ 1971 ට. මේ නිසයි විජේවීර කිව්වේ ශත සංවත්සරය සැමරුම් ප්‍රහාරයක් ගැන.

මම මීට පෙර චීනයේ වගේ ගොවි කැරැල්ලක් ගැනත් කථාකරලා තිබුණා. ඒ නිසා විජේවීර මට කිව්වේ 'චීන ලයින්කාරයා' කියලා. මාර්තු 9 දින මට එතකොට මැලේරියාව හැදිලා. ප්‍රහාරය කිට්ටුව මට අසනීපවීම ගැන විජේවීර ඔලොක්කුවට ඇහුවා ඩඩ්ලි සේනානායකගේ බඩේ අමාරුව වගේ අමාරුවක්ද කියලා. එහිදී අපට පණිවිඩයක් ආවා මහින්ද විජේසේකර කලවානේදී අත්අඩංගුවට ගත් බව. එදින විජේවීර පිටත් වී ගියා. ඊට දවස් කීපයකට පස්සේ මට ආරංචි උනා විජේවීර අම්පාරේදී අත්අඩංගුවට පත්වෙලා බව.

කොළඹ ප්‍රහාරය හරිහැටි සංවිධානාත්මක බවින් තොරයි කියලා මට තේරුණා. නිමල් මහරගේගේ මල්ලී සහ තාත්තා අත්අඩංගුවට ගැනීම නිසා නිමල් මහරගේ කම්පනයට පත්වෙලා හිටියා. මට නිමල්ව මාර්තු 28 දා හමු උනා. මාව දැක්ක ගමන් නිමල් අඬන්න ගත්තා. අපි නිමල්ව පැපිලියානේ නිමල්ගේ නංගිගෙ ගෙදර නවත්තලා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩ කළු ලකීට බාර දුන්නා.

ප්‍රහාරය ගැන නියෝගය මට කිව්වේ ලක්ෂමන් ජයම්පති මුණසිංහ. 1971 අප්‍රේල් 4 වෙනිදා උදේ. අප්‍රේල් 5 වෙනිදා දවල් 12 ට විතර මට විද්‍යෝදය සංඝාරාමයේදි මිල්ටන්ව හමු උනා. මිල්ටන් කිව්වා හෙට හිරු උදාවෙනකොට අපි දෙන්නාගෙන් කවුරුන් ජීවතුන් අතර ඉඳීද කියන්න බැහැ. පරිස්සමෙන් වැඩ කරන්න කිව්වා.

1971 අප්‍රේල් 5 වෙනිදා මම කොළඹ ගංගොඩවිල, මහරගම ආදී ප්‍රදේශවල හිටියා. මිරිහාන පොලිසියට පහර දෙන්න සැලසුම් කරගන. තලවතුගොඩට ආවා. එතකොට බෝපගේගෙන් හා උයන්ගොඩගෙන් පණිවිඩයක් ආවා කොළඹ ප්‍රහාරය නවත්වන්න කියලා. මම මේකට විරුද්ධ උනා. මමයි වික්ට බන්ඩාරයි කොළඹ දිස්ත්‍රක්කයේ පමණක් පහරදීම් අත්හිටුවීම වරදක් හැටියටයි දුටුවේ.

කොළඹ ප්‍රහාරය යළි සුදානම් කරන්න දිස්ත්‍රික්කයේ එහෙ මෙහෙ ගියා. අපි කහතුඩුවට යනකොට කහතුඩුව පොලිසියට පහර දෙන්න හිටි කණ්ඩායම විසුරුවා හැරලා. යළිත් අමාරුවෙන් කට්ටිය සොයාගන ප්‍රහාරය සූදානම් කළා. මහරගම කණ්ඩායමත් එහෙම විසුරවා හැරලා. දේව බණ්ඩාර සේනාරත්නට තරහ ගියා. මරහගම ඇටෑක් එක යළි සූදානම් කළා. මහරගම පොලිසියට පහරදීම ඒ අනුව සිදු උනා. ප්‍රහාරයේදී පොලිස් නිල නිවාසයේ හිටපු නිළධාරියෙකුගේ බිරියක් බයවෙලා රෑ පොලිසියට දුවගෙන ගිහිල්ලා තියෙනවා.  පොලිසිය කලබලයට ඒ ගැණු කෙනාට වෙඩි තියලා එයා මැරුණා.

