ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද ? IMF යන්නම වෙයිද ?

ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද ? IMF යන්නම වෙයිද ?

3 September 2021 11:02 pm

ලංකාව මේ වෙලාවේ විශාල ආර්ථික අර්බුදයක සිටින බව කවුරුත් වගේ දන්න, බොහෝ දෙනෙකුට තේරෙන දෙයක්. නොතේරෙන දෙය මෙයින් ගොඩ යන්නේ කොහොමද කියන එකයි. විශේෂයෙන්ම ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියන එක බොහෝ දෙනෙකුගේ හිතට වද දෙන ප්‍රශ්නයක්.

ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියා මම දන්නේ නැහැ. මට එවැන්නක් දැනගත හැකි සම්බන්ධකම් කිසිවක් නැහැ. ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියා ආණ්ඩුවවත් හරියට දන්නවද කියලත් මම දන්නේ නැහැ. මේ ඒ ගැන මට හිතෙන දේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා බොහෝ දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබුණු යෝජනාව අයිඑම්එෆ් යන එකයි. දැන්නම් මේ වැඩේටත් පරක්කු වැඩි වුවත්, ගොඩ යන්න තිබුණු ලේසිම ක්‍රමය අයිඑම්එෆ් යන එක කියන එක මගෙත් අදහසයි. කොහොම වුනත්, මේ අයිඑම්එෆ් යාම ගැන වැඩිපුර කතා කළ බොහෝ දෙනෙකුට එජාප/සජබ පදනමක් තිබුණු බව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වූ දෙයක්. එහි දේශපාලනික අරමුණු නොතිබුණු බව කාටවත් කියන්න බැහැ.

යම් හෙයකින් මේ වෙලාවේ ආණ්ඩු බලය තිබුණේ රනිල් වික්‍රමසිංහ අතේනම්, මේ වෙද්දී අනිවාර්යයෙන්ම අයිඑම්එෆ් ගිහින්. එසේ වූවා නම්, බොහෝ විට අයිඑම්එෆ් යාමේ අවශ්‍යතාවයක් ඇති නොවෙන්නම වුනත් තිබුණා. රනිල් වික්‍රමසිංහ විසින් පෙනී සිටි ආර්ථික ආකෘතිය ඇතුළේ මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න තිබුණු පැහැදිලි, හොඳම ක්‍රමය වගේම එකම ක්‍රමය අයිඑම්එෆ් යන එකයි.

ඉහත කී ආර්ථික ආකෘතිය ඇතුළේ සිට හිතන අයට පෙනෙන විදිහට ආණ්ඩුවට කොයි වෙලාවක හෝ අයිඑම්එෆ් යන්නම වෙනවා. ආණ්ඩුව කලින්ම අයිඑම්එෆ් නොගොස්, සියල්ල අනාගත්තාට පස්සේ අන්තිමට අයිඑම්එෆ් යන්න වෙනවා කියන්නේ විශාල දේශපාලන පරාජයක්. එජාප/සජබ කණ්ඩායම මේ මොහොත එන තුරු බලා ඉන්න බවක් පේනවා.

කොහොම වුනත් මේ ආණ්ඩුව හිතන්නේ රනිල් වික්‍රමසිංහ විසින් පෙනී සිටි ආර්ථික ආකෘතිය ඇතුළේ සිට නෙමෙයි. ඒ නිසා, හොම්බ බිම ඇනුනත් ආණ්ඩුව අයිඑම්එෆ් නොයා සිටිය හැකියි. වෙන විදිහකට මෙයම කිවුවොත් හොම්බ බිම ඇනුනාට පසුව වුනත්, පවතින ආණ්ඩුවට අයිඑම්එෆ් යාම ගැන හිතන්න පුළුවන් වන දේශපාලන වාතාවරණයක් නොහැදෙන්න පුළුවන්.

ආණ්ඩුව හිතන ආකාරය ගැන තොරතුරු අප වෙත නොවෙතත්, මේ පිළිබඳ පූර්ව විනිශ්චයකට එළැඹීමට උදවු වන වෙනත් සංසිද්ධීන් කිහිපයක් ඇසුරෙන් අපට ආණ්ඩුව කටයුතු කරන ආකාරය තේරුම් ගත හැකියි. එයින් වැදගත්ම එක මේ ආණ්ඩුවට MCC ආධාර මුදල අත හැර දමන්න සිදු වීම.

