ටීචර් ...

ටීචර් ...

24 July 2021 01:18 pm

ඔයා බිම ඉඳගෙන ඉන්න මේ ෆොටෝ එක බුකියේ වෛරල් කියල ටීචර් දන්නේ නැතුවත් ඇති. ඇමෙරිකාවේ කළු ජාතික සටනේදීත් මේ වගේ ෆොටෝ කීපයක් වෛරල් උනා ලෝකේ පුරා. දේවල් වෙනස් වෙන්න ඔය පොඩි පොඩි දේවල් බලපානවා ටීචර්.

ඔයාල සෑහෙන කාලෙකින් කරන මේ අරගලය ඇතුලේ මම ඔයා ලඟින් පාරේ ඉඳ ගන්නවා. මීටරේ තිබුණත් නැතත්. ඒකෙ කතා දෙකක් නැහැ. ඒ මම ජීප් එකෙන් යනකොට ඔයා පාරේ පයින් යන නිසා වගේ ඉමෝෂනල් කෑලි නිසා නෙවෙයි. මට ඇති ජීප් එකක් නැහැ. තිබ්බත් මේ කියන දේ එහෙමමයි. මම ඔයාලගේ අරගලය එක්ක එකතු වෙන්නේ ඒක ඇත්ත එකක් හැටියට මට පේන නිසයි.

ටීචර් මේ පාර චන්දෙ දුන්නේ රට බේර ගන්න තියන අන්තිම චාන්ස් එක කියල හිතල බව මම දන්නවා. තුනෙන් දෙකක් ම හැදුනේ ඒ චන්දෙත් එක්ක කියල මම දන්නවා. ඒකට කමක් නැහැ.

හැබැයි ඔයාල කරන මේ තෙරපුම එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් තියනවා. 'කාලකන්ණි' කියන්නේ එක වචනයක් වෙන්න පුළුවන්. ඒ එක වචනය විසින් කොපමණ දේවල් වෙනස් කරන්න පුළුවන් ද කියල අනාගතය තීරණය කරයි කියල හිතෙනවා. සමහර විට මම වැරදි වෙන්නත් පුළුවන්.

අපේ ඉස්කෝලේ ටීචර් ල එච්චර ඉගැන්නුවේ නැහැ ටීචර්. එයාල උත්සාහ කලා. නමුත් බොක්කට වැදුනේ නැහැ. අපි යන්තම් හරි මොනවා හරි දෙයක් අල්ලා ගත්තේ ටියුෂන් ගිහිල්ල. ඒකටත් තරහ නැහැ.

හැබැයි ටීචර් අල්ජසීරා එකේ දැක්ක නේද ගස් උඩ ඉඳන් ළමයි සිග්නල් හොයනවා. ගංවතුර කට ළඟටම ඇවිල්ල තියෙද්දිත් ළමයෙක් ෆෝන් එකෙන් පාඩම් අහගෙන ඉන්නවා. අපේ රට අධ්‍යාපනය කියන තැනදී ගොඩක් අනුරාගිකයි. හොඳ ගුරුවරුයෙක් හම්බ වුණොත් අපේ දරුවෝ යන දුර අල්ලන්න වෙන්නේ නැහැ. අනික් සියලු දෙයින් අප අවාසනාවන්ත වුනත් එතැනදී අපි තවම වාසනාවන්ත ඇති. ටීචර්ගේ අතේ ලොකු වගකීමක් තියනවා මේ රට ඉදිරියට අරන් යන්න. ඒ නිසා ටීචර් දැන් ගොඩක් දේවල් ගැන ආයිත් හිතන්න ඕනි.

හැබැයි ටීචර්... කවදාහරි මේ කොරෝනා කෙහෙල්මල ඉවර වෙලා අර ළමයි ආයේ ඉස්කෝලේ එනකොට ෆෝන්, ටැබ්, ලැප්ටොප් උස්සගෙන එනකොට උන් ඒවා පාවිච්චි කරන නිසා නරක ළමයි වෙනව කියල කෝටු මස් කරනවා එහෙම නෙවෙයි....

සමාජය පිම්මක් පැනල තියෙන්නේ. ඒක අවබෝධ කරගන්න. ගොඩක් වෙලාවට සියළු සමාජ වලට අලුතෙන් පටන් ගන්න වෙයි.

එහෙම අලුතෙන් පටන් ගන්න නම් අලුතෙන් හිතන්න වෙයි. පරණ මෝඩකම් එහෙම කරනවා නෙවෙයි.

ජය!

(ටීචර් ගේ ෆොටෝ එක ගත්ත කෙනා නම් දන්නේ නැහැ. බුකියෙන් අහුලා ගත්තේ)

- මහේෂ් හපුගොඩ