මමයි වික්ට බණ්ඩාරයි රෑ කාර් එකේ ගියා ප්‍රහාර සූදානම් කරවන්න. අවිස්සාවේල්ලේදී කාර් එකට පොලිසියෙන් වෙඩි තිබ්බා. කාර් එකේ ලයිට් නැහැ. මම ටෝච් එක අල්ලගන ඉන්නවා. වික්ටර් එලවනවා. අපේ පස්සෙන් පොලිස් ජීප් එකක් ආවා. අපි කාර් එක තලවතුගොඩ පැත්තෙ කැලෑ පෙදෙසකට හරවලා පඳුරු අස්සෙ හැංගිලා හිටියා. මට ඇහුණා කෙඳිරිගාන ශබ්දයක්. බලනකොට බෝම්බ පිපිරුමකින් තුවාලවෙච්ච අපෙ සාමාජිකයන් තුන්දෙනෙක් එතැන. අපි ප්‍රහාරයට කලින් තලවතුගොඩ නිවසක නවතා වෛද්‍ය ජයවීර බණ්ඩාර ගෙන්නලා ප්‍රතිකාර ලබා දුන්නු ලෙඩ්ඩු තුන්දෙනා මෙතන දමලා ගිහිල්ලා. අපි ඒ අය පාමංකඩ සාමාජිකයන්ට බාරදීලා තිබ්බේ. ඒ සාමාජිකයන් තුවාලකාරයෝ ගෙවල්වල තියා ගැනීම භයානකයි කියලා මේ පඳුරු කැලේ හංගලා.

එතන තුවාල ලබපු දසනායකත් හිටියා. ඒ අයගෙ ඇසුත් හරියට පේන්නේ නැහැ. අපි තුවාලකාරයන් තලවතුගොඩ ගෙදරකට ගෙනිච්චා. පස්සේ කාලෙක දසනායක සහකාර වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනවා කියලා මට දැනගන්න ලැබුණා.

කොළඹ ප්‍රහාරය අසාර්ථකයි. අපිව පොලිසියෙන්, හමුදාවෙන් සොයනවා. මම මීමුරේ හරහා දේවබන්ඩාර සෙනාරත්න එක්ක නකල්ස්වලට ගියා. නකල්ස්වලට මගේ ඇල්මක් තිබුණා. 1967 දී පමණ මම ගාමිණී යාපා සමග මේ ප්‍රදේශවල සංචාරය කරලා තිබුණා. නකල්ස්වල ගරිල්ලා කඳවුරක් පවත්වන්න මට හිතුනා. ඒ අදහස ගාමිණී යාපා 1967 දී මගේ ඔළුවට දීපු අදහසක්.

දේවබණ්ඩාරගේ යාළුවෙක් මීමුරේ හිටියා. අපි එයාව හමු උනා. මාතලේ දිස්ත්‍රික්කේ ලෙනදොර අපේ කඳවුරක් තිබෙනවා කියා ආරංචි වී, අපි දෙදෙනා  එහි ගියා. අපි ලෙනදොරට යනකොට අප්‍රේල් 8 හෝ 9 විතර ඇති. එයාෆෝස් එකෙන් කෑම්ප් එකට පහර දීලා අපි ගිය දවසේ. කට්ටිය සීසීකඩ. 30 ක් පමණ මරා දැමුණා. අපි කැලේ අතරමං උනා. කොහොම හරි පසුව පයින්ම මාතලේට ආවා.

