ශ්‍රී ලංකා පොලිසියේ සුරංගනා කතා ...

ශ්‍රී ලංකා පොලිසියේ සුරංගනා කතා ...

10 June 2019 11:59 am

ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා කියලා මොකක්ද මන්දා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්මය කතාවක් එක සීරුවට ෂෙයාර් වෙනවා. ඇඳුමෙන් මොකටද මිනිස්සු මනින්නේ. අඩි - අඟල් තියෙන්නේ ඒකටනේ.

ඒකේ හැටියට වැඩ ඇරුණු පොලිසියේ OIC මහත්තයා ගෙදර යන්නේ නිහතමානී ත්‍රී වීල් එකේ. ප්‍රොෆෙසර් කෙනෙක් ලොකු වාහනේක ඇවිත් ත්‍රී වීල් එක හප්පලා තමන්ගේ තනතුර ඉස්සරහට දාලා ත්‍රී රෝද රථ රියදුරාට පහත් විදියට බණිනවා. පස්සේ ත්‍රී රෝද රථ රියදුරාට පාඩමක් උගන්නන්න කියලා මිනිහව පොලිසියට එක්කං යනවා. පොලිසියට ගිහිං OIC සීට් එක ඉස්සරහා වාඩි වුණාමයි දන්නේ ඒ ත්‍රී වීල් ඩ්‍රයිවර් ම තමයි පොලිසියේ OIC කියලා. ටංට ටාං ! ප්‍රයිමරි ඉස්කෝලෙක වෙසක් නාට්‍යය පිටපතක් වගේ අප්පා. සක්‍ර දෙයියන්වත් ගෙන්නන්න තිබ්බා.

ඊට පස්සේ OIC මහත්තයා "ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා " කියලා හෙණ දේශනාවක් දෙනවා ලොඳ හැලෙන්න. ඒ කියපු ඔවදන් අහලා ප්‍රොෆෙසර් මහත්තයා හොඳ ළමයෙක් වෙන්න හිතාගත්තා වගේ එකකින් තමයි කතාව ඉවර වෙන්නේ. අන්න කතා !

මට මේක පේන්නේ නිකං රොබින්හුඩ් කතාවේ චරිත ටික පැටලිලා වගේ. රොබින් හුඩ් මාලිගාවේ ඉඳං දුෂ්ඨ කම් කරනකොට ගිස්බන් සහ මැරියන් එකතු වෙලා කැළේ හැංගිලා ඉඳං සටන් වැදුණා වගේ තේරුණේ.

"උස් තැන් දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ" කියන එක වඩාත්ම අදාල වෙන්නේ ශ්‍රී ලංකාවේ පොලිසියට. බඩගින්නට පොල් ගෙඩියක් - පාන් ගෙඩියක් හොරකම් කරපු එකාගේ බාබත් එළියට පනින්න ගහන පොලිසියම තමයි හොරකම් කරලා අහුවෙන දේශපාලකයින් ව පාත්‍රා ධාතුව වගේ පරිස්සමට වඩම්මන්නේ. ප්‍රභූ පවුල්වල වැරදිකාරයින්ව මීඩියා වලින් හංගන්න උදව් වෙන ; මොට්ටැක්කිලි පොරවලා දෙන ඔය පොලිසියම තමයි සාමාන්‍ය පවුල් වල වැරදිකාරයින්ව අත් අඩංගුවට ගන්න යන තැන ඉඳන් රටේම මීඩියා වලට ආටක නාටක රඟපාන්නේ.

අනෙක් එක වැරදිලා හරි පොලිසියට පාට් එකක් දැම්මොත් උන්දැ පොලිසියට එනකං ඉඳලා ලෝ වැඩ සඟරාව කියලා දීලා පුවක් මල් කිනිත්තකින් පිරිත් පැනුත් ඉහළා ම යයි මේං කියලා. අපි දැක්කනේ අඟුලානේ කොල්ලො දෙන්නට වුණ දේ.

එක්ස්කියුස් මී ! අපි පොඩි කාලේ ඇති පදම් "සුරඟන කතා කරළිය" බලපු මිනිස්සු. හරිය ?

- සහන් කසීර වික්‍රමසිංහ