ඔබත් පරිණත තරුණයෙක්ද ? - මහේෂ් හපුගොඩ

ඔබත් පරිණත තරුණයෙක්ද ? - මහේෂ් හපුගොඩ

15 June 2021 10:37 pm

පින්ක් ෆ්ලොයිඩ් නම් අතිශයින් ප්‍රචලිත බ්‍රිතාන්‍ය රොක් ගායක කණ්ඩායම විසින් මීට දශක කිහිපයකට කලින් ගායනා කළ විරෝධාකල්පික ගීයක් වන 'ප්‍රාකාරයේ තවත් එක ගඩොලක්' (Another Brick in the Wall) නම් ගීතය ඉන්ස්ටග්‍රෑම් ප්‍රචාරක සිනමා පටයක් වෙනුවෙන් භාවිත කිරීමට ෆේස්බුක් සමාගමේ අධිපති මාක් සකර්බර්ග් විසින් එම ගායක කණ්ඩායමෙන් අවසර ඉල්ලීම ගැන එම කණ්ඩායමේ ඉදිරිපෙළ සාමාජිකයෙක් වන රොජර් වෝටර්ස් (Roger Walters) විරෝධය දක්වා තිබෙනවා.

මේ බව ඔහු සඳහන් කර ඇත්තේ විකිලීක්ස් ප්‍රධානී ජූලියන් අසාන්ජ් සිරගත කිරීමට විරුද්ධව නිව්යෝක් හි පැවති මාධ්‍ය හමුවකදී. එහිදී රොජර් සඳහන් කරන්නේ ඉතා විශාල මුදලකට මේ ගීතය ෆේස් බුක් සමගම විසින් ඉල්ලා සිටි බව සහ ඔහු ඒ ඉල්ලීම කෙළින්ම ප්‍රතික්ෂේප කළ බව. 

එක්දාස් නමසිය හැත්තෑවේ අග මෙම ගීතය පින්ක් ෆ්ලොයිඩ් (Pink Floyd) විසින් ගායනා කර ඇත්තේ පවත්නා අධිපති ක්‍රමයට මිනිසුන් එකා එකා බැගින් දිනෙන් දින අනුගත වීමට එරෙහිව. (against conformity) එක එක මිනිසා දිනපතා එක් එක් ආකාරයෙන් මේ ක්‍රමයේ ගඩොලක් වීම ඔස්සේ තව තවත් මේ ක්‍රමය නම් වහල් ප්‍රාකාරයේ බිත්තිය ශක්තිමත් වීමත්, ක්‍රමයට යම් පමණකින් විරෝධය පළ කරන්නවුන් මේ ක්‍රමය විසින් පළවා හැරීමත් ඔවුන් එම ගීතයෙන් ගෝලියව සලකුණු කර තිබෙනවා. 

'මගේ කරවටේ අත දමා ගැනීමෙන් වළකින්න, මට මත් ද්‍රව්‍ය අවශ්‍ය නැත, වීදියේ තාප්පය මත ලියැවී ඇති අකුරු දකින මට තවත් විස්තර අවශ්‍ය නැත, අප එක්තරා බිත්තියක ගඩොල් පමණය' යනුවෙන් ගායනා කරන පින්ක් ෆ්ලොයිඩ් ඔවුන්ගේ 'ප්‍රාකාරය' (Wall) නම් දිගු ගීත සංධවනිය ඔස්සේ මේ මහජන අනුකූලබව (mass conformity) තවත් ප්‍රශ්න කරනවා. 

අනුගත වීම පටන් ගන්නේ පාසැලෙන්. ඒ අනුව ඔවුන්ගේ ප්‍රශ්නය දිගු වන්නේ සමකාලීන පාසැල් අධ්‍යාපනය වෙතට. ළමයෙක් පාසැල් ගිය පසු සියලු ගුරුවරුන්ගේ අවඥා මැද ඔවුන්ට 'කියන දේ කරන්නට සිදුවීම' එම ප්‍රාකාරය නම් ගීතයෙන් විවේචනය කරනවා. අප 'ලොකු ළමයින්' බවට පත් වන්නේ ඒ වැඩිහිටියන් සහ ගුරුවරුන් කියන දේට අනුගත වීම ඔස්සේ මිස අපගේම වූ පරිකල්පනයක් ගොඩනැගීමෙන් නොවේ යන්න ඔවුන් ගෙනෙන ප්‍රධාන තර්කය වනවා. 