මාතලේ හරහා කටුගස්තොටට ගියා. කටුගස්තොට ප්‍රදේශයේ දේවලාගේ නෑදෑයෝ හිටියා. මේ අය අපට සැලකුවා. ගිමන් නිවාගන කෑම කනකොට ආරංචියක් ආවා අමුත්තෝ දෙන්නෙක් ප්‍රදේශයට ඇවිල්ලා කියලා. ග්‍රාමසේවක ඒක වාර්තා කරන්න පොලිසි ගිහිල්ලා. අපි කමතක පිදුරුගොඩක හැංගුණා. රෑ පොලිසිය, හමුදාව ඇවිල්ලා ටෝච් ගහලා කමත සෝදිසි කලා. යාන්තම් හරි බයිනෙත්තුවෙන් පිදුරු ගොඩට ඇන්නොත් අපිව අහුවෙනවා. ටෝච් එළි පිදුරු හරහා වදිනවා. ඒත් අපිව දැක්කේ නැහැ.

උදේ වෙනකොට හිමිහිට කොළඹ ආවා. මමයි දේවයි කෙළින්ම ගියා මොරටුව සල්ගාදු හෝටලයට. ඒ හෝටලයේ කාමරයක නැවතිලා හිටියා කළු ලකීගේ මල්ලි උපාලි ප්‍රනාන්දු. උපාලි අපිව ඒ කාමරයේ තියාගන කන්න බොන්න දුන්නා. දේවබණ්ඩාරට යළි මහරගම පොලිසියට පහර දෙන්න අවශ්‍යයයි. ඒත් දේවාට සනීප නැහැ. උපාලි වැඩකළේ මහජන බැංකුවේ. උපාලි අපව මාස එකක් පමණ නඩත්තු කළා. මම ප්‍රහාරය සැළසුම් කරන එක ගැන බලන්න මහරගමට ගිය වෙලාවෙදි අහම්බෙන් ආරංචි උනා උපාලිව අත්අඩංගුවට අරගන කියලා. පොලිසිය අපි හිටපු කාමරයට ආවාම අසනීපයෙන් හිටපු දේවබණ්ඩාර සේනාරත්න පැනලා. දේවාට වෙඩි තියලා අත්අඩංගුවට අරගෙන තිබුණා.

මට යන්න තැනක් නෑ. මම රෑ වෙලා යළි ඒ කාමරයට ආවා. බැරිවෙලාවත් පොලිසිය ආවා නම් මාව අතටම අහුවෙනවා. මම උදේ වෙනකං ඒ කාමරයේ ඉඳලා පිලියන්දල අපේ නෑනලාගේ ගෙදර ගියා. මම යනකොට කාමරයේ තිබුණු රේඩියෝවත් අරගන ගියා නිවුස් අහන්න.

1971 ජුලිවලදී බම්බලපිටිය ෆේවරිට් බිල්ඩං එකේ සාකච්ඡාවක් තිබ්බා. මම, උයන්ගොඩ, මෙරිල් ජයසිරි, සිවඥානම්, පාලිත, ෂාම්දාස්, රංජිත් පෙරේරා සාකච්ඡා කළා පක්ෂය යළි ගොඩනැංවීමට. අපිට අවශ්‍ය කරා පක්ෂය යළි ගොඩ නැංවීමට. දැන් තියෙන තත්වය ගැන දේශපාලන විශ්ලේෂණය හා පශ්චාත් කැරැල්ල හරහා යළි සාමාජිකයන් එකතු කිරීම අවශ්‍ය බව තේරුණා.