මා මේ වියුණුව හරහා MCC ආධාර ව්‍යාපෘතීන් වෙනුවන් පැහැදිලිව හා සෘජුව පෙනී සිටි හා කරුණු ඉදිරිපත් කළ අයෙක්. ඒ වෙද්දී මේ ආණ්ඩුවට සම්බන්ධ කොටස් ලාබ ජනප්‍රියත්වය වෙනුවෙන් කිසිදු පදනමක් නොතිබුණු අසත්‍ය තොරතුරු අධි පීඩනයකින් ලංකාව පුරා විදිමින් සිටියා. මේ හා අදාළව මා ඒ අවස්ථාවේ සටහන් කළ හැම දෙයකම වලංගුභාවය තව දුරටත් එලෙසම තිබෙනවා.

වැඩි දෙනෙකුගේ විවේචනය එල්ල වී තිබුණේ ප්‍රධාන MCC ආධාර ව්‍යාපෘති දෙක අතරින් ඉඩම් ව්‍යාපෘතිය කෙරෙහියි. මා අදටත් මේ ව්‍යාපෘතිය දකින්නේ මෑතකාලීනව යෝජනා වූ හොඳම ව්‍යාපෘතියක් ලෙසයි. ලංකාවට මැදි ආදායම් උගුලෙන් මිදී විශාල පිම්මක් පනින්නට උදවු විය හැකි ව්‍යාපෘතියක් ගැන කවුරු හෝ මගෙන් අහනවා නම් මම මුලින්ම යෝජනා කරන්නේ ලංකාවේ ඉඩම් වෙළඳපොළ ගනුදෙනු සක්‍රිය කෙරෙන ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මණින් සිදු කිරීමයි. MCC ආධාර නැතත්, ණය අරගෙන කළත්, මෙවැනි ව්‍යාපෘතියක් ලංකාවට දිගුකාලීනව වාසිදායකයි.

ආධාර මුදලේ වාසිය මත පදනම්ව බොහෝ දෙනෙකු MCC ආධාර ව්‍යාපෘති දිහා බලද්දී මා වැඩි අවධානයක් යොමු කළේ ආධාර මුදල් යොදා ගෙන කරන්නට නියමිතව තිබූ ව්‍යාපෘතිවල දිගුකාලීන වාසි දෙස වුවත්, මේ හරහා ලැබෙන්නට තිබුණු ආධාර මුදල්වල සෘජු වාසිය ලංකාවේ පැත්තෙන් බැලූ විට හිතා ගන්නවත් බැරි තරමේ ලොතරැයියක්. ඩොලර් මිලියන පන්සීයක් පමණ ලැබෙන්න නියමිතව තිබුණේ නිකම්ම නිකම්. ඒ මුදල ආපසු ගෙවිය යුතුව තිබුණු ණයක් නෙමෙයි. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙවැනි විශාල මුදලක් ආධාර සේ ලැබී ඇතැයි මා හිතන්නේ නැහැ.

මෙහි වාසිය කොපමණද කියා තේරෙන්නේ මාස කිහිපයකින් පොලියත් සමඟ ගෙවන්නට අතමාරුවට ඩොලර් මිලියන පණහක් සීයක් ගන්නත් බංග්ලාදේශය වැනි රටවල් පසුපස හිඟමනේ යන තැනට මේ වෙද්දී ලංකාව වැටී සිටිනු දකින විටයි. නිකම්ම ලැබෙන ඩොලර් මිලියන පන්සීයක් කියා කියන්නේ ලංකාවේ ආර්ථිකයේ ජීවිතය හා මරණය අතර බෙදුම් ඉර ලකුණු කළ හැකිව තිබුණු මුදලක්.

බලයට පත්වීමේදී මේ වගේ කතා කිවුවත් බලයට පත් වීමෙන් පසුව මේ ආධාර මුදල නිකම්ම අතහැර දැමීමේ අදහසක් ආණ්ඩුවට තිබුණා කියා මම හිතන්නේ නැහැ. නමුත්, දැන් ලංකාවේ හඳෙන් හාල්, ඇටඅට, තුනයි පණහේ පාන්, යුගය අවසන්. බලයට පත් වන ආණ්ඩුවකට මැතිවරණ සමයේ කියන දේවල් ඒතරම් ලේසියකට කණපිට හරවන්න දැන් බැහැ. යහපාලන ආණ්ඩුවට බලයට පත් වූ වහාම රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරන්න සිදුවීමත්, මේ ආණ්ඩුවට බලයට පත් වූ වහාම විශාල ලෙස බදු අඩු කරන්න සිදු වීමත් පෙන්නුම් කළේ මේ යථාර්ථයයි. කිවුවොත් කරල පෙන්නන්නත් වෙනවා ! කළොත් විපාකවලට මුහුණ දෙන්නත් වෙනවා !!

