Ex-Comrade කොල්ලුරේ ....

Ex-Comrade කොල්ලුරේ ....

21 October 2021 07:40 am

ශ්‍රී ලංකාවේ වාමාංශික යැයි කියූ නායකයින් අතර අති බහුතරයක් ධනපති පක්ෂ වල පිලිකන්නවල් සෝදා ඇත. එසේ පිලිකන්නවල් නොසේදූ වාමාංශික නායකයන් බොහෝ දෙනෙක් සිටියාද කියාවත් සාමාන්‍ය ජනයා දන්නේවත් නැත. ඔවුන්⁣ගේ අනන්‍යතාවය හා දේශපාලන පැවැත්ම ගැන කී විට අතිබහුතර සාමාන්‍ය මිනිසාගේ ප්‍රතිචාරය "ඔහොම දේශපාලනය කරලා මොකටද?" යන්නයි. 

ඒ අර්ථයෙන් ගත්කළ රාජා කොල්ලුරේගේ ප්‍රකාශය ගැන පුදුම වියයුතු නොවේ. ඔහුගේ සහ ඔහු නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂත්වයක් තිබේනම්, ඒ 1994න් අවසන් වූ 17වසරක එජාප පාලනය පිළිබඳව අප්‍රමාණ වූ විරෝධය (overwhelming objection) මත සදාකාලයේම ඊට එරෙහිව බලය පිහිටුවන ඕනෑම කණ්ඩායමක් සමඟ කොන්දේසි විරහිතව සන්ධානයකට යාම මැනවි යනුවෙන් වූ උත්ප්‍රාසජනක දර්ශනය පමණි. 

එසේ ඇරඹුණු දේශපාලන ස්ථාවරය වයස්ගත වීම, අබලදුබල වීම, බෙලහීනතාවයට පත්වීම හමුවේ විශ්‍රාම සැළසුමක් සඳහා වූ එකම පිළිසරණ ලෙස භාවිත කිරීමට සිදුවීම ගැන මට ඇත්තේ අනුකම්පාවකි. 

එක අතෙකින් ගත්කල ඔවුන් මේ කරන්නේද විප්ලවයේ කොටසකි. තමාම ධනේශ්වරය බවට පත් වෙමින්, වැඩකරන ජනතාව තුල ධනේශ්වරය කෙරේ පිළිකුල ඇතිකිරීම සැබැවින්ම විශාල කැපකිරීමකි. 

"විශ්‍රාමික සහෝදර" රාජා කොල්ලුරේ මැතිතුමන්ට දිගාසිරි පතමු.

- අථිල අතාවුද 

RN



Recommended News