මම මේ කාලයේ නොයෙක් තැන්වල හිටියා. එච්.එන්. ප්‍රනාන්දුලාගේ ගෙදරත් හිටියා. මේ කාලයේ උස්වැව කැලේ සිටි සමරතුංගගේ කණ්ඩායම හමුවෙන්න එහි ගියා. අකරගම ශෙල්ටන් සහෝදරයා හෙවත් සිරිපාල වීරසිංහ මා කැටුව ගියා. ගාමිණී බාස්වත් මම මේ ගමනට එක්කර ගත්තා. වෙඩි වැදී තුවාලවෙලා හිටිය ජුලියට් ඒ කණ්ඩායම සමග කැලේ හිටියේ.  ජුලියට්ට පුත්තලම් කැලේදි කකුල් දෙකට හා උකුළට වෙඩි වැදිලා තිබ්බා. ජුලියට්ගේ කකුලේ තුවාලය ඔපරේෂන් කරන්න අවශ්‍යයි. අපි මහාචාර්ය කාලෝ ෆොන්සේකා සම්බන්ධ කරගෙන ජුලියට්ගේ සැත්කම කළා.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක් වරක් ලංකාවට ආවා. අපි සාකච්ඡා කලා ඇය සමඟ ග්‍රෙගරි පාරේ ගාමිණී ගුණවර්ධනලාගේ ගෙදර. කුමාරි ජයවර්ධන තමයි භාෂාව පරිවර්තනය කළේ. අපි ඒ කාලේ පොලිසියෙ හමුදාවේ දෑස් වසමින් ජීවත් උනේ. නිතරම අවදානම ජීවිතය එක්ක බැඳිලා. ඒ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරිය මට කිව්වා අවශ්‍ය නම් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය ලබා දෙන්නම් කියලා. ඒකට වඩා මට අවශ්‍ය උනේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමටයි.

අපි විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා සාමාජිකයන් සංවිධානය කළා. විල්පත්තුවට ගියා. අපේ රහසිගත හමුවීම් සිදු වූ එක් තැනක් තමයි සිරිමා බණ්ඩාරනායක අගමැතිණියගේ ආරක්ෂක නිලධාරිනියෙකුගේ ගෙදර. ඇය අපට කෑම උයලා තියලයි අරලිය ගහ මන්දිරයේ ඩියුටියට ගියේ. ඇය මෑතකදි මිය ගියා. මම ඒ බව දැගත්තේ පත්තරෙන්. එයා ගැන නම් වශයෙන් හෙළි කරන එක සුදුසු නැති නිසා මම නම කියන්නේ නැහැ. මම මේක කියන්නේ අපට තිබූ ජාලයේ ශක්තිමත් බව කොහොමද කියලා නිදර්ශනයකින් පෙන්වන්න.

මම නිකවැරටිය විතිකුළිය, විල්පත්තුව ආශ්‍රිතව සහ කොළඹ බොහෝ ප්‍රදේශවල රහසින් සැරි සැරුවා. මේ කාලේ විජේවීරගේ මල්ලි මගින් විජේවීර හා සම්බන්ධතා පැවැත්වුවා. විජේවීර හිරේ ඉඳන් උපදෙස් දුන්නත් ඒවා ඇතැම්විට ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගික නැහැ. විජේවීර දන්නේ නැහැ අපි ඉන්න තත්වේ. ඒ නිසා සමහර නියෝග නොතකා හරින්න සිදු උනා. ඒ නිසා විජේවීර, ප්‍රේමපාල මගේ උපදෙස් නොතකා ක්‍රියා කරනවා කියලා ප්‍රකාශ කළ වග මට ආරංචි උනා.

මේ සමයේ තමයි රොබට් මැක්නමාරා ලංකාවට ආවේ ලෝක බැංකුවේ සභාපති හැටියට. මැක්නමාරා වියට්නාම් යුද්ධයට සම්බන්ධයි. වියට්නාමයේ නුඵන් වෑන් ට්‍රෝයි කියන තරුණයා මැක්නමාරාව ඝාතනය කරන්න උත්සාහ කළා. ඒක අසාර්ථක වෙලා ඔහුව මරා දැමුනා. අපට අවශ්‍ය උනා නුඵන් වෑන් ට්‍රෝයිගෙ නොනිමි මෙහෙවර ක්‍රියාත්මක කරන්න.