ලොකු ළමයෙක් වෙන්න ඕනි නම් එයාල කියන දේ කරන්න වෙනවා. එතකොට එයාල කියනවා දැන් ඔයා පරිණතයි කියල. මම දැන් ලොකු ළමයෙක් ! 

'ඔය කරන විදිය වැරදියි. මේ විදියට කරන්න' යනුවෙන් අණ කරන 'නිවැරදි ගුරුවරු' මහ රාත්‍රී යාමයේ ඔවුන්ගේ මනෝ ව්‍යාදී බඩ තඩි ගැහැණුන්ගේ ගුටි පූජාවලට ගොදුරු වන විදිය පින්ක් ෆ්ලොයිඩ් අපූරුවට ඒ ගීතයේ චිත්‍රණය කරනවා. ඒ ගුටි පූජා වල වන්දිය පසුදා උදේට ගෙවනු ලබන්නේ අර පොඩි උන් විසින් කියල කියන දේ ඔවුන් පවසන එක්තරා වැදගත් ඇත්තක්.   

'අපට ඕනෑ අධ්‍යාපනයක් නැත, අපට අපේ සිතුවිළි පාලනය කරන්න අවශ්‍ය නැත, පංති කාමරයේ අදුරු අවඥාව අපට අවශ්‍ය නැත, ගුරුවරුණි, අත ඇරපල්ලා ඔය දරු කැළ....' යනුවෙන් හඬ නගන ෆ්ලොයිඩ් ජනමාධ්‍ය ගැන කියන්නේද එවැනිම කතාවක්. 'ඔව්.. ඔන් කරපල්ලා ඔය රූප පෙට්ටිය... බලපල්ලා ඒකෙන් අම්බරුවන් එළියට එන අපූරුව' යනුවෙන් ජනමාධ්‍ය ගැන දෘඩ විවේචනයක් හැත්තෑව දශකයේ අග විතර අරන් එනවා.  

ඔවුන්ගේ අවසන් විවේචනයට ගොදුරු වන්නේ මහජනතාව. 'මිනිසුනි...මට පැවසීමට තරම් දෙයක් තවදුරටත් ඔබ සතුව නැත. මගේ සිතුවිළි වෙනස් කිරීමට ඔබට නොහැක' යනුවෙන් පවසන ඔවුන් ගීතය නිමා කරන්නේ ජනතාවට ගුඩ් බායි (goodbye) කියමින්. 

'මිනිසුනි එහෙනම් ඔබට සුබ දවසක්... දැන් ගිහින් රූපවාහිනිය නරඹන්න...' යනුවෙන් ඔවුන් ගීතයේ අවසානයට කියන්නේ අර්ථවත් යනුවෙන් අප සිතන සියලු දේ ගැන අවඥාවෙන් යුතුව. 

රොජර් වෝටර්ස් සිය සම්මුඛ සාකච්චාවේදී පවසා ඇත්තේ මිහිපිට පවතින සියල්ල තමා වෙත නතුකර ගැනීමට දත කන මාක් සකර්බර්ග් විසින් මේ වනවිටත් විශාල ලෙස සමාජය තම ග්‍රහණයට ගෙන ඇති බව. 'ඔහුගේ වෙළඳ අධිරාජ්‍යය තවත් පුළුල් කරගැනීම පිණිස මෙම ගීතයේ සර්වකාලීන බව ඔහුට අවශ්‍ය වී ඇත' යනුවෙන් රොජර් සඳහන් කර සිටිනවා.

රොජර් පමණක් නොව අප සියල්ලන්ම මේ ඩිජිටල් අවකාශයේ සිටින්නේ යම් විරුද්ධාභාෂයක් සිහිතව. මම හිතන්නේ අපිට බැහැ Into the Wild (2007) චිත්‍රපටයේ වගේ සියල්ල අත හැරලා කැලේට රිංගන්න. කැලේට එහෙම රිංගුවත් අපි නිදහස් නැති වේවි. මොකද අපි ආයේ ආයෙත් මේ දැන් තියන සමාජය ගැන හිතන්න පටන් ගන්න නිසා.  
අප ජීවත් වන විරුද්ධාභාෂය (paradox) කොච්චරද කිව්වොත් අපට අපගේ අනුකූල නොවන බව (non-conformity) ප්‍රකාශ කිරීමට සිද්ද වෙලා තියෙන්නෙත් සකර්බර්ග් ගේ පිටුවට අනුකූල වෙමින් වීම අප ජීවත් වන ලෝකය පිළිබද සරදමක් නෙවෙයි කියල ඔයාල හිතනවද ?

අනික් හැමදේමත් එහෙම තමයි...