එන්නත්කරණය ඇරඹුණු මුල් දවස්වල ලංකාවේ වගේම ලෝකයේත් එන්නත් විරෝධීන් සෑහෙන්න හිටියා. එවැන්නන් දැනුත් ඉන්නවා. මේ අතරින් ඇතැම් අයට තිබුණේ ප්‍රදර්ශනාත්මක එන්නත් විරෝධයක්. තත්ත්වය දරුණු වීගෙන එද්දී මේ ගොඩක් අය තමන්ගේ 'කීර්තිනාමය' පැත්තකට දමලා විවිධ බොරු හේතු හදාගෙන එන්නත් පෝලිම්වලට එකතු වුනා. එහෙත්, එහෙම යූ-ටර්න් ගහන්න අමාරු තරම් දුර ගිහින් සිටි අයත් ඉන්නවා. ඒ අය අතර, කෝවිඩ් හදාගෙන බටහිර බෙහෙත්වලින්ම යාන්තමින් ජීවිතය බේරාගත් අයත් ඉන්නවා.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නය ආණ්ඩුව තමන්ගේ කීර්තිනාමය පැත්තකට දමලා, බොරු හේතු ටිකක් ඉදිරිපත් කර, අයිඑම්එෆ් යන්නේ කවදද කියන එකයි. ඒ වැඩේ වෙන එකක් නැහැ කියා මට හිතන්නේ තවත් විශේෂ හේතුවක් නිසා. සරලව හා කෙටියෙන් කිවුවොත්, කෝවිඩ් නිසා ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වී තිබෙන ආර්ථික ප්‍රශ්න ආණ්ඩුව කම්පනය කළ, ආණ්ඩුව කිසිදා අපේක්ෂා නොකළ, තත්ත්වයක් නෙමෙයි. මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න ආණ්ඩුවට විශාල පෙර සූදානමක් වගේම සැලසුමක්ද තිබුණා කියන එක මගේ අදහසයි. කෝවිඩ් ආවේ අනපේක්ෂිතව වුවත්, කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වය මේ ආණ්ඩුවේ උඩ තට්ටුව අපේක්ෂාවෙන් සිටි තත්ත්වයක්.

තරමක් අතීතයට ගිහින් යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න ආසන්නව තිබුණු තත්ත්වය මතක් කර ගන්න. යහපාලන ආණ්ඩුව බලයට පත් වී ප්‍රශ්නය අනාගතයට තල්ලු නොකළේනම් 2016 වැනි වසරකදී මේ අර්බුදය ඇවිත්. ඒ එක්කම, 2015 දී රාජපක්ෂලා ආණ්ඩු බලය අතහැර ගෙදර යන්න වෙයි කියා හිතාගෙන හිටියෙත් නැහැනේ. ඒ කියන්නේ, ආණ්ඩු මාරුව සිදු නොවුනා නම් රාජපක්ෂලාටම අද ඔවුන් විසඳුම් සොයන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මෙය ඔවුන් නොදැන සිටි දෙයක් නෙමෙයි.

දැන් ඒ කාලයේ නිතර කතා කෙරුණු මානව හිමිකම් ප්‍රශ්න, සම්බාධක පැනවීම්, විදුලි පුටු වගේ දේවල් මතක් කර ගන්න. මානව හිමිකම් වැනි දේවල් ගැන කතා කිරීම නරක දෙයක් නොවුනත්, බටහිර රටවල් ලංකාවට ඔය දේවල් සම්බන්ධ බලපෑම් කළේ පාරිශුද්ධ චේතනාවකින්ම නොවන බව හැමෝම නැතත් ගොඩක් අය එකඟ වෙන දෙයක්නේ. මෙහි රාජපක්ෂලා හීලෑ කරගැනීම වැනි ඉලක්කයක් පැහැදිලිව පෙනෙන්න තිබුණා. ගෝලීය බල දේශපාලනය හැර, ඔය දේවල් හා ධනවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය අතර ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ නිසාම, රාජපක්ෂලාට ඒ වෙලාවේ බටහිර ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න ප්‍රායෝගික හැකියාවක් තිබුණේ නැහැ. 

මම හිතන විදිහට බටහිර විශ්වාසය වුනේ ලංකාවට බටහිර මගහැර යන ආර්ථික ගමනක් ගැන සිතිය නොහැකි නිසා රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් කර නම්මවා ගත හැකි වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් බවයි. මේ තත්ත්වය හමුවේ රාජපක්ෂලා චීනය වෙත සමීප වුනා. එසේ වුවත්, වැල් පාලමක පැද්දෙමින් ඉස්සරහට ගිය ආර්ථිකය තරමක හුළඟකින් ගඟට වැටී ගහගෙන යාමේ අවදානම තිබුණා. බටහිරින් සම්බාධක වැටෙනවා කියා කියන්නේ ඔය වැඩේ තීන්දු වුනා කියන එකයි.