අපි ප්ලෑනක් ගෙනාවා. මැක්නමාරා ලංකාවට එනකොට කටුනායක ධාවන පථය අසල තිඛෙන මාර්ග නැවතුම් පොලේ ඉඳලා මැක්නමාරාට දඬුවම් කරන්න. මේ මගින් අපි බලාපොරොත්තු වුනේ වියට්නාම් ජාතික විමුක්ති හමුදාවට පණිවිඩයක් දෙන්නයි. වරකාපොල පොලිසියෙන් පැහැරගත් 305 රයිෆල් එකක් විල්පත්තු කැලේ තිබුනා. මේකේ හොඳ රේනජ් එකක් තියෙනවා. මේ තුවක්කුව කෑලිවලට ගලවලා කොළඹ ගේන්න සැලසුම් කළා. ඒත් තුවක්කුව වෙලාවට ආවෙ නැහැ. මැක්නමාරා ලංකාවට ඇවිත් නිරුපද්‍රිතව ගියා. 

මෙහෙම 1972 නොවැම්බර් වෙනකම් මම කට්ටි පැන පැන හිටියා. මමයි බුලට් මහින්දයි ගෙලිඔයදී ගාමණී බාස්ගේ හෝඩුවාවකට අත්අඩංගුවට ගනු ලැබුවා. බුලට් මහින්ද වෙඩි පිට වෙඩි කාලා පැනලා ගිය කෙනෙක්. එදත් පළා යන්න ගිහිල්ලා වෙඩි වැදිලා තුවාල උනා.

අපිව අත්අඩංගුවට ගෙනහිල්ලා පහර දුන්නා. අතින් පයින් ගැහුවා. එස්.පී. හේරත්, ජෙගනාදන් මට ගැහුවා. සමහරු මට පයින් ගැහුවා. මට අතින් ගහනකොට මම බ්ලොක් කරා. එතකොට පස්සේ කට්ටිය පුටුවලින් මට ගැහැව්වා.

මට විශාල වශයෙන් වදයට ලක්වීමට සිදු නොවුනේ මා අත්අඩංගුවට ගෙන මාව පණ පිටින් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ නිසා. ඉයන් වික්‍රමනායක මාව බලන්න පැමිණියා. හොඳට ක්ලීන් සූට් ඇඳලා, දිලිසෙන සපත්තු දාගෙන. එයාගේ රත්තරන් සිගරැට් කේස් එක ඇරලා මට සිගරැට් එකක් ගන්න කිව්වා. මම ගත්තේ නැහැ. ප්‍රතිපත්ති නේද කියලා උපහාසයෙන් හිනාවක් දැම්මා. විජේවීර මගෙන් බිඳවන්න සියලුම උපක්‍රම යෙදුවා. එය මම හොඳින් වටහා ගත්තා.

ඉයන් වික්‍රමනායක මට අළුත් සරමක් ගෙනැල්ලා ඒක මගේ අතට දුන්නා. මම කිවවා මට බුලට් මහින්දගෙ ලේ වැකුණු සරම දෙන්න. ඒක මට වටිනවා කියලා. ළඟ හිටපු ගාමිණී බාස්, ඉයන් වික්‍රමනායක ගෙනාපු අළුත් සරම ඉල්ලා ගත්තා.

ප්‍රශ්න කිරීම්වලදි මුල් දවස්වල වැටුනොත් වැටෙනවාමයි. මට එ්ක තේරුණ නිසා මම යටත් උනේ නැහැ. 2006 වසරෙ මට පිට ගැස්ම හැදුනා. මම රෝගයට යටත් උනේ නෑ. එදා 1972 යොදා ගත්ත අධිෂ්ඨානය මම ලෙඩටත් 2006 යොදාගත්තා. මට සනීප උනා. මට තව උදාහරණයක් දෙන්න පුළුවන්. අපිව රඳවලා තිබුණේ මැගසින් බන්ධනාගාරයේ. මේ බන්ධනාගාරේ ගඩුවා කියලා ලොකු පූසෙක් ඉන්නවා. අපේ සෙල්වලට පැනලා කෑම හොරා කනවා.

අපිට කිරි අවුන්ස 10 දෙනවා. අපි ඒ කිරි මිදෙන්න ඇරලා කනවා. සමහර දවස්වලට ගඩුවා මේ මිදෙන්න තියන කිරි පවා බීලා පැනලා යනවා. දවසක් මේ තඩි පූසා ඔස්මන්ගේ සෙල් එකේ තිබුණු කිරි කාලා. ඔස්මන්ගේ සෙරෙප්පුව උඩ පහරලා ගිහිල්ලා.

අපි තීරණය කළා ගඩුවා අත්අඩංගුවට ගන්න. මම විජේවීර, මහින්ද විජේසේකර ගඩුවාව අල්ලගෙන ලණුවලින් ගැට ගැහුවා. ඌ දඟලලා ලනු කඩාගෙන මැගසින් බන්ධනාගාරේ එච් වෝඩ් එකේ තිබ්බ ජෑම් ගස උඩට නැග්ගා. විප්ලවවාදියෝ පරද්දලා පූසා පැනලා ගියා. මට තේරුණා යටත් නූනොත් යටත් කරන්න බැරි බව.

මේ වනවිට මහ නඩුව විභාග වෙමින් තිබුණේ. ලොකු අතුලගේ කට උත්තරයක කියවුණා ඔස්මන් විද්‍යෝදයට බෝම්බ ගෙනාවා කියලා. ඒකට මහින්ද කලබල උනා. මහින්ද විජේසේකර විද්‍යෝදයේ ශිෂ්‍ය නායක. මහින්දට අවශ්‍ය උනා ලොකු අතුලගෙන් හරස් ප්‍රශ්න අසන්න. මම කිව්වා ඔස්මන් බෝම්බ විද්‍යෝදයට ගෙනාවා කිව්වා විතරයි කියලා තියෙන්නේ මේකේ ඔයාගෙ නම සඳහන් වෙලා නෑ කලබල වෙන්න එපා කියලා. මම කීදේ නාහා මහින්ද විජේසේකර ලොකු අතුලගෙන් හරස් ප්‍රශ්න අසන්න ගියා. එතකොට ලොකු අතුලට තරහ ගිහිල්ලා කිව්වා ඔව් බෝම්බ ගේනකොට ඔයත් හිටියනේ කියා. මේක ඉල්ලගෙන කෑමක් වගේ. එම ප්‍රකාශයට මහින්දට චෝදනා ගොනු උනා.

ධනපාල මානසිකව වැටිලා හිටියේ, සෙල් එකෙන් එළියට එන්නෙත් නැහැ. බලාගත්ත අත බලාගෙන ඉන්නවා. නඩුවේ තීන්දුව ප්‍රකාශ වෙලා ධනපාල නිදහස් කියලා තීන්දු කරාම ධනපාල බලාගෙන ඉඳිද්දී ප්‍රාණවත් උනා. සෙල්ලම් කලා. හිනා උනා.

මට නඩුවෙන් අවුරුදු පහක හිර දඬුවමක් ලැබුණා. හිරේ ඉන්න කොට යළි පක්ෂය ගොඩනගන සැලැස්මට මම සම්බන්ධ වෙලා හිටියේ. මම විජේවීරට කිව්වා ස්වයං විවේචනයක් කරන්න කියලා. ඒකට එකඟතාව තිබුණත් ස්වයං විවේචනයක් සිදුකෙරුණෙ නැහැ. විජේවීර කිව්වේ මේ ඒකට සුදුසු කාලය නොවේ කියලයි. මේ හේතු නිසා 1976 මම පක්ෂයේ වැඩවලින් ඉවත් උනා.

මමයි විජේවීර අතරයි මතවාදී ගැටුම් තිබුණා. පූර්වකාලීන සමයේදී පවා. ඒත් මිත්‍රත්වයට බාධාවක් උනේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. 1971 ජනවාරි මාසේදී සංඝාරාමයේ තිබ්බ රහස් ලේඛනයක් මට ලැබුණා. ඒක ප්‍රතිවිප්ලවවාදී ඝාතන ලැයිස්තුවක්. විප්ලවයෙන් පස්සේ ඝාතනය කරන්න අවශ්‍ය අයගේ නම් ලැයිස්තුවක් තිබුණා. ඒකේ නම් 120 විතර තිබුණා. ජැක් පෙරේරා, එල්.ඩබ්ලිව්. පණ්ඩිත, ධර්මසේකර, ගාමිණී යාපා, නිහල් ඩයස් යන අයගේ නම් තිබුණා. මම ඒ ලැයිස්තුව පිච්චුවා. ඒක විජේවීරට ආරංචිවෙලා තමන්ට අයිති නැති අනවශ්‍ය වැඩ කරන්න එපා කියලා දොස් කිව්වා. මට ඒ එක්කම ආරංචි උනා ශිෂ්‍ය අංශයට දැනුම් දීලා තියෙනවා වලවල් කපන්න ප්‍රති විප්ලවවාදින් වලදාන්න.