යම් හෙයකින් 2015 දීත් මහින්ද රාජපක්ෂම දිනලා ඉන් පසුව බටහිර රටවල සම්බාධකවලට රටට මුහුණ දෙන්න වුනා නම් ඇති වන්නේ දැන් කෝවිඩ් නිසා ඇතිව තිබෙන තත්ත්වයම තමයි. ආර්ථිකය එකවර රැල්ලට ගහගෙන යන්නේ එය කාලයක් තිස්සේ වැල්ලේ හැදූ මාලිගාවක් වූ නිසා වුවත්, මාලිගාව කඩා වැටෙන්න ආසන්න හේතුව රැල්ල නිසා රැල්ල පෙන්වා වගකීමෙන් නිදහස් වීම රාජපක්ෂ උපාය මාර්ගයව පැවතුණා.

මිනිස්සුන්ට කන්න නැතත්, හොම්බෙන් යන්න වී තිබුණත්, වැරදිකරු ඔවුන්ගේ ආරක්ෂකයාව සිටින රාජපක්ෂලා නොව, පැත්තක ඉන්න බටහිර සතුරන් බව මිනිස්සුන්ට ඒත්තු ගැන්වීම රාජපක්ෂලාගේ තක්සේරුව අනුව අසීරු දෙයක්ව තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් ජනමනස සකස් වෙමින් තිබුණා. රටේ මිනිස්සු යුද්ධය අවසන් කළ වීරයාට ප්‍රශස්ති ගයමින්, මඤ්ඤොක්කා කොළ කන්න සිදුවීම ගැන බටහිරටම දෙස් දෙවොල් තබන බවට වග බලා ගනු පිණිස මාධ්‍ය මෙහෙයුම් ඇතුළු අනෙකුත් සැලසුම් හා උපාය මාර්ග ක්‍රියාත්මක වෙමින් තිබුණා. ආණ්ඩුවට ගෙදර යන්න වූ නිසා ඔය වැඩේ සිදු වුනේ නැහැ. 

ඉන් පසුව, රාජපක්ෂලා යහපාලන ආණ්ඩුවේ දේශපාලන බලය උදුරාගෙන හැදූ ආණ්ඩුව රටේ දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා කෙටිකලකින් බිඳ නොවැටුනේ නම්, ඒ වෙලාවේ වෙන්නේද ඔය දෙයමයි. අවස්ථා දෙකේදීම රාජපක්ෂලාට තිබුණු එකම සැලසුම ආර්ථිකය කඩා වැටෙන එක නොවැලැක්විය හැකි දෙයක් සේ බාරගෙන, එහි වැරැද්ද පැටවිය හැකි බාහිර සතුරෙකු රටේ ජනමනස තුළ කලින් සිටම පැලපදියම් කරවීමයි.

කෝවිඩ් නිසා රාජපක්ෂලාට අවශ්‍යව තිබූ තත්ත්වය පහසුවෙන්ම නිර්මාණය වී තිබෙනවා. මේ සතුරා බාහිර සතුරෙක්. ලංකාවට සම්බාධක වැටුනා නම් එය වුනේ ආණ්ඩුවේ වැරැද්දෙන් කියා, රටේ බහුතරය නොවුවත්, සැලකිය යුතු පිරිසක් කියයි. විපක්ෂ බලවේග විසින් ඒ කතාව යම් තරමකින් හෝ ජනගත කරයි. එහෙත්, කෝවිඩ් ආවේ රාජපක්ෂලා නිසා කියන කතාව ඒ තරම්වත් ජනගත කළ හැකි කතාවක් නෙමෙයි. 

කොහොමටත් එන්න තිබුණු ආර්ථික අර්බුදය, ආණ්ඩුවේ පැත්තෙන් බැලුවොත්, ආණ්ඩුවට වඩාත්ම වාසිදායක ක්‍රමයකට ඇවිත් තිබෙනවා. ආණ්ඩුව කාලයක් තිස්සෙම සූදානම්ව සිටි ආකාරයට අර්බුදයට මුහුණ දෙනවා. අයිඑම්එෆ් යන එක මේ සැලසුමේ කොටසක්ව තිබුණු දෙයක් නෙමෙයි !

ඉකොනොමැට්ටා