මේ හේතුන් නිසා මට දැන් හිතෙනවා කැරැල්ල සාර්ථක උනා නම් ඒ එක්කම විශාල ලේ වැගිරීමක් වෙයි කියලා. පොල්පොට්ගේ කම්පුචියාව වගේ ඝාතන සිදුවෙයි. පක්ෂ සාමාජිකයන් අතර මතභේද නිසා එකිනෙකා මරා ගන්න තත්වයකට යන්න තිබුණා. මම පුද්ගල ඝාතනවලට විරුද්ධයි. කැරැල්ලට පෙර අපේ රැස්වීමක ඔත්තු බලන්න ඇල්මන් පීරිස් ඇවිල්ලා ඉඳලා අහුවෙලා ඇල්මන්ගේ අතපය කඩන්න භද්දිය සාදු ලෑස්ති උනා. මම වහාම මැදිහත්වෙලා පහර දීම නැවැත්තුවා.

අපේ සංවිධානයට මුදල් අවශ්‍ය වෙලා නීතිවිරෝධී වැඩවලින් මුදල් හෙව්වා ඇත්ත. ඒත් ඒ මුදල් අපේ පෞද්ගලික අවශතාවලට වත් යොදාගත්තේ නැහැ. මේ කාලේ මගේ බිරිඳ සහ බාල දියණියට රැකවරණය දුන්නා වැල්ලවත්තේ රෙදි මෝලේ කම්කරු  සහෝදරවරු.

මම ජනතා සංගමයට අනුබද්ධව වැඩ කළ නිසාත්, ජවිපේ ඇතැම් වැඩ විවේචනය කළ නිසාත්, 1988 භීෂණ කාලේ මරණ තර්ජන ආවා. අන්තිමට මම ආරක්ෂාව පතා කුරුණෑගල දේවසරනිය ගොවිපලේ නැවතිලා හිටියේ. එහෙ ඉන්න කොට තමයි විජේවීරගෙ මරණය මට ආරංචි උනේ. විජේවීරගෙන් මට මරණ තර්ජන තිබුණත් විජේවීරගේ මරණය මගේ සිතේ ඇති කළේ කම්පනයක්. මරණය ආරංචිවෙලා ප්‍රදේශයේ රතිඥ්ඥා හඬ, ප්‍රීති ඝෝෂා. මට මතක් උනා ඒ කාලේ ඒ කියන්නේ 71 කැරැල්ලට පෙර අපි දේශපාලන වැඩ කරනකොට මමයි, විජේවීරයි, එකට සහෝදරත්වයෙන් වැඩ කරපු ආකාරය.

අපි එතකොට රෑ ගත කරන්නේ ඩී.ඒ. ගුණසේකරගෙ ගෙදර. ගුණසේකර වැඩට යන්න පෙර විජේවීරගෙ කමිස සාක්කුවට රු:10 ක් දානවා. විජේවීර ඒකෙන් රුපියල් 5 ක් මට දෙනවා. දරුවට කිරි පිටි එකක් ගන්න කියලා. විජේවීරගේ මරණය රේඩියෝ එකෙන් අහලා මම නැවතිලා හිටපු ගොඩනැගිල්ලෙන් එළියට ආවා. මම දැක්කා කිරබත්ගල්ල කඳු වැටිය. මට මහා හිස් බවක් දැනුනා.

වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි.

http://transyl2014.blogspot.com/2019/06/blog-post_38.html